STF අත්අඩංගුවට පත් සැකකරුවෙකු දින 25ක් අතුරුදන් වූයේ කෙසේ ද? නීතිපතිට පැමිණිල්ලක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජයේ ආරක්ෂක අංශ විසින් පුද්ගලයකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන්, 2018 වසරේ සම්මත කළ පුද්ගල අතුරුදන් කිරීම්වලට එරෙහි සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අද (ජුනි 13 වැනිදා) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
පුද්ගලයින් අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත 2018 වසරේදී සම්මත වීමෙන් පසුව, රජයේ ආරක්ෂක අංශ විසින් පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් මෙම පනත යටතේ ඉදිරිපත් කෙරුණු පළමු පැමිණිල්ල මෙය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතීඥ සේනක පෙරේරා සඳහන් කළේය.
"2018 වසරේ මෙම පනත සම්මත කළත් මේ දක්වා ඒ යටතේ කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. එම පනතේ තුන්වන වගන්තිය යටතේ පුද්ගලයින් පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට බලය තිබෙන්නේ නීතිපතිවරයාට." ඒ අනුව නීතිපතිවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව නීතිඥ සේනක පෙරේරා සඳහන් කර සිටියේය.
STF අත්අඩංගුවට
නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිව සිටි කපිල කුමාර ද සිල්වා නමැත්තා ඉකුත් මාර්තු මස 27 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවය.
ඉන් අනතුරුව දින 25ක් පමණ එම පුද්ගලයා අතුරුදන්ව සිටි බවත් පැමිණිල්ලේ දක්වා තිබේ.
පසුව එම පුද්ගලයා ඉකුත් අප්‍රෙල් මස 20 වැනිදා පිටිගල පොලිසියෙන් හමුවූ බවත් එහි දක්වා තිබේ.
ඒ අනුව අදාළ පුද්ගලයා දින 25 ක් පමණ අතුරුදහන්ව සිටි බවත් එය පුද්ගල අතුරුදන් කිරීම් වලට එරෙහි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය.
‘මේ පනත යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට නීතිපතිවරයා ඒ පිළිබඳව විමර්ශනයක් කළ යුතුය. එසේ විමර්ශනය පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගත යුතුයි.’ යනුවෙන් නීතිඥ සේනක පෙරේරා සඳහන් කර සිටියේය.
‘සති දෙකක් තුළ ක්‍රියාමාර්ග ගන්න’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේ ‘පුද්ගලයින් පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සම්මුතියක් යටතේ වරදක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ අනුව 2018 වසරේ අංක 5 දරණ පුද්ගලයින් අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුවේදී නීති ගත කළා. එතැන් පටන් පුද්ගල පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් එම පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට බලය හිමිවී තිබෙනවා. ඒ අනුවයි අප මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපතිවරයා සති දෙකක් තුළ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් නීතිපතිවරයාගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා" යනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කර සිටියේය.
මෙම පනත යටතේ 1988- 89 වකවානුවේ පැවති භීෂණ සමයේ අතුරුදහන් වූ පුද්ගලයින් සහ යුද්ධයේදී ඇතිවූ පුද්ගල අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් තිබේදැයි නීතිඥ ලක්ෂාන් ඩයස්ගෙන් අප විමසුවෙමු.
"මේ සම්බන්ධයෙන් කෙලින්ම පිළිතුරක් ලබා දීම අපහසුයි. මොකද මේ පනත සම්මත වුනේ 2018 වසරේ. ඒ අනුව 2018 වසරෙන් පසුව සිදුවන අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් තමයි මේ යටතේ නඩු පැවරීමට බලය තිබෙන්නේ. 2018 වසරට පෙර සිදුවූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් තිබේදැයි සෘජුව කියන්න බෑ. ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වයන් හා පූර්වාදර්ශයන් ගැන අධ්‍යයනයක් කළ යුතුයි." යනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කර සිටියේය.
































