මධ්‍යතන යුගයට අයත් අභිරහස් සුසාන භූමියක් හමුවෙයි

Skeleton in medieval graveyard

ඡායාරූප මූලාශ්‍රය, BBC/Kevin Church

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒවායේ වයස සැලකූකල මෙහි ඇති ඇටසැකිලි ඉතා හොඳින් සංරක්ෂණය වී ඇත

දුර්ලභ, මුල් මධ්‍යතන යුගයට අයත් සුසාන භූමියක් වේල්සයෙන් හමුවී ඇති අතර එය පුරාවිද්‍යාඥයින්ට උභතෝකෝටික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

එය ක්‍රිස්තු වර්ෂ 6 වන හෝ 7 වන සියවසට අයත්යැ යි සැලකෙන අතර, සොහොන් ගැබ් 70න් 18ක් මේ වන විට කැණීම් කර ඇතැ යි අනුමානිත ය.

හොඳින් සංරක්ෂණය කර ඇති ඇතැම් ඇටසැකිලි අසාමාන්‍ය අයුරින් තැන්පත් කර ඇති අතර, අනපේක්ෂිත කෞතුක වස්තු ද එම ස්ථානයෙන් මතුවෙමින් පවතියි.

මෙම කැණීම හරහා පුරාණ ප්‍රජාවක් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වීම ආරම්භ වී ඇතත්, ඒ සම්බන්ධයෙන් ගැටලු ද මතු වෙමින් තිබේ.

මෙම සුසාන භූමිය කාර්ඩිෆ් ගුවන් ගුවන්තොටුපළේ ගුවන් යානා ධාවන පථය අවසන් වන ස්ථානයට නුදුරින් පිහිටා ඇති ෆොන්මන් මාළිගය පිහිටි භූමියේ පිහිටා තිබේ.

බොහෝ කාලයක සිට පාෂාණය සමග බද්ධ වී ඇති සොහොන් නිරාවරණය කර ගැනීම සඳහා කණ්ඩායමක් මතුපිට තුනී පාංශු ස්ථරය ප්‍රවේශමෙන් ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටිති.

Skeleton in medieval graveyard

ඡායාරූප මූලාශ්‍රය, BBC/Kevin Church

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් ඇටසැකිල්ලක ඉදිරිපස දත් බෙහෙවින් ගෙවීගොස් තිබේ

රෙඩිං විශ්වවිද්‍යාලයයේ අස්ථි පුරාවිද්‍යාඥවරියක වන සමර් කෝර්ට්ස් පවසන්නේ, වසර 1500ක් පමණ පැරණි වුව ද ඇටසැකිලි හොඳ තත්ත්වයේ පවතින බව ය.

අදාළ ප්‍රජාව ජීවත් වූ ආකාරය සහ ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් සලකුණු සපයන, අලුතින් ම කණින ලද හිස් කබලක් පෙන්වමින් ඇය මෙසේ කියයි.

"මේකේ සමහර දත් අමුතු විදියකට ගොඩක් ගෙවිලා තියෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් මෙවලම් ලෙස දත් පාවිච්චි කරපු බව වෙන්න පුළුවන්."

"රෙදි විවීම, සම් ආශ්‍රිත වැඩ හෝ කූඩා සැකසීම වැනි රැකියාවක නිරත වුණා වෙන්න පුළුවන්. ඔවුන් තමන්ගේ ඉදිරි දත්වලින් යමක් ඇදලා තියෙනවා."

කෙසේ වෙතත්, ඇතැම් ඇටසැකිලි ප්‍රහේළිකාවක් මතු කර යි - ඒවා විවිධ ඉරියව්වලින් වැතිරී සිටියි.

ඇතැම් ඒවා එම කාලයේ සාමාන්‍ය ඉරියව්වක් වූ උඩුබැලි අතට තබා ඇති අතර, තවත් කිහිපයක් පැත්තට හරවා තබා තිබේ. තවත් සුළු සංඛ්‍යාවක් ඇණ තබාගෙන සිටින ඉරියව්වෙන් ද වළලා තිබේ.

ඒ පිළිබඳව අස්ථි පුරාවිද්‍යාඥයින්ට පැහැදිලි අදහසක් නැත. භූමදානය කිරීමේ ක්‍රම වෙනස් වෙමින් පැවති කාලපරිච්ඡේදයක සුසාන භූමිය භාවිතා කළේ ද? එසේ නැතහොත්, ඇතැමුන්ට වෙනස් ලෙස සැලකීමක් කළේ ද?

Medieval cemetery

ඡායාරූප මූලාශ්‍රය, BBC/Kevin Church

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ස්ථානයේ සොහොන් 70ක් පමණ ඇතැ යි පර්යේෂණ කණ්ඩායම සිතන අතර මේ වන විට 18ක් සොයාගෙන තිබේ

සොහොන් ආශ්‍රිතව තිබී සොයා ගැනුණු ද්‍රව්‍ය ද පුදුමසහගත ඒවා වන අතර, ඒවායින් පළමු සහශ්‍රයේ මැද භාගයේ පැවති ජීවන රටාව වත්මන් ජීවන රටාවට වඩා හාත්පසින් වෙනස් බව පෙනී යයි.

පිඟන් කෝප්පවල කොටස් සහ මස් ලබාගෙන පුළුස්සා දැමූ සත්ත්ව අස්ථි කොටස් ද සොයාගෙන ඇත. එක් අයිතමයක් සැබවින් ම මෙම ප්‍රජාවට ජීවයක් ලබා දෙයි: කුඩා කැටයම් කළ කූඤ්ඤයක් වැනි එය සූදු ක්‍රීඩාවක ලකුණු සටහන් කිරීම සඳහා සලකුණු තබන, ඇතැම් විට අප ක්‍රිබේජ් පුවරුවක (cribbage board) යොදා ගන්නා මෙවලමක් ලෙස භාවිත කළ යමක් විය හැකි ය.

Peg from medieval graveyard

ඡායාරූප මූලාශ්‍රය, BBC/Kevin Church

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම කුඩා කැටයම් කරන ලද කූඤ්ඤ සත්ත්ව අස්ථිවලින් සාදා ඇති අතර එය මධ්‍යකාලීන සූදු පුවරුවක් සඳහා භාවිත කළ එකක් විය හැකි ය

මෙම කැණීම් කණ්ඩායම මෙහෙයවන කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයයේ මුල් මධ්‍යතන පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ඇන්ඩි සීමන් පවසන්නේ, වත්මන් සුසාන භූමි මෙන්, මෙය මළවුන් බැහැර කරන ස්ථානයක් පමණක් නොවන බව පෙනී යන බව ය.

"සොහොන් බිම් කිව්වා ම අපි හිතන්නේ අපි ඇත්තට ම ළඟා නොවෙන සංවෘත අවකාශ විදිහට යි. ඒත් සොහොන් බොහෝවිට අතීතයේ දී ජීවිතයට බෙහෙවින් කේන්ද්‍රීයව තියෙන්න ඇති," ඔහු පැහැදිලි කළේ ය.

"එය මිනිසුන් භූමදාන කරන ස්ථානයක් පමණක් නොව, ප්‍රජාව එකට එකතු වන ස්ථානයක්. ඔවුන් ඔවුන්ගේ මළවුන් භූමදාන කරනවා, නමුත් ආහාර ගැනීම, බීම පානය කිරීම ආදී වෙනත් ආකාරයේ ක්‍රියාකාරකම් සහ සමාජ භාවිතයන් ද එහි කරනවා."

Shard of glass in Medieval cemetery

ඡායාරූප මූලාශ්‍රය, BBC/Kevin Church

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශයෙන් ආනයනය කරන ලද කුඩා වීදුරු කැබැල්ලක් එක් සොහොනක තිබී හමුවිය

වඩාත් ව්‍යාකූලත්වය නම්, සොහොන් බිමෙහි සිටින පුද්ගලයින් සාමාන්‍ය වැසියන්ට වඩා අතිශයින් වෙනස් ප්‍රජාවක් බව මෙහිදී සොයා ගන්නා ලද කෞතුක වස්තුවලින් පෙනී යාම ය.

කැණීම් කරන අතරතුර, උද්යෝගයෙන් යුතු කෑගැසීමක් ඇසෙන්නට විය: "මම මේ දැන් වීදුරු කෑල්ලක් හොයා ගත්තා."

එය මිනී වළක් තුළ තිබී හමු විය.

"ඒක වළලු කැබැල්ලක්, අයිස් ක්‍රීම් කෝන් එකක හැඩයෙන් යුත් භාජනයක්. ඉතා සියුම් වීදුරු කැබැල්ලක්... ඒක ඇත්තට ම වැදගත් සොයා ගැනීමක්," එම පුරා වස්තුවට කැමැත්තක් දක්වන ඇන්ඩි සීමන් පවසයි.

එය ප්‍රංශයේ බෝඩෝ ප්‍රදේශයෙන් ආනයනය කරන ලද්දක් බව ඔහු සිත යි. ආනයනය කරන ලද භාණ්ඩ අතර වන්නේ එය පමණක් නොවේ. පර්යේෂණ කණ්ඩායම විසින් උතුරු අප්‍රිකාවට අයත් බව සිතිය හැකි මැටි බඳුන් කැබලි කිහිපයක් ද සොයාගෙන තිබේ.

Skeleton in medieval graveyard

ඡායාරූප මූලාශ්‍රය, BBC/Kevin Church

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ප්‍රජාව පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගැනීම සඳහා මෙම ඇටකටු සම්බන්ධයෙන් DNA විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත ය

මෙම ‌සොයා ගැනීම්වල ගුණාත්මක භාවය තුළින් යෝජනා කරන්නේ, එම ජනතාව උසස් තත්ත්වයක පසුවූ බව ය.

කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයයේ ටියුඩර් ඩේවීස් පවසන්නේ, "එම ජනතාවට ධනවත් පුද්ගලයින් හරහා වෙළෙඳ හෝ හුවමාරු ජාල හරහා පමණක් ලබා ගත හැකි ඉතා උසස් තත්ත්වයේ ආනයනික භාණ්ඩ ගෙන්වා ගන්න පුළුවන් ආකාරයේ ප්‍රවේශයක් තිබුණු බව අපට මෙහිදී සාක්ෂි ලැබී තියෙනවා."

"ඇත්තට ම මෙතන මොන වගේ තැනක් ද? මෙතන වළලපු මිනිස්සු කවුද?"

Medieval cemetery

ඡායාරූප මූලාශ්‍රය, BBC/Kevin Church

ඡායාරූප ශීර්ෂ වැකිය, පුරාවස්තුවලින් පෙනී යන්නේ මෙහි මිහිදන් කෙරුණු පුද්ගලයින් උසස් තත්ත්වයක පසුවූවන් බව ය

මෙම සුසාන භූමිය භාවිතයට ගැනුණු අවධිය පිළිබඳ නිශ්චිත දින වකවානු තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු වන අතර, මෙහි මිහිදන් කළ පුද්ගලයන් පිළිබඳ තවත් තොරතුරු DNA විශ්ලේෂණ හරහා අනාවරණය වනු ඇත.

මෙම සුසාන භූමිය එක් එක් පුද්ගලයාගේ සහ සමස්ත ප්‍රජාවගේ කාල නීර්ණය පිළිබඳ නොනිල චිත්‍රයක් සපයනු ඇති අතර අප තවමත් ඉතා අල්ප වශයෙන් දන්නා යුගයකට වැඩි ආලෝකයක් ගෙන දීමට උපකාරී වනු ඇත.

කෙසේ වෙතත්, මෙහි සැබවින් ම වාසය කළ සහ මියගිය පුද්ගලයින් පිළිබඳව ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට බොහෝ කලක් ගතවනු ඇත.