නේපාල අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම මධ්‍යයේ පාර්ලිමේන්තුවටත් ගිනි තබයි

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

වත්මන් අර්බුදයට ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා මග පෑදීම විවර කිරීම සඳහා තමන් ඉල්ලා අස්වූ බව අගමැති ඔලි විසින් අත්සන් කරන ලද නිවේදනයක දැක්වේ.

බලධාරීන් විරෝධතාකරුවන් සමග කටයුතු කළ ආකාරය පිළිබඳව අතෘප්තිය පළ කරමින් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය රාම් නාත් අධිකාරි ඉල්ලා ද මීට පෙර ඉල්ලා අස් විය.

තව ද ජල සම්පාදන අමාත්‍ය ප්‍රදීප් යාදව් ද සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ.

එමගින් ඔහු "රජය විසින් ගෙන යන මර්දනයට විරුද්ධ වන Gen Z තරුණයින්ට සහයෝගය" ප්‍රකාශ කළේය.

විරෝධතා අතරතුර තම පරිපාලනය බලය යෙදවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමෙන් පසුව, සඳුදා ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් ද ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබිණි.

කත්මණ්ඩු අගනුවර සහ නේපාලය පුරා උදෑසන සිට විරෝධතා ක්‍රියාත්මක විය.

ඔලි සහ හිටපු අගමැති ෂර් බහදූර් ඩෝබාගේ නිවාස ඇතුළුව ඉහළ පෙළේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ නිවාසවලට පහර දී විනාශ කර තිබිණි. එමෙන් ම දේශපාලන පක්ෂ මූලස්ථානය ද ඉලක්ක විය.

අඟහරුවාදා පැවති විරෝධතා අතරතුර අවම වශයෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සිවිල් සේවා රෝහලේ විධායක අධ්‍යක්ෂ මොහාන් රෙග්මි බීබීසීයට පැවසීය.

ඒ අනුව, ඊයේ [සැප්තැම්බර් 8] දින සිදු වූ මරණ 19 ඇතුළුව විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට අනූ දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, අඟහරුවාදා දහවල් වන විට විරෝධතාකරුවන් සිංහ ඩර්බාර් සහ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයට ඇතුළු වූ බවට වාර්තා වී තිබේ.

ධූරයෙන් ඉල්ලා අස්වූ අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ භක්තපූර්හි බාලකෝට්හි පිහිටි නිවසට ගිනි තබා විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කර තිබේ.

ඒ හා සමානව, නේපාල කොංග්‍රස් සභාපති සහ හිටපු අගමැති ෂර් බහදූර් ඩෝබාගේ බුධානිල්කන්තා ප්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතාකරුවන් විසින් හානි සිදු කරන ලද බවට වාර්තා වී තිබේ.

ඩෝබාගේ සමීපතම කොංග්‍රස් නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන එන්.පී. සවුඩ්, ඩෝබාගේ නිවස විනාශ කර ඇති බව තමා දන්නා බවත්, එහි තත්ත්වය පාලනය කිරීමට උත්සහ කරන බවත් බීබීසීයට පැවසීය.

සමාජ මාධ්‍ය තහනම ඉවතට

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: නේපාල පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටීමේදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ආකාරය සහ ගිනි තැබීම් සිදුවූ අයුරු

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර කිරීමට පියවර ගත්තේ ය.

ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා පැනවූ තහනම ඉවත් කරන ලෙසත්, දූෂණය පිටුදකින ලෙසත් රජයට බල කරමින්, දහස් ගණනක් තරුණ තරුණියන් සඳුදා [සැප්තැම්බර් 8] කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූහ.

"Gen Z ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කිරීම සඳහා" සඳුදා සවස පැවති හදිසි කැබිනට් රැස්වීමකින් පසුව, තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් පැවසූ බව වාර්තා වී තිබේ.

අගනුවරින් පිටත නගරවල ද පැවති විරෝධතාවලින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

අගමැති නිවසට ගල් ප්‍රහාර

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා සඳහා නේපාලයේ මිලියන ගණනක් පරිශීලකයින් සිටින අතර ඔවුහු විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර සඳහා ඒවා මත යැපෙති.

නමුත් නේපාල රජය පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද තහනම සාධාරණීකරණය කළේ, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තහනම් කරන බව පවසමිනි.

සඳුදා වීදි බැස විරෝධතා දැක්වූ තරුණ පිරිස් කියා සිටියේ රජයේ ඒකාධිපති ආකල්පය ලෙස ඔවුන්ට පෙනෙන දේට එරෙහිව විරෝධතා දක්වන බව ය. "enough is enough [හොඳට ම ඇති]" සහ "end to corruption [දූෂණයට තිත]" ඇතුළු සටන් පාඨ සහිත පුවරු බොහෝ දෙනෙක් ඔසවාගෙන සිටියහ.

ඇතැම් විරෝධතාකරුවෝ අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ උපන් ගම වන ඩමාක්හි පිහිටි ඔහුගේ නිවසට ද ගල් ගැසූහ.

විරෝධතාකරුවෙකු වන සබානා බුඩතෝකි මීට පෙර බීබීසී වෙත පවසා තිබුණේ ඔවුන් එක්රැස් වූයේ සමාජ මාධ්‍ය තහනම යන "හේතුව මත පමණක්" බව ය.

"සමාජ මාධ්‍ය තහනම වෙනුවට, මම හිතන්නේ හැමෝම අවධානය යොමු කරන්නේ දූෂණය ගැන" යැයි පවසමින්, "අපට අපේ රට නැවත අවශ්‍ය යි. අපි ආවේ දූෂණය නවත්වන්න," යැයි ඇය පැවසුවා ය.

දේශපාලනඥයන්ගේ දරුවන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් ඉස්මතු කරමින් සහ ඔවුන්ට දූෂණවලින් උපයන අරමුදල් ලැබෙන බවට චෝදනා කරමින් "නෙපෝ කිඩ්" නැමති සමාජ මාධ්‍ය සටහන් මෑත සතිවල නේපාල සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙක් මරුට

පොලිසිය කත්මණ්ඩු නුවර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාර, බැටන් පොලු සහ රබර් උණ්ඩ භාවිත කළේ ය.

ප්‍රචණ්ඩත්වය සහ ජීවිත හානි සංඛ්‍යාව පිළිබඳව තමා "අතිශයින් ම කනගාටුවට පත්වන" බව පැවසූ අගමැති කේ.පී. ෂර්මා ඔලි, එදින සිදුවීම් "විවිධ කල්ලි කණ්ඩායම්වල වැඩක්," බවට චෝදනා කළේ ය.

විරෝධතා විමර්ශනය කිරීම සඳහා රජය මණ්ඩලයක් පිහිටුවන බවත්, වින්දිතයින්ට මූල්‍යමය "සහන" ලබා දෙන බවත් තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බවත් ඔහු පැවසීය.

විරෝධතා මැඩපැවැත්වීමට බලය යෙදවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමෙන් පසු, ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් සවස් වරුවේ ඉල්ලා අස්විය.

නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට නියමිත කාල සීමාවට අනුකූල නොවීම හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා 26ක් අවහිර කිරීමට බලධාරීහු පසුගිය සතියේ නියෝග කළහ.

නේපාල රජය පැවසුවේ, තමන් සමාජ මාධ්‍ය තහනම් නොකරන බවත්, ඒවා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට උත්සහ කරන බවත් ය.