පාස්කු ප්‍රහාරය: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

සුරේෂ් සලේගේ ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, ITJP

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 8

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (පෙබරවාරි 25) අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේගෙන්, දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් (පෙබරවාරි 25 වැනිදා) කොළඹදී අත්අඩංගුවට පත්වූ ඔහු පළමුව පැය 72ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කියන්නේ මොනවා ද?

'පැහැදිලි සාක්ෂි මත සැකකරු අත්අඩංගුවට අරගෙන තියෙනවා'

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට බදාදා (පෙබ. 25) පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, "උදෑසන 7:50ට පෑලියගොඩ පොලිස් වසමේදී" රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බව ය.

"මේ අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ, විශේෂයෙන් ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවල ප්‍රතිඵලවලට සමගාමීව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි," ඔහු පැවසීය.

'සම්පූර්ණ හේතුව මොකක් ද කියන දේ මට මේ වෙලාවේ කියන්න හැකියාවක් නැහැ'

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදීහු හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අත්අඩංගුවට ගත් හේතුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගෙන් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කළහ.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ඔහු අත්අඩංගුවට ගත් "සම්පූර්ණ හේතුව" ප්‍රකාශ කළ නොහැකි බවත් එය ප්‍රකාශ කළ හැක්කේ විමර්ශන අනුව බව ත් ය.

"මොකද අද උදේ අත්අඩංගුවට ගත්තේ. මෙතන ඉන්න අපි කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නවත් කිසි දේකට සහභාගි වුණේ නැහැ. ඒ නිසා ඉදිරියේදී ඒක අපිට තීරණය කරන්න පුළුවන්, අත්අඩංගුවට ගන්න හේතුව. නැවත වරක් කියන්නම් මේ පාස්කු ප්‍රහාරයට යම් කිසි සම්බන්ධයක් තිබෙන බවට සාක්ෂි තිබෙන නිසයි අත්අඩංගුවට අරන් තියෙන්නේ.

සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ද?

ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ නම සඳහන් වුණු අතර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස දැයි එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.

"මොහුගෙන් කරන ප්‍රශ්න කිරීම් මත වැඩිදුර විමර්ශනවලින් තීරණය කෙරෙයි ඔහු ද මහ මොළකරු, තවත් කෙනෙක් එතන ඉන්නවා ද කියලා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ඊට පිළිතුරු දෙමින් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, "මීට පෙර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කළ බවක් දැනගන්න නැතැයි," යනුවෙනි.

PTA යටතේ අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානියා රඳවා ගනී ද?

මෙම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන යටතේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බව ය.

"නීතිය අනුව එවැනි අත්අඩංගුවට ගැනීමක් කළොත් දින 3ක කාලයක් රඳවා ගැනීමක් කරන්න පුළූවන්. පොලිස් අධිකාරිවරයෙකුගේ නියමයක් මත තමයි අත්අඩංගුවට ගැනීම කෙරෙන්නේ.

"ඒ කාලය ඇතුළතදී එළඹෙන සාක්ෂි මත තවදුරටත් විමර්ශනය කරගෙන යන්න අවශ්‍ය නම්, අපි නීතියේ සඳහන් විධිවිධාන අනුව රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගන්න කටයුතු කරනවා," ඔහු පැහැදිලි කළේ ය.

විමර්ශනය සම්බන්ධව මහජනතාව දැනගත යුතු තොරතුරු ඉදිරියේදී නිවේදනය කරනු ඇති බවට ද නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්වාසය පළ කළේ ය.

විවිධ ආකාරයෙන් මාධ්‍යවේදීන් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට හේතු සහ ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිබඳව ප්‍රශ්න කළ ද, ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හැර වෙනත් කිසිදු තොරතුරක් උසස් පොලිස් නිලධාරීහු මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ නොකළහ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම හෙලා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි අභියාචනාධිකරණය හමුවේ කියයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ මඟදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි (පෙබරවාරි 25 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මන්දුමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව පැවසීය.

මෙය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවත් LTTE නායකයෙකු වූ තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත් ඔහු කියා සිටියේය.

LTTE නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත් ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත් ඔහු පැවසීය.

2015 වසරේ සිදු වූයේත් මෙවැනි තත්ත්වයේ ක්‍රියාවක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි අවසානයේ දී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාට එරෙහිව වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි විමර්ශනයක් කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශනය හරහා සිය සේවාදායකයාට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු කියා සිටියේ ය.

අසාද් මවුලානා නමැති දේශපාලන සරණාගතභාවය අපේක්ෂා කරන අයෙකු බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට කිසිදා යුක්තිය ඉටු නොවන බවත් ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ඉන්දීය බුද්ධි අංශ මෙන්ම මෙරට බුද්ධි අංශ කලින්ම අනතුරු අඟවා තිබියදී එය වළක්වා ගැනීමට පොලීසිය අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම ඛේදවාචකය උද්ගත වූ බවත් ඔහු කියා සිටියේ ය.

ජනාධිපති නීතිඥ අලි ශබ්රිගේ කරුණු දැක්වීම අද අවසන් අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් "දේශපාලන බලය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළා ද?" යන ප්‍රශ්නය මතු කරමින් 2023 වසරේ සැප්තැම්බර් මස පළ කෙරුණු චැනල් 4 වාර්තාවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ පිළිබඳව සඳහන් විය.

පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන තිබිණි.

එහිදී නැගූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රහාරය සිදු කළ ඉස්ලාමීය අන්තවාදීන් රහසිගතව හමුවුණා ද?‍ යන්න ය.

2018 වසරේ ජනවාරි මාසයේදී අන්තවාදී කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බව අසාද් මවුලානා චැනල් 4 වෙත පවසා තිබිණි.

ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් විසින් තමන් වෙත කරන ලද දැනුම් දීමකට අනුව සයීන් මවුලවී ඇතුළු පුද්ගලයින් පිරිසකට ඇප ලබාදු න් බවත්, පසුව එම පුද්ගල කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධාන කළ බවත් අසාද් මවුලානා එහිදී පැවසීය.

එම හමුව සඳහා පුත්තලම, කරඩිපුවල් (Karadipuval) නැමති ප්‍රදේශයට අදාළ කණ්ඩායමට පැමිණෙන ලෙස තමා දැනුම් දුන් ඔහු එහි සඳහන් කළේ ය.

තමා එම ස්ථානයට යන විට සුරේෂ් සලේ පැමිණ සිටි බවත් පසුව සුදු පැහැති වෑන් රථයකින් සයීන් මවුලවී සහ ඔහුගේ සහෝදරයා වන සහරාන් ඇතුලු 6 දෙනෙකු පැමිණි බවත්, එම සාකච්ඡාව දීර්ඝ වේලාවක් පැවතුණු බවත් ඔහු එහිදී තව දුරටත් පවසනු නිරීක්ෂණය විය.

"ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කරන්න රාජපක්ෂලට අවශ්‍යයි. ඒක තමා ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මග යැයි", එම සාකච්ඡාවෙන් පසු සුරේෂ් සලේ තමාට පැවසූ බව අසාද් මවුලානා චැනල් 4 වෙත වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

තම අනන්‍යතාව හෙළි නොකරන රාජ්‍ය නිලධාරියෙකු ද එම වීඩියෝවේ අදහස් දක්වන අතර ඔහු පවසන්නේ, සුරේෂ් සලේ මෙහෙයවන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව ය.

චෝදනා ප්‍රතික්ෂේප කරයි

චැනල් 4 වීඩියෝව නිර්මාණය කර ප්‍රසිද්ධි කිරීමට පෙර එහි නිෂ්පාදන සමාගම වන 'බේස්මන්ට් ෆිල්ම්ස්' විසින් 2023 අගෝස්තු 7 වන දින ලිපියක් යොමු කර තිබූ අතර, එමගින් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේගෙන් චෝදනා 4ක් පිළිබඳ නිල ප්‍රතිචාරයක් ඉල්ලා තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් සුරේෂ් සලේ සාක්ෂිකරුවන් විසින් අදාළ හමුවීම් සිදුවීම් වූ බව කියන කාල වකවානුව තුළ තමන් මෙරටින් බැහැරව සිටි බව සහ පාස්කු ඉරුදින ප්‍රහාරයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහිදී අවධාරණය කරනු ලැබ තිබිණි.

එම කාලවකවානුව තුළ තමන් මලයාසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය කවුන්සිලවරයා ලෙස කටයුතු කළ බවත්, 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් අවසානය දක්වා ඉන්දියානු ආරක්ෂක විද්‍යාලයේ පුහුණු වැඩසටහනක් සඳහා සහභාගි වී සිටි බවත්; ඒ බව සනාථ කිරීමට මලයාසියානු සහ ඉන්දියානු බලධාරීන්ගෙන් සොයා බැලීමට වුව ද හැකියාව ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබිණි.

සුරේෂ් සලේ යනු කවුද?

මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ 1987 මාර්තු 16 වන දින ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු අතර ඔහුගේ මූලික හමුදා පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු පාබල හා සංඥා රෙජිමේන්තුවල සේවය කළේ ය.

පසුව "භාෂා කිහිපයක් පිළිබඳ දැනුම සහ ඔහුගේ කාර්ය සාධනයේ කුසලතා හේතුවෙන්", ඔහු 1993 වසරේදී හමුදා බුද්ධි අංශයට තෝරා ගැනිණි.

සුරේෂ් සලේ 2006 සිට 2009 දක්වා පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.

නැවත පැමිණීමෙන් පසු, ඔහු 2012 ඔක්තෝබර් මාසයේදී හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කරන තෙක් ආරක්ෂක අමාත්‍යංශයේ විදේශ බුද්ධි සම්බන්ධීකාරක ලෙස සේවය කළේ ය.

පසුව, ඔහු 2016 සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස සේවය කළේ ය.

ඉන්පසුව, 2019 ජනවාරි සිට එම නොවැම්බර් දක්වා ඔහු දිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක අධ්‍යයන එන්ෆීල්ඩ් පාඨමාලාව හැදෑරූ බව ඔහුගේ නීතිඥ පසන් වීරසිංහ බේස්මන්ට් ෆිල්ම්ස් වෙත යොමු කළ ලිපියක සඳහන් වෙයි.

2019 දෙසැම්බර් මාසයේ සිට ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේ ය.

2024 වර්ෂයේ අගදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ධූරයෙන් ඉවත් කෙරුණි.

පාස්කු ප්‍රහාර

පාස්කු ප්‍රහාර

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා විදේශිකයින් බහුලව ගැවසෙන කොළඹ ප්‍රමුඛ හෝටල් ඉලක් කර ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර ඉන් දිවි අහිමිවූ පිරිස 260කට අධික ය.

ඒ අතරින් 45 දෙනෙක් විදේශිකයෝ වූහ. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 500කට අධික වේ.

මේ දක්වා සිදුවූයේ කුමක් ද සහ විමර්ශනවල ප්‍රගතිය කුමක් ද?

ඉකුත් වසරේ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය 'පිල්ලෙයාන්' හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමත් සමග ජාතික ජන බලවේගය යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නව දිශානතියකට ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය විය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව 'පිල්ලෙයාන්' අත්අඩංගුවට ගැණිනි.

එහෙත්, ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යවරයා එම වසරේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

මීට පෙර පැවති රජයන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විමර්ශන ගැන කතෝලික සභාව එතරම් සෑහීමකට පත් නොවිණි.

ඔවුන් දිගින් දිගට ම අනාවරණය කළේ, මෙම ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි අනාවරණය කරන ලෙස ය.

මෙම විමර්ශනවල අඩුලුහුඬුකම් සහ විමර්ශකයින් අවධානය යොමු කළ යුතු කරනු ගැන කතෝලික සභාව මෙන් ම සිවිල් සංවිධාන ද වසර කිහිපයක් පුරා විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් දිගින් දිගට ම ප්‍රශ්න කර තිබිණි.