ඔමික්‍රෝන් BA.2: නව උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වේගයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රභේදය, මේ වන විට ලොව සියලු කොවිඩ් ආසාදනයන්ගෙන් හරි අඩකට හේතුව යි.
නමුත් ඔමික්‍රෝන් යනු SARS-Cov-2 වෛරසයේ සමරූපී (සම සම්භවීය) උප ප්‍රභේදයන් කීපයක එකතුවට කියන පොදු නම යි. මේවායින් වඩාත් සුලබ වන්නේ BA.1 නම් සම සම්භවීය උප ප්‍රභේදය යි.
දැන් දැන් තවත් රටවල් - විශේෂයෙන්ම ආසියාතික සහ යුරෝපා රටවල් - BA.2 උප ප්‍රභේදය වැළඳුනු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කරයි.
"සැඟවුණු" උප ප්‍රභේදයක්
BA.2, ඇතැම්විට "සැඟවුණු" උප ප්‍රභේදය ලෙස ද හැඳින්වෙන්නේ, ඩෙල්ටා ආසාදනයකින් ඔමික්‍රෝන් BA.1 ආසාදනයක් පහසුවෙන් වෙන්කොට හඳුනාගැනීම සඳහා පර්යේෂකයන්ට උපකාර වූ ජාන සලකුණ එහි නොමැතිවීම හේතුවෙනි.
වෙනත් ප්‍රභේදයන් මෙන්ම, BA.2 මඟින් ඇතිකරනු ලැබූ ආසාදනයක් ද පාර්ශ්වික ප්‍රවාහ සහ PCR කොවිඩ් පරීක්ෂණ කට්ටල හරහා නිරීක්ෂණය කළ හැකිවුව ද, ඒවා BA.2 සහ ඩෙල්ටා වෙන්කොට හඳුනාගැනීමට අපොහොසත් ය. එය නිශ්චිතව හඳුනාගැනීමට නම් තවත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍ය වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
BA.2 මින් පෙර පැතිරුණු ප්‍රභේදයන්ට වඩා පහසුවෙන් පැතිර යන වග පෙනෙන්නට ඇතත්, වාසනාවට මෙන්, එය වඩාත් දරුණුබවක් දත්තයන් මඟින් නොපෙන්වයි.
අප මේ නව 'නැගී එන' වෛරස ප්‍රභේදය ගැන කොතරම් සැලකිලිමත් විය යුතු ද? මේ, අප ඒ ගැන මෙතෙක් දන්නා තොරතුරු යි.
මොකද්ද මේ BA.2?
වෛරසයක් විකෘති වීම හේතුවෙන් නව ප්‍රභේදයන් බිහිවෙද්දී, ඒවා ඇතැම්විට සම සම්භවීය උප ප්‍රභේදයන් ලෙස බෙදී යා හැකි ය. උදාහරණයක් ලෙස, ඩෙල්ටා ප්‍රභේදය විවිධාකාර උප ප්‍රභේදයන් 200කින් සමන්විත ය. මීට සමාන යමක් ඔමික්‍රෝන් ප්‍රභේදයට ද සිදුවූ අතර, එහි BA.1, BA.2, BA.3, සහ B.1.1.529 උප ප්‍රභේදයන් වෙයි.
මෙතෙක් ඇතිවූ වැඩිමනක් ඔමික්‍රෝන් ආසාදනයන්ට හේතු වූයේ BA.1 උප ප්‍රභේදය යි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව (2022 ජනවාරි 25 දා වන විට) ගෝලීය GISAID දත්ත සමුදායට ඇතුළත් කෙරුණු වෛරස DNAවලින් 99%ක් මෙම උප ප්‍රභේදයට අයත්බව ජාන අනුක්‍රමණ පරීක්ෂණ මඟින් පෙන්නුම්කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙය බිහිවූයේ කොහේදීදැ යි නිශ්චිත නැතත්, එය ප්‍රථමයෙන් නිරීක්ෂණය කෙරුණේ පසුගිය නොවැම්බරයේ දී පිලිපීනයෙන් GISAID දත්ත සමුදාය වෙත ඇතුළත් කෙරුණු ජාන අනුක්‍රමණ පරීක්ෂණ වාර්තා අතරිනි.
BA.2 පැතිරෙන්නේ කොහේද?
පසුගිය නොවැම්බරයේ සිට රටවල් 40ක් විසින් BA.2හි ජාන අනුක්‍රමණ පරීක්ෂණ දහස් ගණනක් දත්ත සමුදායට එක්කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දැනටමත් මෙම උප ප්‍රභේදයා පිලිපීනය, නේපාලය, කටාර්, ඉන්දියාව, සහ ඩෙන්මාකයේ පැතිරෙන ප්‍රධාන ප්‍රභේදයබවට පත්වෙමින් පවතියි. ඇතැම් ප්‍රදේශවල එහි පැතිරීම ඉතා වේගවත් ය.
ඩෙන්මාකයේ ස්ටැටන්ස් සීරම් ඉන්ස්ටිටියුට් (SSI) ආයතනයට අනුව, එරට නව කොවිඩ් ආසාදනයන්ගෙන් අඩක් පමණම BA.2 හේතුවෙන් ඇතිවී ඇත.
අණුක ජීවවිද්‍යාඥ බිජය ධකාල් පවසන පරිදි, ඉන්දියාව ද ඩෙල්ටා සහ ඔමික්‍රෝන් BA.1 ප්‍රභේදය පරදවමින් BA.2 ඉදිරියට එමින් පවතින තවත් රටකි.
දැනටමත් එය ප්‍රාන්තයන් කීපයකම ප්‍රමුඛ ප්‍රභේදය වන අතර, එරට තෙවන කොවිඩ් රැල්ලට හේතුවන්නට ඇත්තේ ද එයබව සැලකේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, 2022 ජනවාරි මස අග දී ඔවුන් වෙත ලැබුණු සාම්පලවල BA.2 උප ප්‍රභේදය දක්නට ලැබුණුබව යි.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) ප්‍රකාශ කරන අන්දමට එංගලන්තයෙන් 1000ටත් වඩා BA.2 ආසාදනයන් හඳුනාගෙන ඇත.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් විසින් එය "තව දුරටත් නිරීක්ෂණය යටතේ ඇති ප්‍රභේදයක්" ලෙස හැඳින්වෙන අතර, මෙයින් අදහස් වන්නේ ඔවුන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවනමුත් දැඩි සැලකිල්ලක් නොදක්වනබව යි.
UKHSAහි කොවිඩ්-19 පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මීරා චාන්ද් පවසන පරිදි ජර්මනියේ ද BA.2 ආසාදනයන් BA.1 සහ ඩෙල්ටා අභිබවා පැතිරෙමින් පවතියි.
BA.2 වඩා පහසුවෙන් සම්ප්‍රේෂණය වන්නේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩෙන්මාර්කයේ SSI විසින් නිවෙස් 8 500ක් සහ පුද්ගලයින් 18 000කගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අධ්‍යයනයකින් සොයාගැනුනේ, BA.2 උප ප්‍රභේදය BA.1ට වඩා "සැලකිය යුතු අන්දමින්" සම්ප්‍රේෂ්‍යබව යි.
පෙර ප්‍රභේදයන්ට සාපේක්ෂව, එන්නත් සහ බූස්ටර ලැබූ ප්‍රජාවට මෙම ප්‍රභේදය ආසාදනයවීමේ සම්භාවිතාව ඉහළ වන නමුත්, එන්නත ලැබූ පුද්ගලයින් මෙය අනෙකෙකුට පැතිරවීමේ සම්භාවිතාව ද අඩුබව අධ්‍යයනයෙන් ප්‍රකාශ කෙරිණි.
එක්සත් රාජධානියේ සිදුකෙරුණු වෙනත් අධ්‍යයනයක් මඟින් ද, BA.1ට සාපේක්ෂව BA.2 වඩාත් සම්ප්‍රේෂ්‍යබව සොයාගැනිණි.
නමුත්, ඒ කුමන උප ප්‍රභේදයෙන් ඇතිකරන රෝග ලක්ෂණවලට වුව ද එරෙහිව එන්නතේ ඵලදායීතාව අඩුයැ යි පැවසීමට සාධකයක් මූලික ඇගැයුමක දී හමුනොවීය.
BA.2 වඩාත් භයානක ද?
ඔමික්‍රෝන්හි මුල් උප ප්‍රභේදයන්ට වඩා BA.2 දරුණු රෝග තත්ත්වයන්ට තුඩුදෙතැ යි කීමට දත්ත නැත.
"BA.2, BA.1 අභිබවා පෙරමුණ ගනිමින් ඉන්න රටවල් දිහා බැලුවම, ආසාදිතයින් රෝහල්ගත කිරීමේ විශාල වැඩිවීමක් අපි දකින්නේ නැහැ," ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි කොවිඩ්-19 ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය බොරිස් පැව්ලින් පසුගිය සතියේ දී ප්‍රකාශ කළේ ය.
BA.2 විසින් BA.1 මුළුමනින්ම ප්‍රතිස්ථාපනය කළ ද, එයින් වසංගතයේ ගමන්පථයට හෝ රෝගීන්ට ප්‍රතිකාර කළ යුතු ආකාරයට විශාල වෙනස්කම් සිදුවනු නැතැ යි ඔහු පැවසුවේ ය.
"අපට තව දත්ත ඕන. නමුත් මේකේ බලපෑම සැලකිය යුතු තරමේ එකක් වෙන්න ඉඩකඩ අඩු යි," වෛද්‍ය පැව්ලින් ප්‍රකාශ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විශේෂඥයන් විශ්වාස කරන්නේ පෙර ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියා කළාක් මෙන්ම, දරුණු ලෙස රෝගීවීම, රෝහල්ගත කිරීම, සහ මරණයට එරෙහිව එන්නත ඉතා ඵලදායී වනු ඇතිබව යි.
"එන්නත්කරණය දරුණු ලෙස රෝගීවීමට එරෙහිව ආරක්ෂාව සලසනවා, ඔමික්‍රෝන් ද ඇතුළුව," වෛද්‍ය පැව්ලින් පැවසීය.
වෛද්‍ය චාන්ද් මෙසේ කීය: "තවමත්, BA.2 ඔමික්‍රෝන් BA.1 උප ප්‍රභේදයට වඩා දරුණු රෝගාබාධ ඇති කරනවා ද කියන එක තීරණය කරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි නැහැ. නමුත් දත්ත සීමිත යි වගේම UKHSA දිගටම විමර්ශන සිදුකරනවා."
"අපි සුපරීක්ෂාකාරීව ඉන්න ඕනේ, එන්නත් ගන්න ඕනේ. අපි හැමෝම නිතිපතා පාර්ශ්වික ප්‍රවාහ උපාංග වලින් (LFDs -lateral flow devices) පරීක්ෂණ සිදුකරන්න ඕනේ වගේම, රෝග ලක්ෂණ මතුවුණොත් PCR (polymerase chain reaction) එකක් කරගන්න ඕනේ."





























