පාස්කු ප්‍රහාරය: ISIS සමග සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් 'මොහොමඩ් මිල්හාන්'ට වන්දි ගෙවන්නැයි රජයට නියෝග
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකිය යුතු ගල්කිස්ස පොලිසියේ උපපොලිස් පරීක්ෂක රාමනායක විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000ක වන්දියක් සහ රජය විසින් රුපියල් 20,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවනු ලැබිය යුතු බවත් එම තීන්දුවේ සඳහන් ය.
අදාළ පෙත්සම්කරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුණ ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන්නේ ය.
සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සෝභිත රාජකරුණා, 2019 මැයි 05 වන දා අත්තිඩිය ප්‍රදේශයේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර තිබෙන බව සඳහන් කළේ ය.
පෙත්සම්කරු කියා සිටින්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපාන හේතු එම සැකකරුට පොලිසිය දැනුම් දිය යුතු බව ය.
එහෙත්, වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතු වූ කරුණු තමන්ට දැනුම් නුදුන් බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා මගින් දැනුම් දී තිබුණේ, ISIS සංවිධානයේ මතවාදය අනුගමනය කරන පුද්ගලයින්ගේ ලැයිස්තුවේ මෙම පෙත්සම්කරුගේ නම 84 වන ස්ථානයේ තිබූ බව ය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සිය තීන්දුව මගින් සඳහන් කළේ, පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රමාණවත් කරුණු පැවති බවට අධිකරණය හමුවේ තහවුරු කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඒ අනුව, පෙත්සම්කරු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සාධාරණ සැකයකින් තොරව තහවුරු කළ හැකි තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවත් විනිසුරුවරු සඳහන් කළහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පෙත්සම්කරුවත් අත්අඩංගුවට ගෙන තිබුණ ද, ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළව නිකුත් කර තිබූ රිසිට් පතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම සම්බන්ධ සිද්ධිවලට අදාළ තොරතුරු ඇතුළත් වී නොතිබූ බව අධිකරණය නිරීක්ෂණය කරන බවත් තීන්දුවේ සඳහන් විය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම අත්අඩංගුවට ගැනීම තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත