චන්ද්‍ර නව වසර ගැන ඔබ දැනගත යුතු දේ

Chinese folk artists perform the lion dance at a temple fair to celebrate the Lunar New Year

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2024 වසරේ චන්ද්‍ර නව වසර සමරනු ලබන්නේ, පෙබරවාරි 10 වන සෙනසුරාදා දිනයේදී ය. දින 15ක් පුරා පැවැත්වෙන් එම සැමරුම අවසන් වන්නේ, චීන පහන් කූඩු සැණකෙළියකිනි.

චීන සම්ප්‍රදායට අනුව, සෑම වසරක් ම චීන රාශ්‍රි චක්‍රයේ ඇති විවිධ සතුන් 12 දෙනෙකුගේ නම්වලින් නියෝජනය වෙයි. 2024 වසරේදී හාවාගේ වසරේ සිට මකරාගේ වසරට පිවිසෙයි.

කෙසේ වෙතත්, ඒ සියල්ලෙන් අදහස් කරන්නේ කුමක් ද?

චන්ද්‍ර නව වසර යනු චීන නව වසර ම ද?

ඇතැම් ප්‍රජාවන් අතර එය එකිනෙකට වෙනස් ආකාරයෙන් භාවිත විය හැකි වුව ද, පැහැදිලි වෙනසක් පවතී.

ශීත ඍතුව අවසන් වී වසන්ත ඍතුව ආරම්භ වීම සනිටුහන් කරන හෙයින් චීන නව වසර පොදුවේ සලකන්නේ, වසන්ත සැණකෙළිය යනුවෙනි. එය චීනයේ පැවැත්වෙන වඩාත් වැදගත් සාම්ප්‍රදායික උත්සව හතරෙන් එකක් වන අතර, එහිදී, චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසරක ආරම්භය සැමරේ.

චීන සම්ප්‍රදායන් සහ සංස්කෘතිය සමරන නව වසරේ සිදුවීම් දෙස විශේෂයෙන් බලන විට, එය චීන නව වසර ලෙස හැඳින්විය හැකි ය.

කෙසේ වෙතත්, නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල් ද මෙවැනි උත්සව සමරයි. එමෙන් ම, විවිධ සංස්කෘතීන් සහ රටවල් අනුව සැමරුම් වෙනස් වේ.

චන්ද්‍ර නව වසර යනු චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසරක් සනිටුහන් කරන සියලු ම උත්සව ඇතුළත් වන වඩාත් පොදු යෙදුමකි.

වෙනත් රටවල, චන්ද්‍ර නව වසර වන යෙදුම භාවිත කෙරෙන්නේ, චීන නව වසර හෝ වසන්ත සැණකෙළිය යන යෙදුම් වෙනුවට ය.

කෙසේ වෙතත්, චීනයේ විචාරකයින් බොහෝ දෙනෙකු තර්ක කරන්නේ, මෙම නිවාඩු දිනය සමග චීන චන්ද්‍ර සූර්ය දින දර්ශනයේ (සඳේ සහ පෘථිවියේ චක්‍ර මත පදනම් වූ) සහ කලාපයේ රටවලට චීනය ඇති කළ ඓතිහාසික බලපෑම් සම්බන්ධ මූලයන් සම්බන්ධ බවට ය.

එහෙයින්, වචන තෝරා ගැනීම මතභේදයට තුඩු දිය හැකි ය.

චන්ද්‍ර නව වසර සැමරෙන්නේ කොහේ ද?

Homemade dishes sit on a table during a Lunar New Year gathering on February 9, 2018 in Wuhan, Hubei province

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ වසරේ, ලොව පුරා බිලියන 1.5ක පමණ ජනගහනයක් චන්ද්‍ර නව වසර සමරනු ඇත.

සිය පවුලේ සාමාජිකයින් හෝ හිත මිතුරන් සමග කාලය ගත කිරීම සඳහා මිලියන ගණනක් ජනතාව සංචාරයන්හි නිරත වන හෙයින්, ලෝකයේ විශාලතම වාර්ෂික මිනිස් සංචරණය සිදුවන්නේ ද මෙම කාල සීමාවේදී ය.

වියට්නාමයේ, මෙම දිනය හඳුන්වන්නේ, තෙට් නිගයෙන් ඩැන් (Tet Nguyen Dan) හෝ කෙටියෙන් නම් තෙට් යනුවෙනි. එහි අදහස පළමු දිනයේ පළමු උදෑසන සැණකෙළිය යන්න ය.

උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ ජනතාව සියෝලාල් (Seollal) සමරති. මොංගෝලියාවේ මෙම උත්සවය හඳුන්වන්නේ, සගාන් සාර් යනුවෙනි. ඇතැම් මොංගෝලියානුවෝ එය සුදු සඳ සැණකෙළිය (White Moon festival) ලෙස හඳුන්වති.

සාමාන්‍යයෙන්, නව වසරට පෙර දින කිහිපය තුළදී, චීන පවුල් සිය නිවෙස් වසන්තය වෙනුවෙන් හොඳින් පිරිසුදු කරයි. එම පිරිසුදු කිරීමෙහි අර්ථය, අවාසනාව ඉවත දැමීමත්, වාසනාව ඇතුළු වීම සඳහා කාමර සූදානම් කර තැබීමත් ය.

සාම්ප්‍රදායිකව ඉදිරි වසර සඳහා වාසනාව ගෙන දෙන නූඩ්ල්ස්, හොට් පොට්, ඩම්ප්ලිං, නියං ගාවෝ (අලුත් අවුරුදු සහල් කේක්) හෝ රාබු කේක්, මාළු සහ ජමනාරං වැනි විශේෂ ආහාර රාශියක් අනුභව කිරීමට පවුලේ සාමාජිකයින් සහ මිතුරන් එකතු වනු ඇත. මෙම උත්සවය සැමරීම සඳහා ජනතාව ගිනිකෙළි භාවිතය, විශේෂ ඇඳුම්වලින් සැරසීම සහ රතු පැහැති පහන් කූඩු එල්ලීම සිදු කරනු ඇත.

චන්ද්‍ර නව වසරේදී, ඉදිරි වසර සඳහා සුබ පැතුම් සහ වාසනාව නියෝජනය කරන හොංබාඕ ලෙස හඳුන්වන මුදල් සහිත දීප්තිමත් රතු පැහැති ලියුම් කවරයක් මිතුරන්ට සහ පවුලේ සාමාජිකයින්ට පිරිනැමීම ද සම්ප්‍රදායිකව සිදුවේ.

2024 වසරේ චීන නව වසර වෙනුවෙන් වන නිවාඩුව කෙතරම් දීර්ඝ ද?

නව වසරේ දිනය තීරණය වන්නේ චන්ද්‍ර දින දර්ශනය අනුව ය. එය සාමාන්‍යයෙන් දෙසැම්බර් 21 වන දින ශීත ඍතුවේ සූර්යාලෝකය වැඩි ම දිනයෙන් පසු දෙවන නව සඳ පාදක කරගෙන, එනම්, ජනවාරි 21 සහ පෙබරවාරි 20 අතර දිනයක යෙදේ.

මෙම සැමරීම් උත්සවය සාමාන්‍යයෙන් දින 15ක් පුරා දිවෙයි. එය නව සඳ පායන දිනයෙන් ඇරඹෙන අතර, ඊළඟ පසලොස්වක දිනයෙන් අවසන් වේ.

මෙම වසරේ නිල නිවාඩුව සඳහා, චීන රාජ්‍ය කවුන්සිලය පෙබරවාරි 10 වන දා සහ 17 වන දා අතර, දින අටක් තුළ වසන්ත උත්සව නිවාඩුව සැලසුම් කර තිබේ. චීන අලුත් අවුරුදු උදාව නිල නිවාඩු දින දර්ශනයට ඇතුළත් කර නැතත්, එම දිනවල සේවකයින් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීමට සේවා යෝජකයන් දිරිමත් කරනු ලැබේ.

චීන නව වසරේ මූලාරම්භය

චීන නව වසර ක්‍රිස්තු පූර්ව 14 වන සියවස දක්වා අතීතයට දිව යන අතර, ෂැං රාජවංශය රට පාලනය කළ සමයේ එය ආරම්භ වී ඇතැයි සැලකේ. එහි මූලාරම්භය පුරාවෘත්තයන්හි සඳහන් වේ.

චීන පුරාවෘත්තවල සඳහන් වන්නේ, ඔවුන් නියාන් (චීන භාෂාවෙන් "වසර") නමැති රකුසාට එරෙහිව සටන් කිරීම සඳහා ආපසු යන බව ය.

ගම් වැසියන් බිය ගැන්වීම සඳහා නව වසරේ පළමු දිනයේ නියාන් නමැති රකුසා පැමිණෙනු ඇත. කෙසේ වෙතත්, නියාන් විශාල ශබ්ද, දීප්තිමත් ආලෝකය සහ රතු වර්ණයට බිය වන බව ගම්වැසියෝ සොයා ගත්හ.

එහෙයින්, සෑම වසරකදී ම, ගම් වැසියෝ නියාන් පළවා හැරීම සඳහා රතු පහන් කූඩු එල්ලීම සහ ගිනි කෙළි පත්තු කිරීම සිදු කරති. ඉන්පසු නියාන් දක්නට ලැබුණේ නැත.

2024 චීන නව වසරේ සත්වයා

Dragon lanterns are on display at Laomendong historic block to welcome 2024 Chinese Spring Festival

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

චීන සම්ප්‍රදාය අනුව, සෑම චන්ද්‍ර වසරක් ම චීන රාශි චක්‍රයේ ඇතුළත් සතුන් 12 දෙනෙකු නියෝජනය කරයි. එම සතුන් වන්නේ, මීයා, ගවයා, දිවියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුලා, බල්ලා සහ ඌරා ය.

එම සෑම සතෙකු ම වානේ, දැව, ජලය, ගින්න සහ පෘථිවියට අදාළ මූලද්‍රව්‍යවලට සම්බන්ධ වේ. සෑම වසර 12 කට වරක්, චක්‍රයක් ලෙස ඔවුන්ට වසරක් කැප කර ඇත.

2024 වසර හාවාගේ වසරේ සිට දැව මකරාගේ වසරට මාරු වෙයි.

දැව මකරාගේ වසරක් එළඹෙන්නේ, වසර 60කට වරකි. මීට පෙර දැව මකරාගේ වසරක් අවසන් වරට එළඹියේ, 1964 වසරේදී ය. ඊට පෙර එය 1904 වසරේදී එළඹිණි.

එක් එක් මූලද්‍රව්‍ය අනුව රාශි චක්‍රයේ සත්ව ලකුණු යටතේ උපත ලබන පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිතයට බලපාන අද්විතීය පෞරුෂත්ව ලක්ෂණ පිහිටන බව විශ්වාස කෙරේ.

මකරා යනු චීන රාශි චක්‍රය අනුව පස් වන සත්වයා ය. චීන සංස්කෘතිය අනුව, එය වාසනාව, ශක්තිය, සෞඛ්‍ය සම්පන්න බව නියෝජනය කරන අතර පිරිමි මූලද්‍රව්‍යය (දැව) දීප්තිමත් බව නියෝජනය කරයි.

Salvador Dali

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැල්වදෝර් ඩාලි උපත ලැබුවේ දැව මකරාගේ වසරේ ය

දැව මකරාගේ වසරේ උපන් ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු පහත දැක්වේ:

චීන කොමියුනිස්ට් නායක ඩෙං ෂියාඕපිං (1904 අගෝස්තු 22); ලෝකයේ දැවැන්ත ම ඊ-වාණිජ ව්‍යාපාරයක් වන අලිබාබා සමූහයේ සම නිර්මාතෘ සහ ජැක් මා (1964 සැප්තැම්බර් 10); ස්පාඤ්ඤ කලාකරු සැල්වදෝර් ඩාලි (1904 මැයි 11); සහ එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් (1964 ජූනි 19).