ඉන්දියන් සාගරයේදී ඇමෙරිකාව ඉරාන යුද නැවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමන අයුරු
ඉන්දියන් සාගරයේදී ඇමෙරිකාව ඉරාන යුද නැවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමන අයුරු දැක්වෙන දර්ශන ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව සිය X ගිණුමේ පළ කර තිබෙනවා.
ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් 'අනතුරට' ලක්ව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නෞකාවේ 180 දෙනෙකු පමණ සිට ඇති බවත් 30 දෙනෙකු 'දැඩි තුවාල' ලබා ඇති බවත් ය. නෞකාවේ සිටි තුවාල ලැබූ 32 දෙනෙකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්යක්ෂවරයා බීබීසීයට පැවසීය.
බීබීසී සිංහල
ඉන්දියන් සාගරයේදී ඇමෙරිකාව ඉරාන යුද නැවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමන අයුරු දැක්වෙන දර්ශන ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව සිය X ගිණුමේ පළ කර තිබෙනවා.
අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින්ගේ මළ සිරුරු මේ වන විට ගාල්ල ජාතික රෝහල වෙත ගෙන එමින් පවතින බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.
ඔහු සඳහන් කළේ තවත් මළ සිරුරු ගෙන ඒමට නියමිත බවයි.
අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින්ගේ මළ සිරුරු මේ වන විට ගාල්ල ජාතික රෝහල වෙත ගෙන එමින් පවතින බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.




ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මීට සුළු මොහොතකට පෙර පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පැවසුවා.
"ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. නිහඬ මරණයක්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව," ඔහු එහිදී පැවසුවා.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කළේ නැහැ.
"දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව" බවට ඔහු කළ ප්‍රකාශය නිවැරදි නොවේ.
1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී, ආර්ජන්ටිනාවේ එක ම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් ටෝපිඩෝ දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා. 1971දී තවත් ගිලී යාමක් සිදු වුණා.
ඉන්දියානු යුද්ධ නෞකාවක් වන INS කුක්රි පාකිස්ථාන සබ්මැරීනයක් විසින් ටෝපිඩෝවකින් ගිල්වා දමනු ලැබුවා. කෙසේ වෙතත්, ඉරාන යුද නෞකාව ගිල්වා දැමීම 1945න් පසු ඇමෙරිකානු සබ්මැරීනයක් මේ ආකාරයෙන් සතුරු නැවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව වෙනවා

ඡායාරූප මූලාශ්‍රය, PA Media
අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 80 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා බීබීසීයට පැවසුවා.
අනතුරට පත්වූ ඉරාන නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, "නෞකාව සම්පූර්ණයෙන් ම ගිලී ගොස් ඇති" බවයි.
"ඩිස්ට්‍රෙස් සිග්නල් එක අපට ලැබිලා අපේ නාවික හමුදාවේ යාත්‍රා මේ සිද්ධිය වෙච්ච තැනට යද්දී අපිට දකින්න ලැබුණේ ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් විතරයි. ඒ ස්ථානයේ ඉරාන නැවක් දකින්න තිබුණේ නැහැ.
ඒක ගිලිලා තිබුණේ," නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඉරාන නෞකාව අනතුරට ලක් වූයේ සබ්මැරීනයකින් එල්ල කළ ප්‍රහාරයකින් දැයි බදාදා පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවයි.
අනතුර සිදුවූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට විශේෂඥ සහ තාක්ෂණික විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
යාත්‍රාවේ සිටි ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නිවැරදි සංඛ්‍යාලේඛන දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් අනාවරණය කර ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඉරාන නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත ලැබුණේ ආපදා තත්ත්ව පණිවිඩයක් (distress call) බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවා.
මේ වන විට මෙම නෞකාව අනතුරට පත්වීම පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී ඔහු මේ බව සඳහන කළා.

ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක් වීම සම්බන්ධයෙන් නාවික හමුදාව සහ ගුවන් හමුදාව ප්‍රධානත්වයෙන් මේ වන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා.
අප සූදානම් එහි තොරතුරු ඔබ වෙත ගෙන ඒමට.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ කථිකාචාර්ය, නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මෙහි නීතීමය තත්ත්වය ගැන බීබීසීයට පැහැදිලි කළා.
අප කවුරුත් දන්නා පරිදි මේ වනවිට ඉරානය සමඟ ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය යුද්ධයකට අවතීර්ණය තිබෙනවා.
1949 ජිනීවා සම්මුතින් හි පොදු දෙවන ව්‍යවස්ථාව අනුව මෙම සන්නද්ධ ගැටුම රාජ්‍ය පාර්ශවයන් අතර හටගත් අන්තර්ජාතික සන්නද්ධ ගැටුමක්.
අන්තර්ජාතික මානුෂවාදී නීතිය හෙවත් අන්තර්ජාතික යුධ නීතිය අනුව, අන්තර්ජාතික සන්නද්ධ ගැටුමකදී එම සන්නද්ධ ගැටුමට පාර්ශවකාරී නොවන රාජ්‍යයන් වෙත පවා රාජ්‍ය වගකීම් නිර්මාණය වන අවස්ථා අපට හඳුනාගත හැකි වෙනවා.
ශ්‍රී ලංකාව ද දැන් මුහුණ දී සිටින්නේ එවැනි තත්ත්වයකට.
1949 ජිනීවා සම්මුතින්ගේ දෙවන සම්මුතිය අනුව නාවුක යාත්‍රාවක් නැව්බත්වීමෙන් පසු අනතුරට පත් සටන්කාමී පාර්ශවයන්ට අයත් නාවුක පිරිස් වෙත මානුෂවාදී ලෙස සැලකීම අදාළ පාර්ශවයන් වෙත පවතින නෛතික වගකීමක්.
ශ්‍රී ලංකාව ද ජිනීවා සම්මුතින් වෙත රාජ්‍ය පාර්ශවකාරීත්වය දරන බැවින් එම වගකීම අත්හළ නොහැකි වෙනවා.
තවද 1949 තුන්වන ජිනීවා සම්මුතියේ 4(ආ) 2 ව්‍යවස්ථාව අනුව, සටන්කාමී පාර්ශවයක (belligerent party) පිරිස් සටනට පාර්ශවකාරී නොවන පර්ශවයක් (non-belligerent power) වෙත පැමිණියහොත් අන්තර්ජාතික නීතිය අනුව ඔවුන් අගති විරහිතව රැකබලාගැනීම එම සටනට පාර්ශවකාරී නොවන රාජ්‍යය සතු රාජ්‍යය වගකීමක්.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට වෙනත් කිසිඳු පාර්ශවයකට අවකාශයක් හිමිවන්නේ ද නැහැ.
නෞකාවේ සිටි පුද්ගලයින්ගෙන් 140 දෙනෙකු පමණ අතුරුදන් වී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා බීබීසීයට පැවසුවා.
ඉරාන නෞකාව අනතුරට පත් වීමට "නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති" බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පවසනවා.
බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.
"නාවික හමුදාව විමර්ශන කටයුතු කරනවා. හේතුව තව ම හොයාගෙන නැහැ. මේ වෙලාව වෙනකොටත් හරි හේතුවක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා," ඔහු පැවසුවා.
නෞකාවේ තත්ත්වය පිළිබඳව ද "තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
රෝහල්ගත කළ පුද්ගලයින්ගේ තත්ත්වය පිළිබදව තවදුරටත් දැන ගැනීම සඳහා බීබීසී සිංහල ගාල්ල ජාතික රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංගගෙන් විමසීමක් කළා.
"අපිට රෝගීන් 32 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙකුගේ තත්ත්වය බරපතළයි. තව හත් දෙනෙක් සාමාන්‍ය මට්ටමේ තුවාල ලබලා තියෙනවා. අනිත් අයගේ සුළු තුවාල තියෙන්නේ."
තුවාලවල ස්වභාවය සම්බන්ධයෙන් ද අප ඔහුගෙන් විමසුවා. "කැපුම් තුවාල තියෙනවා. පිළිස්සුම් තුවාල තියෙනවා. අස්ථි බිඳීම් තියෙන කිහිප දෙනෙකුත් ඉන්නවා," වෛද්‍යවරයා පැවසුවා.
මෙම තුවාල ඇති වීම හේතුව "නිශ්චිත වශයෙන්" ප්‍රකාශ කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රෝහල්ගත කළ එක් අයෙකුගේ "තත්ත්වය බරපතළ" ගාල්ල ජාතික රෝහලේ අධ්යක්ෂවරයා බීබීසී සිංහල වෙත පැවසුවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
නෞකාවේ සිටි තුවාල ලැබූ 32 දෙනෙකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්යක්ෂවරයා බීබීසීයට පැවසුවා.
බීබීසී සිංහල වෙත ඔවුන්ගෙන් කිහිප දෙනෙකු රෝහල තුළ ප්‍රතිකාර ලබන ආකාරය දැක්වෙන ඡායාරූප දැන් ලැබී තිබෙනවා.



IRIS Dena නෞකාව ඉරාන නාවික හමුදාවේ 86 වන බලඇණියට අයත් වේ. එය 2022–2023 වසරේදී ඉරාන නාවික හමුදාවේ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා ලොව පුරා කිලෝමීටර් 65,000ක නාවික මෙහෙයුමක නිරත වූ බොහෝ කතාබහට ලක්වූ නෞකාවක් වුණා. IRIS Dena නෞකාව නෞකාව සම්පූර්ණයෙන් ම ඉරානයේ නිෂ්පාදිත නෞකාවකි.
එය ඉරානයේ බන්ඩර් අබ්බාස්හි පිහිටි ෂාහිඩ් ඩර්විෂි නැව් අංගනයේදී ඉදිකර තිබේ. මෙම නෞකාව ටොන් 1,500ක බරකින් යුක්ත මීටර් 95ක් පමණ දිගකින් යුක්ත වනවා. IRIS Dena නෞකාවේ නෞකා නාශක මිසයිල මිසයිල නූර් හෝ කාදර්, 76 mm ෆජ්ර්-27 නාවික තුවක්කුවක්, 30mm අවි පද්ධතියක්, ටෝර්පිඩෝ සහ මතුපිට සිට ගුවනට ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලවලින් සමන්විත වෙනවා.
මෙම නෞකාව ගෝලීය වෙළෙඳ කටයුතු ආරක්ෂා කිරීම, මුහුදු කොල්ලකෑම්වලට එරෙහිව ක්‍රියා කිරීම සහ දිගුකාලීන මුහුදේ මෙහෙයුම් සඳහා යෙදවීම වෙනුවෙන් ඉරානයේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති බව ඉරාන නාවික හමුදාව පවසනවා.
අනතුරට ලක්ව ඇති බවට වාර්තා වන ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව පසුගිය පෙබරවාරි මස 17 වන දා ඉන්දියාවේ විශාඛාපට්නම් වෙත පැමිණ තිබෙනවා.
ඉන්දීය නාවික හමුදා නැගෙනහිර විධානය සිය X ගිණුමේ පළ කර ඇති සටහනකට අනුව, මෙම නෞකාව 'IFR & MILAN 2026' නාවික අභ්‍යාසයකට සහභාගි වීම සඳහා ඒ වෙත පැමිණ තිබෙනවා.
ගාල්ල ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග බීබීසී සිංහල වෙත පැවසුවේ, රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල සූදානම් කර ඇති බව යි.
"මාස් කැෂුවල්ටි එකකට ට්‍රීට් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. දැනට 30 දෙනෙක් වගේ අරන් එනවා කිව්වට තව ම කවුරුවත් අරන් ඇවිල්ලා නැහැ. නමුත් අපි සූදානම් වෙලා ඉන්නවා අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන්න," ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් බදාදා (මාර්තු 4) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉරාන නාවික හමුදාවට අයත් "IRIS Dena" නමැති නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය.
"ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද උදෑසන 5:08ට විතර අපේ නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණා," ඔහු පැවසුවා.
අමාත්‍යවරයා පැවසුවේ, උදෑසන 6:00 වන ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වූ බව යි. "අපි උදේ 6 වෙනකොට අපි මැදිහත් වුණා. පළවෙනි නාවික යාත්‍රාව යැව්වා. උදේ 7 වෙනකොට තවත් නාවික යාත්‍රාවක් යැව්වා. ඒ වගේ ම ගුවන් හමුදාව, නාවික හමුදාව දෙක ම මැදිහත් වෙලා [ඉන්නවා]," ඔහු තවදුරටත් සඳහන් කළා.
අදාළ නෞකාවේ "180 දෙනෙකු පමණ සිට ඇති බවටත් 30 දෙනෙකු පමණ දැඩි අනතුරට" ලක්ව ඇති බවටත් තොරතුරු වාර්තා වන බව අමාත්‍යවරයා පැවසුවා.
ඒ අනුව, ඔවුන්ගේ "ජීවිත බේරා ගැනීම සඳහා" ගාල්ල ජාතික රෝහලට රැගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.