ඊශ්‍රායලයෙන් ටෙහෙරානයට ප්‍රහාර එල්ල වන අතරේ කටාර් සහ සෞදි බලශක්ති මධ්‍යස්ථානවලට ඉරානයෙන් ප්‍රහාර

බේරූට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කලාපය පුරා ඉරාන ප්‍රහාර අඛණ්ඩව පවතින අතර, බහරේන් සහ ඩුබායි වලින් පිපිරීම් වාර්තා වී ඇති අතර, කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අසලින් දුමාරයක් වාර්තා වී ඇත.

සාරාංශය

  • නවතම තොරතුරු සඳහා නව සජීව පිටුව වෙත පිවිසෙන්න...
  • ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල ගැටුම තෙවන දිනටත්
  • ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය වෙඩි හුවමාරුවක්
  • ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 31 දෙනෙකු මරුට - ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය
  • ලෙබනනයේ ගම්මාන 50කට වැඩි ගණනක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස IDF දැනුම් දෙයි
  • ඇමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙක් මරුට: පස් දෙනෙකු "බරපතළ තුවාල"
  • ඇමෙරිකානු හමුදා මෙහෙයුම සති ගණනක් පැවතිය හැකි බව ට්‍රම්ප් පවසන අතර ඉරානයට එරෙහි ප්‍රහාර දැඩි කිරීමට ඊශ්‍රායලය ප්‍රතිඥා දෙයි
  • ගෝලීය තෙල් මිල ඉහළට
  • ගල්ෆ් ගුවන් අවකාශය වසා දැමීමත් සමග සංචාරකයින්ට බාධා

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි IDF පවසයි

    මීට "සුළු වේලාවකට පෙර, ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි, හඳුනාගෙන ඇති "බව පවසමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

  2. ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනවලට සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා

    ඉරානයට එල්ල වූ ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පසුව, ඉරාන රාජ්‍යයට සම්බන්ධ ප්‍රවෘත්ති ආයතන සහ අන්තර්ජාල වේදිකා කිහිපයක් සයිබර් ප්‍රහාරවලට ලක්ව ඇති බව එරට දැඩි මතධාරී දිනපතා පුවත්පතක් වන හම්ෂහ්රි සිය ටෙලිග්‍රෑම් නාලිකාවේ වාර්තා කර තිබෙනවා.

    මිලිටරි ගැටුම් උත්සන්න වීමත් සමග ම "පුළුල් ලෙස" සයිබර් ප්‍රහාර එල්ල කිරීම ද ආරම්භ වී ඇති බවත්, ප්‍රධාන දේශීය මාධ්‍ය වේදිකා ගණනාවක් බාධා කිරීම් හෝ මෙහෙයුම් දුෂ්කරතා අත්විඳිමින් සිටින බවත් වාර්තාවේ සඳහන් වුණා.

  3. යුරෝපයට තර්ජනයක් විය හැකි මිසයිල ඉරානය සංවර්ධනය කරමින් සිටින බව ට්‍රම්ප් පවසයි

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරානයේ 'මහා සටන් මෙහෙයුම්' ආරම්භ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය

    Truth Social හි, ට්‍රම්ප්ගේ ප්‍රකාශය ගැන වැඩි විස්තර: ඉරානය "ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැංවීමට සහ යුරෝපයේ අපගේ ඉතා හොඳ මිතුරන්ට සහ මිත්‍ර පාක්ෂිකයින්ට, විදේශයන්හි ස්ථානගත කර ඇති අපගේ හමුදාවලට සහ ඉක්මනින් ඇමෙරිකානු භූමියට ළඟා විය හැකි දිගු දුර මිසයිල සංවර්ධනය කිරීම දිගටම කරගෙන යාමට උත්සාහ කළා" යැයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළා.

    "මෙම ඉතා දුෂ්ට රැඩිකල් ආඥාදායකත්වය ඇමෙරිකාවට තර්ජනය කිරීම වැළැක්වීම සඳහා" ඇමෙරිකා එක්සත් ජනපදය "දැවැන්ත" මෙහෙයුමක් දියත් කරමින් සිටින බව ඔහු කියා සිටියා.

  4. ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් පසු ටෙහෙරාන් අහසේ දුමාරය නිකුත් වූ අයුරු

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානයේ ටෙහෙරාන් නුවර දුමාරයක් හටගත් අයුරු
  5. ඉරානයට එරෙහි ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ වූ බව ට්‍රම්ප් තහවුරු කරයි

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි මිනිත්තු අටක වීඩියෝවක් පළ කර ඇති අතර ඉරානයට එල්ල වූ ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ බව තහවුරු කරනවා.

    "අපි ගිවිසුමක් ඇති කර ගැනීමට නැවත නැවතත් උත්සාහ කළා. අපි ඔවුන්ගේ මිසයිල විනාශ කර ඔවුන්ගේ මිසයිල කර්මාන්තය සම්පුර්ණයෙන්ම විනාශ කර දමනවා" ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

    අපි තවමත් වීඩියෝවට සහ ට්‍රම්ප්ගේ සම්පූර්ණ ප්‍රකාශවලට සවන් දෙමින් සිටින අතර ඉක්මනින් ඔබව යාවත්කාලීන කිරීමට සූදානම්.

  6. ඊශ්‍රායල් - ඉරාන ගැටුම් ගැන මතකයන්, ලුසි විලියම්සන් - ටෙල් අවිව් සිට වාර්තා කරන මැද පෙරදිග වාර්තාකරු

    වසරකටත් වඩා අඩු කාලයකදී දෙවන වරටත් ඊශ්‍රායලය, ඉරානය සමඟ යුද්ධයකට එළඹ තිබේ.

    ඉරානයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බැවින්, මෙම සති අන්තයේ උදෑසන ටෙල් අවිව් හි වෙරළ තීරයන් බොහෝ දුරට හිස්ව තිබෙනවා.

    පසුගිය වසරේ ජුනි මාසයේ පැවති දින 12 ක යුද්ධයේදී ඉරාන බැලස්ටික් මිසයිල ඊශ්‍රායල් මහල් නිවාසවලට පතිත වූ ආකාරය පිළිබඳ මතකයන් මේ සමග අලුත් වී තිබේ.

    එම යුද්ධයේදී ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය දැඩි ලෙස හානි වූ අතර එහි ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ද දැඩි ලෙස හානි විය.

    අභ්‍යන්තර විරෝධතා සහ කලාපය වටා ඉරාන ප්‍රොක්සි හමුදා දුර්වල වීම නිසා ඔවුන් අතිශයින් අවදානමට ලක්ව ඇත.

    කලාපයේ සිය ප්‍රතිවාදියාට පහර දීමට මෙය හොඳ අවස්ථාවක් ලෙස ඊශ්‍රායලය දැකගත හැකිය.

    නමුත් ඉරානයේ දුර්වලතාවය නිසා ඔවුන් පෙරට වඩා දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට පෙළඹවිය හැකිය.

  7. ඉරානයේ නගර පහක පිපිරීම් ඇසුණු බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි

    ඉරාන මාධ්‍ය වාර්තා කරන පරිදි ඉරානය පුරා නගරවල පිපිරීම් ඇසුණු බව වාර්තා වෙනවා.

    ඉස්ෆහාන්, කෝවෝම්, කරජ් සහ කෙර්මන්ෂා නගරවල පිපිරීම් ඇසුණු බව ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.

    ඉරාන අගනුවර වන ටෙහෙරානයේ විශ්ව විද්‍යාල වීදියට සහ රිපබ්ලික් ප්‍රදේශයට මිසයිල කිහිපයක් එල්ල වී ඇති බව ද එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

    ටෙහෙරානයේ ස්ථාන දෙකක පිපිරීම් ඇසුණු බව එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා. නගර මධ්‍යයේ දුමාරයක් දැකිය හැකි බව එහි සඳහන්.

  8. ඊශ්‍රායලයේ සහ ඉරානයේ ගුවන් කලාප වසා දැමේ

    සෙනසුරාදා උදෑසන ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය සිවිල් ගුවන් ගමන් සඳහා තම ගුවන් කලාපය වසා දමා ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.

    ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට සම්බන්ධ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ ඉරානයේ ගුවන් කලාපය ද වසා දමා ඇති බවයි.

  9. ටෙහෙරානයෙන් දුමාරයක් නිකුත්වන අයුරු

    ටෙහෙරානයේ ජොමාරි චතුරශ්‍රය සහ හසන් අබාද් චතුරශ්‍රය හරහා දුමාරයක් නැඟී යන ආකාරය පිළිබඳ ඡායාරූප බීබීසීයට ලැබී තිබෙනවා.

    හසන් අබාද් චතුරශ්‍රය
    ඡායාරූප ශීර්ෂ වැකිය, හසන් අබාද් චතුරශ්‍රය
  10. ආයුබෝවන්...!

    ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් තුනක් ඇසුණු බවට ඉරාන මාධ්‍ය වාර්තා කර කරනවා.

    මේ අතර, තම රට ඉරානයට එරෙහිව "පූර්ව ක්‍රියාමාර්ගයක් " ලෙස ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කළා.

    මැද පෙරදිග වර්ධනය වන මෙම තත්ත්වය පිළිබඳ සුවිශේෂී තොරතුරු මෙම සජීවී වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බීබීසී සිංහල සූදානම්