T20 ලෝක කුසලානය: පකිස්ථානය ලැබූ පරාජය නිසා ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව සිහිනයට සහනයක්
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
පකිස්ථානය සහ එංගලන්තය අතර අඟහරුවාදා (පෙබ: 24) පැවති තරගයෙන් එංගලන්තය කඩුලු 2ක ජයක් හිමි කර ගත්තේ ය.
ඒ අනුව, පකිස්ථාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තරමක් අසීරු තත්ත්වයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, එම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට යම් සහනයක් ළඟා කර ඇත.
මේ වන විට කාණ්ඩ දෙකෙහි කණ්ඩායම්වලට හිමි ස්ථාන
1 වන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් සමගින් ශුද්ධ ලකුණු අනුපාතය 5.35ක් පවත්වාගෙන සිටී.
ප්‍රසාද ලකුණු 2ක් ලබා දෙවන ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවේ ශුද්ධ ලකුණු අනුපාතය 3.80කි.
තුන් වන ස්ථානයේ පසු වන ඉන්දියාවේ ශුද්ධ ලකුණු අනුපාතය - 3.80ක් වන අතර සිව් වන ස්ථානයේ සිටින සිම්බාබ්වේ කණ්ඩායමේ ශුද්ධ ලකුණු අනුපාතය - 5.35කි.
මේ අතර, ශ්‍රී ලංකාව ද ඇතුළත් වන 2 වන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 2 ම ජය ගත් එංගලන්ත කණ්ඩායම යි.
එංගලන්තයේ ශුද්ධ ලකුණු අනුපාතය 1.491කි.
එංගලන්ත කණ්ඩායම මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.
නවසීලන්තය එක් ප්‍රසාද ලකුණක් සමගින් දෙවන ස්ථානයේ පසු වෙයි.
එංගලන්තය සමග පැවති තරගයෙන් ලැබූ පරාජයත් සමග පකිස්ථානය තුන් වන ස්ථානයේ පසුවන්නේ, එක් ප්‍රසාද ලකුණක් සමගිනි.
ඔවුන්ගේ ශුද්ධ ලකුණු අනුපාතය - 0.461කි.
සිව් වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු අනුපාතය - 2.55කි.
ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යාමට ඇති අවස්ථා මොනවා ද?
ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.
ඒ, නවසීලන්තය සහ නවසීලන්තය සමග ය.
එම තරග දෙකෙන් ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් බවට පත්වනු ඇත.
එසේ වුවහොත්, 2 වන කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.
යම් හෙයකින් නවසීලන්තය ශ්‍රී ලංකාව සහ එංගලන්තය හමුවේ ජයග්‍රහණ වාර්තා කළහොත් ඔවුන් 2 වන කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වනු ඇත.
අද (පෙබ: 25) නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් පකිස්ථානයට ද යම් වාසිසහගත තත්ත්වයක් වනු ඇත.
එසේ වුවහොත්, ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් වනු ඇත.
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් පකිස්ථානය ජය ගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 3ක් දක්වා ඉහළ යනු ඇත.
එසේ වුවහොත්, ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ශුද්ධ ලකුණු අනුපාතය අනුව අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වනු ඇත.
කෙසේ වෙතත්, නවසීලන්තය ඉදිරි තරග දෙකෙන් ම ජය ගතහොත් අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාව ඔවුන්ට හිමි වනු ඇත.
ශ්‍රී ලංකාවට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ඇති තරග මොනවා ද?
සුපිරි 08 වටයේදී එක් එක් කණ්ඩායමට තමන්ගේ කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් 03 සමග එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට සිදුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී නවසීලන්තය සහ පකිස්ථාන කණ්ඩායම සමග සුපිරි 08 දෙනාගේ වටයේ තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත.
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද (පෙබ: 25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
එමෙන් ම, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය පෙබරවාරි මස 28 වන දා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත ය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවසන් පූර්ව තරගයක් කොළඹදී පැවැත්වීමට අවස්ථාවක්
මේ අතර, මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවහොත් ඔවුන් එම තරගය ක්‍රීඩා කරන ප්‍රතිවාදී කණ්ඩායම සහ අනෙකුත් කණ්ඩායම් මත මෙරටදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇති බව Cricinfo වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
ඒ අනුව, පකිස්ථානය හැර ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඉන්දියාව හැර වෙනත් කණ්ඩායමක් සමග ක්‍රීඩා කරන්නේ නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට කොළඹදී පළමු අවසන් පූර්ව වටයේ තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවනු ඇත.
යම් හෙයකින් ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් නොලැබුවහොත් පළමු අවසන් පූර්ව වටයේ තරගය කොල්කටාහිදීත්, දෙවන අවසන් පූර්ව තරගය මුම්බායිහිදීත් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇත.
දෙවන අවසන් පූර්ව වටයේ තරගයට ඉන්දියාව ක්‍රීඩා කරන්නේ නම් එම තරගය මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර, යම් හෙයකින් පකිස්ථානය සහ ඉන්දියාව අතර එම තරගය ක්‍රීඩා කරන්නේ නම්, තරගය පවත්වන ස්ථානය වෙනස් වීමට ඉඩ ඇත.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත