ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය: 'උසස් පෙළ විභාගය කල් දාන්න'- සිසුන්ගෙන් ඉල්ලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දා අබේසූරිය
- Role, BBC සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මේ වසරට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම්කොට තිබුණේ ඔක්තෝබර් මාසයේ දී ය. පසුව කල් දැමුණු එය මේ වන විට නොවැම්බර් මස 15 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබේ. කෙසේ නමුත්, උසස් පෙළ සිසුන් මේ තීරණය කෙරෙහි දක්වන්නේ විරෝධයකි.
BBC සමග අදහස් දැක්වූ උසස් පෙළ සිසුන් බහුතරයක ගේ අදහස වූයේ මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දැමිය යුතු බව යි. ඔන්ලයින් අධ්‍යාපනය, ගුරුවරුන්ගේ වැඩ වර්ජනය ආදී බොහෝ හේතූන් නිසා සිය අධ්‍යාපන කටයුතු මන්දගාමීව සිදුවූ බැවින් තමන්ට විභාගයට මුහුණදීමට තරම් විශ්වාසයක් නොමැති බව ඔවුහු ප්‍රකාශ කළෝ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'සිලබස් කවර් නෑ, ප්‍රැක්ටිකල් කරලා නෑ...'
මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසැලක උසස් පෙළ සිසුවෙකු වන "නිරේන්", මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මුහුණපා ඇති තත්ත්වය විස්තර කළේය.
"අපට ඉතින් ඉස්කෝලෙන් ඔන්ලයින් ක්ලාස් කරනවා කියලා කළේ නෑ, දවසක් දෙකක් කරලා නැවැත්තුවා... ඒවා කරේ නෑ පිළිවෙලකට," ඔහු පැවසීය.
"අපට ප්‍රැක්ටිකල් කරගන්න විදියක් නෑ. දැන් මේ ටිකේ හරි අපි හිතුවේ ගෙන්නලා ප්‍රැක්ටිකල් කරයි කියලා. ප්‍රැක්ටිකල් කරන්නැතුව කේස් නේ ගොඩක්. වාර විභාග තිබ්බෙත් නෑ; පළවෙනි වාර විභාගේ තිබ්බා. ඊට පස්සේ එකක් තිබ්බා, කොවිඩ් අස්සෙම පොඩ්ඩක් ඉස්කෝල ඇරපු වෙලාවේ. ආවෙත් ළමයි කීපදෙනයි. මමත් ගියා, මේ වාර විභාගෙට ලකුණුවත් දුන්නේ නෑ."
පාසලෙන් සිය විෂයය නිර්දේශය සම්පූර්ණ කර නැති බවත්, ඔන්ලයින් ඉගැන්වීම නැවතුණේ ගුරු වර්ජනයට පෙර බවත් නිරේන් අප හා පැවසුවේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමා සහභාගි වන අතිරේක පන්තිවල ද තවමත් විෂයය නිර්දේශයෙන් නියමිත පාඩම් සියල්ල උගන්වා අවසන් කර නැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
"ඔන්ලයින් පන්තිවලට සිග්නල් නෑ ගොඩක් කට්ටියට. මේ අපටත් සිග්නල් නෑ. අපි දැන් මේ අන්තිමට SLT ගත්තේ. SLTත් එහෙම දෙන්නෑනේ ලේසියෙන්, ගන්න බෑ... දැන් අර ගොඩාක් ඩිවයිස් සම්බන්ධ වෙලා තියෙන නිසා ඩයලොග් වගේ කනෙක්ෂන්වල, සිග්නල් කොහොමවත් නෑ. ඩයලොග්වල යන වියදමට වඩා SLT ගන්න යනවනේ තුන් හතර ගුණයක වියදමක්. එතකොට දැන් අර ගොඩක් ළමයින්ට SLT ගන්නත් බෑ, ප්‍රශ්න තියෙනවා ඉතින්. පන්ති මැදින් කට් වෙනවා. කැඩි කැඩි තමයි යන්නේ,"යි සිසුවා සඳහන්කොට සිටියේ ය.
අගනුවර සිසුවන්ට විශේෂ වරප්‍රසාද?
විෂයය නිර්දේශය සම්පූර්ණ කිරීමේ ගැටලු තිබුණේදැ යි කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක සිසුවෙකුගෙන් විමසා බැලූකල ඔහු සඳහන් කළේ, සිය පාසැලේ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු නොකඩවා සිදුවුණු නිසා මසකට පමණ පෙර විෂයය නිර්දේශය සම්පූර්ණ කළ බව යි. විෂයයට අදාළ ඇතැම් ප්‍රයෝගික පරික්ෂණයන් ද ඔන්ලයින් ඉගැන්වීම්වල දී සිදුකර පෙන්වූ බවත්, වාර විභාග තුනක් ද පැවැත්වුණු බවත් ඔහු කියා සිටියේ ය.
සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවේ ද?
අගනුවර අවට ඇතැම් ප්‍රසිද්ධ ජාතික පාසැල්වල උසස් පෙළ අධ්‍යාපනය හදාරන දරුවන්ට එම පාසැල්වල ආදි ශිෂ්‍ය සංගම් සහ පන්ති අරමුදල් හරහා ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ සහ මූල්‍යමය දායකත්වය සපයා තිබුණි. එක් සිසුවෙකු සඳහන් කළේ ඇතැම් සිසුන්ට ආදි ශිෂ්‍ය සංගමය මඟින් ජංගම දුරකථන ආදියත්, ඩේටා මිළට ගැනීම සඳහා මුදලුත් සැපයුණු බව යි.
කෙසේ නමුත් එවන් 'ඇති හැකි' පාසැල් කීපයක හැරුණුකොට, අගනුවර අවටම පිහිටි තවත් බොහෝ පාසැල්වල දරුවන්ට පවා නොයෙක් අපහසුතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට සිදුව ඇත.
විශ්වවිද්‍යාල පිවිසුම සඳහා සෘජුව බලපාන තරග විභාගයකට සූදානම් වෙමින් සිටින සිසුන් පිරිසක් මේ නිසා අසාධාරණයකට ලක්ව සිටිති.
'අපට උසස් පෙළ කල්දාල දෙන්න'
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා සහ පහසුකම් මඳවීම, වාර විභාග නොපැවැත්වීම, විභාග ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වීම ආදී කාරණා රැසක් හේතුවෙන් අසාධාරණයට ලක්ව සිටින උසස් පෙළ සිසුන් පිරිසක් එක්ව 2021 අපොස උසස් පෙළ විභාගය කල් දමාගැනීමේ අරමුණින්, "2021 උසස් පෙළ සිසු අසාධාරණයට එරෙහි උත්සාහය" නම් සමූහයක් ද පිහිටුවාගෙන ඇත.
මෙම සමූහයට අදාළ ටෙලිග්‍රෑම් චැනලයට මේ වන විට උසස් පෙළ සිසුහු 39,000කට අධික සංඛ්‍යාවක් එක්රොක්ව සිටිති.
"විද්‍යාර්ථි" අගනුවර අවට ප්‍රසිද්ධ පාසැලකින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකි. ඉහත කී සමූහයේ ඇඩ්මින්වරයෙකු ද වන ඔහු පළ කළේ මෙවැනි අදහසකි:
"අපි මුලින්ම මේක කරේ ඔක්තෝබර් මාසේ එක්සෑම් එක තියනවයි කියලා රජයෙන් අපට නිවේදනය කරලා තිබුණු වෙලේ. ඒ වෙලේ ගොඩක් ළමයින්ට මේ තරම්, මේ තරම් කියන්නේ ඒ වෙලේ තිබ්බ ප්‍රශ්න ටිකම යි තාමත් තියෙන්නේ. මොකද අපට විභාගේ ඔක්තෝබර්වලින් කල් යනවයි කියලා කිව්වට එදා ඉඳන්ම ඉස්කෝලවල්වලින් වැඩක් වුන්නෑ ගුරු වර්ජනේ හින්දා... නොවැම්බර් කියන්නේ විසඳුමක් නෙවෙයි ඇත්තටම, මොකද අපට පාස්කු ප්‍රහාරය, කොරෝනා පළවෙනි රැල්ල, දෙවැනි රැල්ල, ඒ ඔක්කොමත් එක්ක ඉස්කෝලේ තිබ්බේ මාස තුන හතරක් වගේ හරිම පොඩි කාලයක්. ඊට පස්සේ එතකොට අපිට සිලබස් එක හරියට කරලා නෑ. එතකොට ඔය පළවෙනි මාස කීපයේ ප්‍රැක්ටිකල් විතරයි ඔය ගොඩක් සබ්ජෙක්ට්වලින් කරලා තියෙන්නේ. ඊට පස්සේ ටර්ම් ටෙස්ට් අපි සාමාන්‍යයෙන් ෆේස් කරන්න ඕනේ හයකට, අඩුම. හයකට ෆේස් කරන්න ඕනේ එක, අපි තාම එකයි ෆේස් කරලා තියෙන්නේ."

විභාගය කල්දැමීම යනු මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් නොව තවත් දිනයක් පමණක් බවත්, තමන්ට අවශ්‍ය වන්නේ විභාගය කල් දමා, ඉන්පසු තමන්ට ක්‍රමානුකූලව උගන්වා විභාගය පැවැත්වීම බවත් ඔහු ප්‍රකාශ කළේ ය. තම සමූහය මෙම ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ද පිළිතුරක් නොලැබුණේයැ යි ඔහු සඳහන් කළේ ය.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වෙත ද තමා මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඔහු අප හා කියා සිටියේ ය. කොමසාරිස්වරයා මේ ගැන සලකා බලා යම් සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැ යි මේ සිසුහු බලාපොරොත්තු වෙති.
විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තමා වෙත එවන් ඉල්ලීමක් ඉදිරිපත්කර ඇති බවත්, අගෝස්තු 6 දින වන විට තමා එම ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරන බවත් ය.
"කලිනුත් ළමයින් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් එක්ක සාකච්ඡා කරලා තමයි ගරු ඇමැතිතුමාත් ලේකම්තුමාත් ඔය තීරණ ගත්තේ. දැනට ඔය ළමයි ඉදිරිපත් කරලා තියෙන කරුණත් මම අධ්‍යාපන අමාත්‍යංශේ ලේකම්තුමාට යි, අධ්‍යාපන ඇමතිතුමාට යි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා,"යි කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

විද්‍යාර්ථි, උසස් පෙළ සිසුන් වශයෙන් තමා පත්ව ඇති තත්ත්වය පිළිබඳව කතා කළේ කණස්සල්ලෙනි.
අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන සිය නෑදෑ හිතමිතුරන් හරහා විමසූ විට විභාගය කල් යනු ඇතැ යි ඔවුන් පවසන බවත්, නමුත් ගැටලුව ඇත්තේ එහි නොව, තමා ඇතුළු උසස් පෙළ සිසුන් මුහුණ පා ඇති අවිනිශ්චිත තත්ත්වයේ බවත් ඔහු පවසයි.
"එක්සෑම් එක පෙබරවාරි දක්වා කල් දාන්න බලන් ඉන්නවා කියලා කියනවා. පෙබරවාරි දක්වා කල්යනවයි කියන එක අපට නොවැම්බර් මාසේ මැද කියලා ප්‍රතිඵලයක් නෑ. ඒක දෙසැම්බර් මාසේ කියලා ප්‍රතිඵලයක් නෑ. මොකද ගොඩක් ළමයි මානසික පීඩනේකින් ඉන්නේ."
"දැන් ඔය අපේ වයසේ ළමයෙක් තමයි සුවිසයිඩ් කරගත්තේ එයාට ඩිවයිස් එකක් නෑ කියලා. දැන් අපට දවසකට සාමාන්‍යයෙන් ඒ වගේ මැසේජස් කීපයක්ම එනවා... මේක දැන් ළමයින්ට පීඩනයක් වෙලා තියෙන්නේ, මේකට හරි විසඳුමක් නැති හින්දා."
අධ්‍යාපන අමාත්‍යාංශය තමන්ගේ හඬ අසනු ඇතැ යි ද, සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැ යි ද මේ සිසුන්ගේ අපේක්ෂාව යි.
(අදහස් දැක්වූ සිසුන්ගේ අනන්‍යතාව සුරැකීම සඳහා ව්‍යාජ නම් භාවිත කර තිබේ.)
මෙම තොරතුර ද දැනගන්න:





























