නවතම තොරතුරු සඳහා නව සජීව පිටුව වෙත පිවිසෙන්න...
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමග ආරම්භ කළ ගැටුම පිළිබඳ තොරතුරු ගෙන ආ මෙම සජීව තවදුරටත් යාවත්කාලීන නොවන අතර නවතම තොරතුරු සඳහා අපගේ නව සජීව පිටුව වෙත මෙතැනින් පිවිසෙන්න.
බේරූට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කලාපය පුරා ඉරාන ප්‍රහාර අඛණ්ඩව පවතින අතර, බහරේන් සහ ඩුබායි වලින් පිපිරීම් වාර්තා වී ඇති අතර, කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අසලින් දුමාරයක් වාර්තා වී ඇත.
බීබීසී සිංහල
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමග ආරම්භ කළ ගැටුම පිළිබඳ තොරතුරු ගෙන ආ මෙම සජීව තවදුරටත් යාවත්කාලීන නොවන අතර නවතම තොරතුරු සඳහා අපගේ නව සජීව පිටුව වෙත මෙතැනින් පිවිසෙන්න.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂක අමාත්‍යාංශයට (MoD) අනුව, බැලස්ටික් මිසයිල නවයක්, කෲස් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 148 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් සාර්ථකව ප්‍රතිග්‍රහණය කර තිබෙනවා.
ඉරාන ප්‍රහාර ආරම්භයේ සිට, තම රට දෙසට දියත් කරන ලද බැලස්ටික් මිසයිල 174 ක් හඳුනා ගත් බවත්, ඉන් 161 ක් විනාශ වූ බවත්, 13 ක් මුහුදට වැටුණු බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
ඉරාන ඩ්‍රෝන යානා 689 ක් හඳුනාගත් අතර, ඉන් 645 ක් ප්‍රතිග්‍රහණය කර ඇති අතර, 44 ක් තම භූමිය තුළට ගොඩ බැස්සවූ බවත් එම අමාත්‍යංශය පැවසුවා.
මෙම සිදුවීම් අතරතුර පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 68 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද එක්සත් අරබි එමීර් රාජ්‍ය ආරක්ෂත අමාත්‍යාංශය පවසනවා.
ඉරානයේ සිට පැමිණෙන SU24 ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම දැමූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
"අද දින තම රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගත්" බැලස්ටික් මිසයිල 7ක් සහ ඩ්‍රෝන යානා 5ක් ඔවුන් විසින් වළක්වන ලද බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.
සියලුම මිසයිල ඒවායේ ඉලක්ක කරා ළඟා වීමට පෙර වෙඩි තබා බිම හෙළන ලද බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස් 154 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කර තිබෙනවා.
මීට පෙර, ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ "නිවසේදී" ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකා තහවුරු කර තිබෙනවා.
බගර්සාඩේ කෝමා තත්වයේ පසුවන බව ඉරාන මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.
මීට පෙර ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළේ කමේනිගේ දියණිය, මුණුබුරා සහ බෑණා මරා දමා ඇති බවයි.
කමේනි සහ ඔහුගේ බිරිඳට පුතුන් හතර දෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටිනවා.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් දැන් මධ්‍ය හමුවේ අදහස් දක්වමින් සිටිනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝග යටතේ ඉරානයට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එය ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික, සංකීර්ණම සහ නිරවද්‍යම ගුවන් මෙහෙයුම බව ඔහු කියා සිටියා.
"අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ, අපි එය අවසන් කරනවා," ඔහු සඳහන් කළා.
මෙය ‘ඊනියා පාලන තන්ත්‍ර මාරු කිරීමේ (regime change) යුද්ධයක් නෙමෙයි’, නමුත් පාලන තන්ත්‍රය "නිසැකවම වෙනස් වෙලා , එය ලෝකය වඩා හොඳ තත්වයකට පත් කර තිබෙනවා"
"මෙම යුද්ධයේ කොන්දේසි, ආරම්භයේ සිට අවසානය දක්වා නියම කළේ" එක්සත් ජනපදය බව හෙග්සෙත් ප්‍රකාශ කළා, "ඉරාන ජනතාව මෙම ඇදහිය නොහැකි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙන්ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.
මැදපෙරදිග ආතතීන්ට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළවල ගෑස් මිල තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් රාජධානියේ, අප්‍රේල් මාසයේදී බෙදා හැරීම සඳහා වන ස්වාභාවික ගෑස් මිල 42% කින් ඉහළ ගොස් ඇත.
කටාර් යනු ද්‍රව ස්වාභාවික ගෑස් අපනයනය කරන ප්‍රධාන රටක් වන අතර ඔවුන්ගේ දායකත්වය ගෝලීය සැපයුම්වලින් පහෙන් එකක් පමණ වේ - මෙයින් වැඩි ප්‍රමාණයක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා මුහුදෙන් ප්‍රවාහනය කෙරෙනවා.
ඉරානයෙන් තම මධ්‍යස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පසු ද්‍රව ස්වභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නතර කළ බව කටාර්හි රජයට අයත් බලශක්ති සමාගමක් වන කටාර් එනර්ජි (QatarEnergy) සමාගම පවසනවා.
ප්‍රහාරයට ලක් වූ මධ්‍යස්ථාන වන්නේ වෙරළබඩ ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් සහ කටාර්හි ස්වාභාවික ගෑස් නිෂ්පාදනය සඳහා තවත් ප්‍රධාන ස්ථානයක් වන මෙසායිඩ්.
ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව , රුසියාව හා කටාර් රාජ්‍යය ලොව ප්‍රමුඛතම ද්‍රව ස්වාභාවික ගෑස් නිෂ්පාදනය කරන රටක්.
ලෙබනන් රජය හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ ක්‍රියාකාරකම් රට පුරා තහනම් කර ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා පවසනවා.
රජයේ මෙම තීරණය හිස්බුල්ලා ව්‍යාපාරයේ දිගුකාලීන සමාන්තර අධිකාරියට ඇති පැහැදිලිම අභියෝගයන්ගෙන් එකක්.
රාජ්‍ය උපදේශනයකින් තොරව සඳුදා ඊශ්‍රායලය දෙසට හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.
හිස්බුල්ලා ප්‍රහාර කලාපීය ගැටුම් උත්සන්න වීම වැළැක්වීමේ ලෙබනන් රජයේ ප්‍රකාශිත ප්‍රතිපත්තියට සෘජුවම බලපානු ලබනවා.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
හිස්බුල්ලා යනු ඉරාන සහාය ලබන ලෙබනන ෂියා ඉස්ලාමික දේශපාලනික පක්ෂයක් සහ පැරාමිලිටරි කණ්ඩායමක්. 1992 සිට හසන් නස්රල්ලා එයට නායකත්වය සපයන ලදි. සංවිධානයේ නමේ අරුත වන්නේ 'දෙවියන්ගේ පක්ෂය' යන්න.
1980 ගණන්වල ඊශ්‍රායලය ලෙබනනය අත්පත්කර ගෙන සිටි සමයේ දී ඉරානයේ මූල්‍යමය හා හමුදාමය සහාය ඇතිව පැන නැගුනු හිස්බුල්ලා ඇරඹියේ ලෙබනනයේ දකුණේ වෙසෙන සම්ප්‍රදායිකවම බලය රහිත ෂියා ප්‍රජාව ආරක්ෂා කිරීමේ බලකායක් ලෙස වුව ද, එහි මතවාදීමය මූලයන් 1960 හා 1970 ගණන්වල ලෙබනනයේ ෂියා ඉස්ලාමික නැගිටීම දක්වා ඇදී යනවා.
2000 දී ඊශ්‍රායලය ලෙබනනයෙන් ඉවත්වූ පසු ආයුධ බිම තබන්නැ යි එල්ලවූ පීඩනය දරාගත් හිස්බුල්ලා, එහි 'ඉස්ලාමික ප්‍රතිරෝධය' නම් හමුදා අංශය දිගටම වැඩිදියුණු කළා.
කණ්ඩායම ක්‍රමයෙන්, එහි 'ප්‍රතිරෝධය සඳහා ලැදි පක්ෂ සමූහය' පක්ෂය හරහා ලෙබනනයේ දේශපාලන පද්ධතියේ ප්‍රධාන බලයක්බවට ද පත්විය. එය කැබිනට් මණ්ඩලයේ නිෂේධ බලය ද ලබාගෙන තිබෙනවා.
මීට පෙර, කුවේට් හමුදාව පැවසුවේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා "කිහිපයක්" කුවේටයේදී කඩා වැටී ඇති බවත් - සිද්ධිය ගැන විමර්ශනය කරමින් පවතින බවත්ය.
ඉරානයට එරෙහි එක්සත් ජනපද මෙහෙයුම වන "එපික් ෆියුරි මෙහෙයුමට" සහය දක්වමින් පියාසර කළ තම F-15 ජෙට් යානා තුනක් "පැහැදිලිවම මිත්‍රපාර්ශවල ප්‍රහාර හේතුවෙන් කුවේටයට ඉහළින් පියාසර කරමින් තිබියදී කඩා වැටුණු" බව එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය දැන් තහවුරු කර තිබෙනවා.
කාර්ය මණ්ඩලයේ හය දෙනාම ආරක්ෂිතව පිටතට ගෙන ඇති බවත් ඇමෙරිකානු හමුදා බලධාරීන් සඳහන් කළා.
ඉරාන අගනුවර වන ටෙහෙරානයට "අතිරේක පුළුල් ප්‍රහාරයක් ආරම්භ කර ඇති" බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශ කළා.
‘ඉරාන ත්‍රස්තවාදී පාලන ඉලක්ක’ යැයි ඔවුන් විස්තර කරන දේ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඔහු පැවසුවා.
කලාපයේ ඉරානයේ ක්‍රියාමාර්ග "භයානක තත්ත්වයක්" බවත් එය මැද පෙරදිග ස්ථාවරත්වයට තර්ජනයක් බවත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර පාක්ෂික ගල්ෆ් රාජ්‍යයන් හයක ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වනවා.
"සිවිල් වැසියන් සහ සටනට මැදිහත් නොවන රාජ්‍යයන් ඉලක්ක කර ගැනීම ස්ථාවරත්වයට හානි කරන නොසැලකිලිමත් හැසිරීමකි," කුවේට් විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.
මුලින් අරාබි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රකාශය කුවේට්, සවුදි අරාබිය, බහරේන්, කටාර්, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව නිකුත් කර තිබෙනවා.
කලාපය පුරා ඉරාන ප්‍රහාර අඛණ්ඩව සිදුවන බැවින් ඔවුන් පවසන්නේ "අපගේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය නැවත තහවුරු කරන" බවයි.
බහරේනය, ඉරාකය (ඉරාකයේ කුර්දිස්තාන් කලාපය ඇතුළුව), ජෝර්දානය, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබි රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ප්‍රහාර එල්ල වී ඇති බව එහි සඳහන් වේ.

ඊශ්‍රායල කටයුතු පිළිබඳ ඉරානයේ බුද්ධි අංශ නියෝජ්‍ය අමාත්‍ය සයිඩ් යායා හමීඩි ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසනවා.
බුද්ධි අමාත්‍යාංශයේ ඔත්තු බැලීමේ අංශයේ ප්‍රධානී ජලාල් පෝර් හොසේන් ද අනෙකුත් "රජයේ නිලධාරීන්" සමඟ ඝාතනයට ලක් වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සඳහන් කළා.
ඔවුන් ඝාතනය වූයේ කෙසේද, කවදාද හෝ කොහේද යන්න එහි විස්තර කර නැහැ.
ටෙහෙරානයේ පිහිටි ඉරානයේ බුද්ධි අංශ මූලස්ථානයට "ටික කලකට පෙර" ප්‍රහාරයක් එල්ල වූ බව ද එහි සඳහන් වේ.
සෞදි අරාබියේ බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ, එරට රාජ්‍ය තෙල් සමාගමක් වන ඇරමාකෝ විසින් පවත්වාගෙන යනු ලබන රාස් තනුරා පිරිපහදුවේ ඇතිවූ "සීමිත ගින්නක්" පාලනය කර ඇති බවයි.
සෞදි මාධ්‍ය ඒජන්සිය නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වන්නේ, "පිරිපහදුව අවට ඩ්‍රෝන යානා දෙකක්" විනාශ කිරීම හේතුවෙන් පිරිපහදුවට "වැටෙන සුන්බුන් වලින් සුළු හානියක්" සිදුවී ඇති බවයි. හදිසි සේවා මගින් ගින්න "වහාම මැඩපැවැත්වූ" බවත්, කිසිදු තුවාලයක් හෝ මරණයක් සිදු නොවූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
බීබීසී විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝවේ ගින්නක් සහ පිරිපහදුවෙන් විශාල දුම් වළලු නැඟෙන ආකාරය පෙන්වනවා.

ඡායාරූප මූලාශ්‍රය, Social media

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය වන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසන්නේ මෑත කාලීන එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ඉරානයේ "බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය, ටෙහෙරාන් පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකය හෝ වෙනත් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි සිදුවී ඇති බවට හෝ පහර දී ඇති බවට" කිසිදු සලකුණක් නොමැති බවයි.
ඔහු පවසන්නේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ඉරාන න්‍යෂ්ටික නියාමන බලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් "මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු" බවයි.
ඉරානයේ සහ බහරේන්, ඉරාකය, කුවේට්, ඕමානය, කටාර් සහ සෞදි අරාබිය ඇතුළු කලාපයේ අනෙකුත් රටවල න්‍යෂ්ටික මධ්‍යස්ථාන සැලකිල්ලට ගෙන "සියලුම හමුදා මෙහෙයුම් වලදී උපරිම සංයමයක්" ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා.
IAEA හි ඉරාන තානාපති රේසා නජාෆි බීබීසීයට පැවසුවේ ඉරිදා නටාන්ස් න්‍යෂ්ටික භූමියට පහර දී ඇති බවයි. ඔහු ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර නැහැ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් අඛණ්ඩව එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය මැද පෙරදිග පුරා ප්‍රහාර දියත් කිරීමත් සමඟ ගෝලීය තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
තෙල් මිල සඳහා ගෝලීය මිණුම් ඒකකයක් වන බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල, සඳුදා දිනයේදී ඩොලර් 82 කට වඩා ,10% කින් ඉහළ ගියා.
ලෝකයේ තෙල් හා ගෑස් වලින් 20% ක් පමණ නැව්ගත කරනු ලබන රටේ දකුණේ ඇති තීරණාත්මක සමුද සන්දිය හරහා යාත්‍රා නොකරන ලෙස ඉරානය තෙල් නෞකාවලට අනතුරු අඟවා තිබෙනවා.
ආරම්භක ඉහළ යාමෙන් පසුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 79 දක්වා පහත වැටුණු අතර, එක්සත් ජනපද වෙළඳාම් කරන ලද තෙල් 7.6% කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 72.20 ක් ලෙස සටහන් වුණා.
ඉරාන රතු අඩසඳ සංගමය පවසන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ නගර 130 කට වැඩි ගණනක සිදු කළ ප්‍රහාරවලින් පසු ඉරානයේ පුද්ගලයින් 555 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
"අද උදෑසන ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් කඩා වැටුණා" යැයි කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
කාර්ය මණ්ඩලය "නිරුපද්‍රිතව දිවි ගලවා ගත්" අතර, ඔවුන් බේරාගෙන සෞඛ්‍ය පරීක්ෂණ සඳහා රෝහල් වෙත මාරු කරන ලද අතර, කාර්ය මණ්ඩලයේ තත්ත්වය "ස්ථාවර" යැයි තහවුරු කළා.
"සිද්ධියට හේතු" පිළිබඳව පරීක්ෂණ දිගටම කරගෙන යන බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.