අයතුල්ලා කමේනි: ඉරානයේ උත්තරීතර නායකයා සිය ශක්තිමත් දැඩි පාලනය පවත්වාගෙන ගිය අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සෑම් වුඩ්හවුස් සහ බීබීසී පර්සියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 14

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කළ පළමු දිනයේදී ම අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක් වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය කළ පාලකයන්ගෙන් එක් අයෙකු වූ, පසුගිය දශක තුන තුළ ඉරානය පාලනය කළ 86 හැවිරිදි පාලකයාගේ මරණය පසුව ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් තහවුරු කරන ලදී.

ඔහුගේ දැඩි ඒකාධිපති අදහස් සහ ප්‍රතිපත්ති දශක හතරකට ආසන්න කාලයක් පුරාවට ඉරානයේ ජීවන රටාව හැඩගස්වා ඇත. 1989 දී සිදුවූ රුහොල්ලා කොමේනිගේ මරණයෙන් අනතුරුව 1979 විප්ලවයෙන් පසු පත් වූ දෙවන උත්තරීතර නායකයා ඔහු විය.

ඔහුගේ නිල බලතල හේතුවෙන් ඔහු රාජ්‍ය නායකයා ලෙසත්, විශේෂීත විප්ලවීය ආරක්ෂක බලකාය ඇතුළු සමස්ත සන්නද්ධ හමුදාවේ සේනා විධායකයා ලෙසත් අසීමිතව බලවත් කර ඇත.

ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් යටතේ ඔහුගේ මරණය, ඉරානය තුළ සහ පුළුල් මැදපෙරදිග කලාපය තුළ නව හා අවිනිශ්චිත අනාගතයක පෙර නිමිත්තකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අයතුල්ලා අලි කමේනි 1989 සිට ඉරාන උත්තරීතර නායකයා විය

ආගමික පසුබිමක හැදීවැඩීම

අලි කමේනි 1939 වසරේදී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මාෂාඩ්හිදී උපත ලැබුවේය.

ඔහුගේ පියා ඉරානයේ ප්‍රධානතම ඉස්ලාමීය නිකාය වන ෂියා නිකායෙන් පැවත ආ පූජකවරයෙකු විය.

තමන් නිරන්තරයෙන් ආහාරයට ගත්තේ කිසිවක් නොව ''පාන් සහ වියළි මිදි'' බව පවසමින් කමේනි ඔහුගේ "දුප්පත් නමුත් භක්තිමත්" ළමා කාලය ආදරයෙන් සිහිපත් කළේ ය.

ඔහු සිය ආගමික අධ්‍යාපනය මාෂාඩ් නගරයෙන් ආරම්භ කළ අතර, කෙටි කාලයක් ඉරාකයේ නජාෆ්හි ගත කර අනතුරුව ඉරානයේ ප්‍රධාන ආගමික නගරය වන කොම්හි පිහිටි සෙමනේරියෙන් අධ්‍යාපනය ලැබුවේය.

පසුකාලීනව ඉස්ලාමීය ජනරජය ආරම්භ කළ කොමේනි ඇතුළු පූජකවරුන් කිහිප දෙනෙක් ඔහුට ඉගැන්වීම් සිදු කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Office of the Supreme Leader via EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2026 ජනවාරි මාසයේදී අභාවප්‍රාප්ත උත්තරීතර නායක අයතුල්ලා කොමේනිගේ සොහොන් ගැබ තුළ අයතුල්ලා කමේනි යාච්ඥා කළ ආකාරය

ඉස්ලාමීය විප්ලවය ලෙස හැඳින්වෙන 1979 දී සිදුවූ විප්ලවය අවසානයේදී බලයෙන් පහ කරනු ලැබු ෂා රජුගේ විවේචකයින් සමග කමේනි සම්බන්ධ විය.

වසර ගණනාවක් පුරාවට කමේනි භූගතව හෝ සිරගත කරනු ලැබ ජීවත් විය.

ෂා රජුගේ රහස් පොලිසිය ඔහුව අවස්ථාව හයකදී අත්අඩංගුවට ගත් අතර, ඔහු වධහිංසාවලට මුහුණ දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1979 ඉරාන විප්ලවයෙන් පසු ටෙහෙරානයේ යාච්ඥාවක යෙදී සිටින අලි කමේනි

විප්ලවය පැවැති කාලසීමාවේදී කමේනි, අයතුල්ලා කොමේනිගේ සමීපතම කවයේ ප්‍රධාන චරිතයක් නොවූ නමුත් කැරැල්ලෙන් අනතුරුව ඔහු වේගයෙන් නැගී සිටියේ ය.

ඔහු විප්ලවවාදී කවුන්සිලයට සමග සම්බන්ධ විය. එය විප්ලවය මෙහෙයවූ අතර, ෂාගේ පාලනය බිඳවැටීමෙන් අනතුරුව අන්තර්වාර පාලක මණ්ඩලය බවට පත් විය.

ඉස්ලාමීය ජනරජ රජයේ ඔහුගේ පළමු භූමිකාව වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමයි.

එම වසරේදී කොමේනි ඔහුව ටෙහෙරානයේ සිකුරාදා යාච්ඤා මෙහෙයවන්නා ලෙස පත් කළ අතර දින නියමයක් නොමැතිව ඔහු එම තනතුරේ නිල වශයෙන් කටයුතු කළේ ය.

රට පුරා විකාශනය වූ අලි කමේනිගේ දේශපාලනික දේශන ඔහු නව නායකත්වය තුළ පිහිටුවා තිබිණි.

ඝාතන තැත

ඡායාරූප මූලාශ්‍රය, ​​Khamenei.ir

ඡායාරූප ශීර්ෂ වැකිය, 1981 දී ඝාතන උත්සහයකින් කමේනි දිවි ගලවා ගත්තේ ය.

කමේනි පශ්චාත් විප්ලවීය නායකත්වය සඳහා බලය තහවුරු කර ගැනීමට ඔහුට උපකාරී වූ ඉස්ලාමීය රිපබ්ලිකන් පක්ෂයේ සම-නිර්මාතෘවරයෙකු වූ අතර, අනතුරුව එහි නායකයා බවට පත් විය. කෙසේ වෙතත්, පක්ෂ මූලස්ථානය ඉලක්ක් කර දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ ඔහු රෝහල්ගතව සිටියේ ය.

ප්‍රහාරයෙන් සිදුවූ තුවාල හේතුවෙන් ඔහුගේ පෙනහලු සුව වීමට මාස ​​ගණනාවක් ගත වූ අතර ඔහුගේ දකුණු අත සම්පූර්ණයෙන් ම භාවිතයට ගත නොහැකි තත්වයේ තිබිණි.

එම වසර අවසානයේදී ඔහු ඉරාන ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත්විය.

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකයා තෝරා ගැනීම සඳහා වූ විශේෂඥයින්ගේ රැස්වීමේදී කමේනි මෙසේ පැවසීය: "මා වැනි කෙනෙකු නායකයා වීම ගැන මිනිසුන් සිතන්නේ නම්, ඉස්ලාමීය සමාජය ලේ කඳුළු සැලිය යුතුයි"

තරග කළ හැක්කේ කාට ද යන්න තීරණය කළ කවුන්සිලය අයතුල්ලා කොමේනි විසින් පාලනය කරන ලද අතර, අලි කමේනි 97%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කළේ ය.

"සම්මතයෙන් බැහැර වීම, ලිබරල්වාදය සහ ඇමෙරිකානු බලපෑමට ලක් වූ වාමාංශිකයන්," හෙළා දකිමින් සිදු කළ කමේනිගේ සමාරම්භක දේශනය ඔහුගේ ජනාධිපති ධුරය සඳහා පසුබිම සකස් කළේ ය.

ඉරාන - ඉරාක යුද්ධය

මැතිවරණයට මාස කිහිපයකට පෙර අසල්වැසි ඉරාකය විසින් ඉරානය ආක්‍රමණය කළේ ය.

ඉරාන විප්ලවය තමාගේ පාලනයට වළ කපනු ඇතැයි ඉරාක ජනාධිපති සදාම් හුසේන් බියෙන් පසු විය.

ජනාධිපති ලෙස තේරී පත්විමට පෙර යුද්ධයේ ආරම්භක සමයේදී කමේනි මාස ගණනක් පුරාවට යුද පෙරමුණුවල ගත කළේ ය.

ගැටුම පැවැති වසර අටක කාලය තුළ දෙපාර්ශවයේ ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාක සොල්දාදුවෝ 1980 දී ඉරානය ආක්‍රමණය කළහ.

ගැටුම පවතින අතරතුර ඉරාකය, ඉරානයේ දේශසීමා ආසන්නයේ පිහිටි ගම්මානවලට එරෙහිව රසායනික අවි භාවිත කළ අතර, ටෙහෙරානය ඇතුළු දුර බැහැර නගර ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී.

ක්‍රමානුකූලව ඉරාකයට සහයෝගය ලබා දුන් ඇමෙරිකා එක්සත් ජනපදය පිළිබඳ කමේනි තුළ පැවති අවිශ්වාසය තවදුරටත් වර්ධනය වීමට මෙම යුද්ධය හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1989 මැයි මාසයේදී, එනම් උත්තරීතර නායකයා වීමට මාස තුනකට පෙර, කමේනි බීජිං වෙත නිල සංචාරයක නිරත විය

උත්තරීතර නායකයා වීම

1989 වසරේදී අයතුල්ලා කොමේනි මිය ගිය අතර නායකත්වය සඳහා වූ විශේෂඥයින්ගේ සභාව විසින් කොමේනිගේ අනුප්‍රාප්තිකයා ලෙස කමේනිව තෝරා පත් කරන ලදී.

ඇතැමෙකුගේ මතය වූයේ මෙම නව උත්තරීතර නායකයා සතුව පැවතියේ දුර්වල ආගමික ශාස්ත්‍රීය පසුබිමක් බව යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1989 දී අයතුල්ලා කොමේනිගේ අභාවයෙන් පසු, උත්තරීතර නායකයා බවට පත්වූ කමේනි දේශනයක් පවත්වමින්

"මම බොහෝමයක් වැරදි සහ අඩුපාඩු ඇති පුද්ගලයෙක් ඇත්තටම සුළු පූජක ශිෂ්‍යයෙක්," ඔහු සිය ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පළමු කතාවේදී පිළිගත්තේ ය.

"කොහොම වුණත් සියලු වගකීම් මගේ කර මතයි තිබෙන්නේ, මෙම බරපතළ වගකීම දැරීමට හැකිවීම සඳහා මම මගේ සියලු හැකියාවන් සහ සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි ඇති මගේ සියලු විශ්වාසය භාවිත කරනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1995 දී කොලොම්බියාවේ පැවති අටවන නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී කමේනි සහ ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි

ජ්‍යෙෂ්ඨ පූජක පක්ෂයේ ගෞරවය සහ කොමේනිට හිමිව තිබූ ජනප්‍රියත්වය තමාට නොමැති වීම හේතුවෙන් කමේනි ප්‍රවේශමෙන් කටයුතු කළේ ය.

නමුත් ඔහු විසින් පසුකාලීනව අධිකරණය, පොලිසිය, මාධ්‍ය, පූජක ප්‍රභූ පැලැන්තිය, පාර්ලිමේන්තුව, විප්ලවීය ආරක්ෂක බලකාය සහ බුද්ධි අංශ තුළ තමාට පක්ෂග්‍රාගී පුද්ගලයින්ගෙන් සමන්විත වූ ජාල ගොඩනගා ගන්නා ලදී.

වොෂින්ටනයේ ජාත්‍යන්තර සාමය සඳහා වූ කානගී එන්ඩොව්මන්ට්හි සාමාජිකයෙකු වන කරීම් සද්ජාඩ්පූර් බීබීසී ප්‍රවෘත්ති සේවය සමග පැවසුවේ කමේනිගේ බලය "දැඩි මතධාරී පූජකවරුන් සහ අලුතින් ධනවත් වූ විප්ලවවාදී ආරක්ෂකයින්," මත රඳා පවතින බවයි.

ඔහු තම බිරිඳ, දරුවන් සහ මුණුබුරන් සමග ටෙහෙරානයේ සරල ලෙස ජීවත් වන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිරූපණය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තම බලය තහවුරු කර ගැනීම සඳහා අයතුල්ලා කමේනි ඉරානයේ ආගමික ධූරාවලියට වඩා ආරක්ෂක සහ හමුදා උපකරණ මත විශ්වාසය තැබී ය

විරෝධතා මැඩපැවැත්වීම

කමේනි බලයේ සිටියදී විපක්ෂය මර්දනය කළේ ය.

1999 දී ශිෂ්‍ය විරෝධතා මැඩපවත්වන ලදී.

ඉන් දශකයකට පසුව මැතිවරණ දූෂිත බව පවසමින් ඊට එරෙහිව ඇති වූ කැරැල්ලකදී විරෝධතාකරුවන්ට ගම්මිරිස් ඉසිනවලින් පහර දෙන ලද අතර, පහර දී වෙඩි තබා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් ටෙහෙරානයේ රැස් වූ අයුරු

2019 වසරේදී ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම වීදි විරෝධතා සඳහා හේතුවූ අතර, බලධාරීන් අන්තර්ජාලය අවහිර කර තිබිණි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පැවසුවේ පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කළ බව යි.

හිජාබ පැළැඳීමට එරෙහිව උද්ඝෝෂණය කළ කාන්තාවන්ට වධ හිංසා පමුණුවා හුදෙකලා සිරකඳවුරක රඳවා තැබිණි.

මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියකට වසර 38ක සිර දඬුවමක් සහ කස පහර 148ක් ලැබිණි.

විශාලතම අභියෝගවලින් එකක් එල්ල වූයේ 2022 වසරේදී, හිජාබ් පැළඳීමට අපොහොසත් වීම නිසා අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කුර්දි කාන්තාවක් වන මාෂා අමිනි පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී මිය යාමෙන් අනතුරුවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පැවසුවේ විරෝධතාවලින් මියගිය පුද්ගලයින් 400කට අධික පිරිසකගේ නම් ලැබී ඇති බව යි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සදාචාර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මාෂා අමීනි පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වීමට එරෙහිව 2022 දී ටෙහෙරානයේ පැවති මහජන විරෝධතා

2025-26 ශීත ඍතුවේ දී, ආර්ථික අසාර්ථකත්වය හේතුවෙන් ඉරානය පුරා වීදි විරෝධතා මාලාවක් ඇති විය.

බලධාරීන් විසින් දැඩි මර්දනයක් දියත් කර තිබිණි. දහස් සංඛ්‍යාත පිරිසක් මිය ගිය බව කමේනි පිළිගත් නමුත්, එම ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහු සතුරන්ට චෝදනා කළේ ය.

"ඊශ්‍රායලය හා එක්සත් ජනපදයට සම්බන්ධ පිරිස් දැවැන්ත හානියක් සිදු කර දහස් ගණනක් මරා දැම්මා" ඔවුන් අවුල් සහගත තත්ත්වයක් ඇති කළ බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ ය. ඔවුන් "අපරාධ සහ බරපතළ අපහාසයක් සිදු කළා," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, User generated content

ඡායාරූප ශීර්ෂ වැකිය, 2026 ජනවාරි මාසයේදී ටෙහෙරානයේ කෂානි නගරයේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් පෙළපාලි යන ආකාරය

රජයේ ප්‍රතිචාරයට "මාරාන්තික බලය" ඇතුළත් වූ බව ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පැවසීය.

පුද්ගලයින් 7,000කට වැඩි පිරිසක් මිය ගිය බවත්, ඔවුන්ගෙන් වැඩි පිරිසක් විරෝධතාකරුවන් බවත්, මියගිය පුද්ගලයින් අතරින් 200කට වැඩි පිරිසක් "හමුදාව සහ රජයේ බලකාය" බවත් එය වාර්තා කළේ ය.

කොවිඩ් එන්නත් තහනම

බීබීසී ප්‍රවෘත්ති පර්සියානු සේවය මගින් 2022 වසරේ සිදු කරන ලද ගවේෂණයකින් ඇස්තමේන්තු කරනු ලැබුවේ, කොවිඩ් වසංගතය අතරතුර ඉරානය තුළ පුද්ගලයින් 300,000ක් මිය ගිය බව යි. එය එවකට පැවති නිල මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 අගභාගයේදී කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය වෛද්‍ය සේවකයෙකුගේ දේහය ටෙහෙරාන් මෘත ශරීරාගාර කාර්මිකයෙකු විසින් පරීක්ෂා කරන ආකාරය

සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් වැළකී කමේනි පැවසුවේ "මෙම වෛරසයේ එක් කොටසක් ඉරාන ජාතිකයන්ගේ ජානමය දැනුම භාවිත කරමින් විශේෂයෙන් ඉරානය සඳහා ම නිර්මාණය කරලා තිබෙනවා කියලා තමයි කියන්නේ," යනුවෙන් ය.

බොහෝ දුරට එක්සත් ජනපදය සහ යුරෝපීය ඖෂධ සමාගම් විසින් මෙහෙයවන ලද ගෝලීය එන්නත් බෙදා හැරීම ආරම්භ වූ විට ඔහු එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය එන්නත් ආනයනය තහනම් කළේ ය.

පසුව පළවූ වාර්තා පැවසුවේ ඔහුට ඉරානයේ නිෂ්පාදිත එන්නත් කිහිපයකින් එකක් පෞද්ගලිකව ලැබුණු බව යි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1998 දී ටෙහෙරානයේ පැවති රැලියකට කමේනි සහභාගී වෙමින්

ඇමරිකාවට එරෙහි වීම

1979 විප්ලවයෙන් කෙටි කලකින් අනතුරුව බලයෙන් පහ කරන ලද ෂා රජුට ඇමෙරිකාව රැකවරණය ලබා දීමට විරෝධය පළ කරමින් කමේනිට පක්ෂපාතී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රාණ ඇපයට ගනිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය අත්පත් කර ගත්හ.

මෙම ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීම දින 444ක් පුරා පැවති අතර එය ඇමෙරිකානු විරෝධී සහ බටහිර විරෝධී ස්ථාවරය රජයේ නිල ප්‍රතිපත්තිය ලෙස තහවුරු කිරීමට උපකාරී විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු තානාපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසු ඉරාන ග්‍රහණයට ගත් ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් ගෙන යන අයුරු

එක්සත් ජනපදය වෙත එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති බුෂ් විසින් ඉරානය 'නපුරේ අක්ෂය' ලෙස නම් කළේය.

ඉරානය ලෙබනනයේ සන්නද්ධ ෂියා කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලය සමග පැවති අර්ධ ස්ථිර ගැටුමකදී එහි අනුග්‍රාහක පාර්ශවය ලෙස සහාය දැක්වීය.

කමේනි ඇමෙරිකා එක්සත් ජනපදය විවේචනය කළ නමුත්, ඔහුගේ ප්‍රතිපත්ති වොෂින්ටනය සමඟ එකඟතාවකට පැමිණීම හෝ ඍජු ගැටුමකට එළඹීම සිදු නොකළේ ය.

න්‍යෂ්ටික වැඩසටහන

ඡායාරූප මූලාශ්‍රය, Office of Iranian Supreme Leader / WANA via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ජූනි මාසයේදී කමේනි න්‍යෂ්ටික මධ්‍යස්ථානයක ආකෘතියක් පරීක්ෂා කරමින්

න්‍යෂ්ටික අවි ඉස්ලාමීය විරෝධී බව කමේනි පැවසූ අතර, 2003 වසරේදී ඒවා නිපදවීමට එරෙහිව ෆත්වා (ඉස්ලාමීය නීතිය පිළිබඳ අර්ථ නිරූපණයක්) නියෝගයක් නිකුත් කළේ ය.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ බටහිර රටවල් විශ්වාස කළේ මහමුද් අහමඩිනෙජාඩ් ජනාධිපතිව සිටියදී න්‍යෂ්ටික අවි හැකියාව සඳහා ආවරණයක් ලෙස ඉරානයට න්‍යෂ්ටික බලශක්තිය සහ නවීන මිසයිල වැඩසටහන් තිබූ බව යි.

එහි ප්‍රතිඵලයක් පනවන ලද සම්බාධක රට දුප්පත් කිරීමට උපකාරී විය.

ඡායාරූප මූලාශ්‍රය, Khamenei.ir

ඡායාරූප ශීර්ෂ වැකිය, 2005-13 කාලයේ ජනාධිපති ධුරය දැරූ මහමුද් අහමඩිනෙජාඩ් (දකුණේ) ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ශක්තිමත් කළ අතර එය ජාත්‍යන්තර සම්බාධකවලට තුඩු දුන්නේ ය

2015 වසරේදී ඉරානය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය ඉරානයේ යුරේනියම් බලගැන්වීම කිරීම සීමා කිරීම සඳහා ගිවිසුමකට එළඹිණි.

කෙසේ වෙතත් අදාළ ගිවිසුම 'මිනීමරු පාලනයක් සාමකාමී න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් පමණක් අපේක්ෂා කරන බව පෙන්වීමට උත්සාහ කරන දැවැන්ත ප්‍රබන්ධයක්' ලෙස පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ජනාධිපති ධුර කාලය තුළදී ඉන් ඉවත් විය.

ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බවත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය එහි අනුකූලතාවය සත්‍යාපනය කර ඇති බවත් අවධාරනය කළේ ය.

ගිවිසුමට අත්සන් තැබූ හිටපු ජනාධිපති ඔබාමා ගිවිසුම "ක්‍රියාත්මක වෙමින් පවතී" යනුවෙන් සඳහන් කළේ ය.

ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය පැවසුවේ එක්සත් ජනපද තීරණය ගැන ඔවුන් "කණගාටු වන" බව යි.

ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලය අවසන් වීමට ආසන්න වනවිට, ඇමෙරිකාව විසින් විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ කාසෙම් සොලෙයිමානි ඝාතනය කළේ ය. කාමෙනි පළිගන්නා බවට දිවුරුම් දුන් අතර, රුසියාව සහ චීනය සමග වඩාත් සමීප සබඳතා ගොඩනගා ගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Iraq Security Media Cell via EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 ජනවාරි 3 වන දින බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල ප්‍රහාරයකින් රිපබ්ලිකන් ආරක්ෂක භටයින්ගේ නායක කාසෙම් සොලෙයිමානි ඝාතනය කළ බව එක්සත් ජනපදය නිවේදනය කළේ ය

විද්‍යාඥයින්, හමුදාව සහ ඉහළ පෙළේ නිලධාරීන් ද ඇතුළුව නේවාසික ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් 2025 දී ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් සිදු කළේ ය.

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කරමින් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Maxar via EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 ජූනි 22 වන දින ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප මගින් ෆෝඩෝ න්‍යෂ්ටික ස්ථානයේ නව ආවාටවලින් පෙන්නුම් කළේ, එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් ස්ථානවලට බෝම්බ හෙළූ බව යි

එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ප්‍රහාරවලට සම්බන්ධ විය. කමේනි කිසිදා යටත් නොවන බවට සපථ කළ නමුත් දුර්වල බවක් දක්නට ලැබිණි.

2026 පෙබරවාරි 28 වන දින, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ගුවන් ප්‍රහාර දියත් කළහ. ට්‍රම්ප් ප්‍රහාරය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ඉරානයට "කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි" බව යි.

ඉරානය විසින් එල්ල කළ 'පැවැත්මේ තර්ජනය' ඉවත් කිරීම සඳහා මෙම පියවර ගත් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

ගල්ෆ් රාජ්‍යයන් ගණනාවක පිපිරීම් සිදු වූ අතර, ඉරානය තමන්ට පළිගැනීමේ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Abedin Tahaerkenareh / EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2026 ජනවාරි මාසයේදී රජය විසින් සංවිධානය කරන ලද අවමංගල්‍ය උත්සවයකදී මිනිසුන් අලි කමේනිගේ ඡායාරූප අතැතිව සිටිති. මියගිය පුද්ගලයින් රාජ්‍ය විරෝධී විරෝධතා අතරතුර මියගිය ආරක්ෂක නිලධාරීන් බව බලධාරීහු පවසති

බලයේ ලීවරයන් දැඩි ලෙසත්, බොහෝ විට කුරිරු ලෙසත් තම ග්‍රහණයට ගනිමින් කමේනි ඉරාන දේශපාලනය තුළ තම ආධිපත්‍යය පතුරුවා තිබේ.

ඇතැම් අවස්ථාවලදී, උත්තරීතර නායකයා ප්‍රතිසංස්කරණවාදීන් සහ ගතානුගතිකයින් අතර ඇති වන ගැටුම් පහත් කොට සලකමින් තමන් දේශපාලනයට වඩා ඉහළින් සිටින බව පෙන්වා දී ඇත. නමුත් අයතුල්ලා කමේනි තමන් විසින් අනුමත නොකරන ලද ප්‍රතිපත්ති සඳහා විසම්මුතිය වර්ධනය වීමට ඉඩ ලබා දී ඇත්තේ කලාතුරකින් ය.

ඉරානයේ ජීවිතය පාලනය වන්නේ ඔහු නියම කර ඇති නීති ඔස්සේ ය. කුමන වෙනස්කම් සිදුවිය හැකිදැයි පැවසීමේ හැකියාව පවතින්නේ සුළු පිරිසකට පමණි.

සංස්කරණය බීබීසී ලෝක සේවයේ ගෝලීය ජනමාධ්‍ය කණ්ඩායමේ ඇන්ඩෲ වෙබ් විසිනි.