මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: මියන්මාරයේ මරණ ගණන 1,700ක් දක්වා ඉහළට

වීඩියෝ ශීර්ෂ වැකිය, මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: ‘අපිට නිදාගන්න බෑ, තාමත් නිතර ම පොළොව හෙල්ලෙනවා’
කියවීමේ කාලය: මිනිත්තු 6

මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව මැග්නිටියුඩ් 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පිහිටා ඇත. මෙය නේපිඩාව් සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි ප්‍රදේශයකි.

චීනයට සහ තායිලන්තයට ද භූ කම්පනයේ ප්‍රබලත්වය දැනුණු අතර, බැංකොක්හි ගොඩනැගිලිවලින් ඉවත් වූ පුද්ගලයින් වීදිවල රැස්වී සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල පළ විය.

මරණ සහ අතුරුදන් වූවන් ගණන ඉහළට

වීඩියෝ ශීර්ෂ වැකිය, මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය නිසා දිය ඇල්ලක් බවට පත් වූ බැංකොක්හි පිහිනුම් තටාකය

මේ වන විට (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 31 සඳුඳා උදෑසන 8.30 පමණ වන විට තත්ත්වය) මියන්මාරයේ පුද්ගලයින් අවම වශයෙන් 1,700 දෙනෙකු මියගොස් සිය ගණනක් අතුරුදන් වී තිබේ.

තායිලන්තයේ බැංකොක් අගනුවර ඉදිවෙමින් පැවති උස් ගොඩනැගිල්ලක් කඩා වැටී අතුරුදන් වූ ගණන් 76 ලෙස ගණන් බලා ඇති අතර මිය ගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ ස්වයංක්‍රීය පද්ධතියක් වන පේජර් සඳහන් කරන්නේ, මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් මිය යාමේ හැකියාව ඇති බව ය.

මියන්මාරයේ සිට වාර්තා කිරීමට පවතින අපහසුතා නිසා, භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සත්‍යාපනය කිරීම දුෂ්කර වී ඇති අතර ම මිලිටරි ජුන්ටාව වාර්තා කරන මරණ සංඛ්‍යාවට වඩා එය ඉහළ අගයක් විය හැකි ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු මියන්මාරයේ මෙන් ම තායිලන්තයේ ද තවමත් ක්‍රියාත්මක ය.

සිකුරාදා සිට ගලවා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර ජාත්‍යන්තර ආධාර මියන්මාරයට ළඟා වීම ද දැන් ඇරඹී ඇත. නමුත් දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත ඒවා ළඟා වීම ප්‍රමාද වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීහු දිවි ගලවා ගත් අය සොයා දෑතින් සුන්බුන් ඉවත් කරමින් සිටිති.

චීනය, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, අයර්ලන්තය, දකුණු කොරියාව, රුසියාව, නවසීලන්තය සහ ඇමෙරිකාව ද සහන කණ්ඩායම් ඒ වෙත යවන බව සඳහන් කර තිබේ.

සෙනසුරාදා රාත්‍රියේ, මියන්මාරයේ අගනුවර වන නේපිඩෝහි රෝහලක සුන්බුන් අතර පැය 36ක් සිරවී සිටි වයෝවෘද්ධ කාන්තාවක් බේරා ගැනිණි.

භූ කම්පනය සිදුවූ දා සිට මේ දක්වා පසුකම්පන කිහිපයක් ම සිදුව ඇති අතර ඉරිදා (මාර්තු 30) මැග්නිටියුඩ් 5.1ක කම්පනයක් මියන්මාරයේ, මැන්ඩලේ නගරයෙන් වාර්තා වී ඇත.

මේ අතර, මියන්මාරයේ පාලක හමුදා ජුන්ටාව සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් එරට ඇතැම් ප්‍රදේශවලට බෝම්බ හෙලීම අඛණ්ඩව කරගෙන යමින් සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රහාර "සම්පූර්ණයෙන් ම පිළිකුල් සහගත සහ පිළිගත නොහැකි" ඒවා ලෙස විස්තර කළේ ය.

හමුදා පාලනය බලයෙන් ඉවත් කිරීමට සටන් වදින ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදී කැරලිකාර කණ්ඩායම්, සාගිං කලාපයේ චාවුං-උ නගරයට ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල වූ බවට වාර්තා කර තිබේ.

2021දී මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගත් නමුත් තවමත් රටේ වැඩි ප්‍රදේශයක බලය බෙදී පවතින්නේ කැරලිකාර කණ්ඩායම් අතර ය.

මෝසම් සමය පැමිණි විට මියන්මාරයේ ජනතාව තවදුරටත් අවතැන් වීමට ඉඩ තිබේ.

පසුගිය වසරේ "නිවාස [සහ] සනීපාරක්ෂක පහසුකම්වලට හානි කළ දරුණු ගංවතුරක්" ඇති වූ බව ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුවේ ලෝරන් එලරි බීබීසී බ්‍රෙක්ෆස්ට් වැඩසටහනට පැවසුවාය.

"අපි නැවතත් මැයි මාසයේදී මෝසම් සමයට පිවිසෙනවා, අප්‍රේල් මාසයේ සිට වර්ෂාව ආරම්භ වෙනවා," ඇය පැවසුවා ය.

Myanmar

මියන්මාර හමුදා නායකයාගෙන් ජාත්‍යන්තර ආධාර සඳහා දුර්ලභ ඉල්ලීමක්

මේ අතර, මියන්මාරයේ ජුන්ටා රජය ජාත්‍යන්තර උදව් සඳහා ඉල්ලීමක් නිකුත් කර තිබේ. එය මෑත වසරවලදී බටහිර රාජ්‍යවල දැඩි සම්බාධකවලට ලක් වූ හුදකලා පාලනයකින් කෙරෙන දුර්ලභ ඉල්ලීමකි.

මියන්මාරයේ ජුන්ටාවේ ප්‍රධානී මින් අවුන් හ්ලයින් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබ ඇත.

"මම ආරාධනා කරන්න කැමතියි, ඕනෑ ම රටකට, ඕනෑ ම සංවිධානයකට, එහෙමත් නැත්නම් මියන්මාරයේ ඉන්න ඕනෑ ම කෙනෙකුට ඇවිල්ලා උදව් කරන්න කියලා. ස්තූතියි," යැයි රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ, "විදේශ ආධාර සඳහා සියලු මාර්ග විවෘත කර ඇති" බව ද සඳහන් කරමිනි.

මේ අතර, මියන්මාරයට බටහිර දෙසින් පිහිටි එක් රටක් වන ඉන්දියාව, (මාර්තු 29) උදෑසන භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයට ආධාර පැකේජ යවා තිබේ.

How earthquakes are measured.

බැංකොක්හි ගොඩනැගිල්ලක් කඩා වැටී කම්කරුවන් 76 දෙනෙක් අතුරුදන්: 18 දෙනෙක් මරුට

In Thailand, around 100 are missing at a collapsed skyscraper construction site in Bangkok

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බැංකොක්හි ද වැඩ නිම නොකළ උස් ගොඩනැගිල්ලක් කඩා වැටුණු අතර එහි ද ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

මේ වන විට (මාර්තු 31) එහි සිටි පුද්ගලයින් 76 දෙනෙකු අතුරුදන්ව ඇතැයි වර්තා වන අතර 18 දෙනෙකු මිය ගොස් ඇත.

තායිලන්තයේ විගණකාධිපති කාර්යාලයේ මූලස්ථානය සඳහා ඉදි කෙරෙමින් තිබුණු එම ගොඩනැගිල්ල වෙත මාර්තු 28 උදෑසන සේවකයින් 400කට වැඩි පිරිසක් සේවයට වාර්තා කළ නමුත් පිටතට පැමිණ ඇත්තේ 300ක් පමණි.

තායි රජය පවසන්නේ, තමන් එම ස්ථානයේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව ය.

ජීවතුන් අතර සිටින කම්කරුවන් ගැන කිසියම් හෝ සලකුණක් තිබේ දැයි බැංකොක් සිටින අප වර්තාකාරිනී ටෙසා වොන්ග් ගොඩනැගිල්ල කඩා වැටුණු ස්ථානයේ මුදා ගැනීමට කටයුතුවල නිරත නිලධාරියෙකුගෙන් විමසා ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ;

"තාම නෑ. මට ජීවතුන් අතර ඉන්න කිසි ම කෙනෙකුගේ සලකුණක් පේන්නේ නෑ. මට දැන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ හිරවෙලා ඉන්න අයගේ මළ සිරුරු විතරයි."

සුන්බුන් අතර සිරවී සිටින මිනිසුන් සොයා ගැනීම සඳහා ඔවුන් තාප රූප කැමරාවක් (thermal imaging camera) භාවිත කරමින් සිටි බව ත්, ගොඩනැගිල්ලේ ත්‍රිමාණ ස්කෑන් පරීක්ෂණ සිදු කරන බවත් ඔහු තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේ ය.

නිලධාරීහු ඩ්‍රෝන යානා සහ ස්කෑනර් යන්ත්‍ර පමණක් නොව, සුනඛයන් සහ රොබෝ යන්ත්‍ර ද යොදා ගනිමින් ගොඩ ගැසී ඇති සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සියා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.

Map shows shaking felt in Myanmar's neighbouring countries
ඡායාරූප ශීර්ෂ වැකිය, මියන්මාරයේ අසල්වැසි රටවලට කම්පනය දැනුණු ආකාරය සිතියමේ දැක්වේ

බීබීසී මාධ්‍යවේදිනියකගේ අත්දැකීම

බැංකොක්හි වෙසෙන බීබීසී මාධ්‍යවේදිනියක වන බුයි තු, බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පැවසුවේ පළමු භූමිකම්පාව සිදුවන විට ඇය නිවසේ ආහාර පිසිමින් සිටි බව ය.

"මම ගොඩක් බය වුණා," ඇය පැවසීය. "ඒ මොකක් ද කියලා මට තේරුණේ නැහැ, මොක ද බැංකොක්වල අවුරුදු දහයකටවත් මේ වගේ ප්‍රබල භූමිකම්පාවක් සිදු වෙලා නෑ මම හිතන්නේ."

"මම හිටිය අපාර්ට්මන්ට් එකේ බිත්ති ඉරිතලලා තිබුණා. මිනිස්සු කෑ ගහමින් හිටියේ."

පසුකම්පනයකින් පසු, ඇය තවත් බොහෝ දෙනෙකු සමග පාරට දිව ගියා ය.

"මොක ද වෙන්නේ කියලා තේරුම් ගන්න අමාරු වුණා," ඇය පවසයි.

"බැංකොක්වල ගොඩනැගිලි භූමිකම්පාවලට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරලා නැහැ. ඒ නිසයි ගොඩනැගිලි ගොඩකට හානි වුණේ."

වීඩියෝ ශීර්ෂ වැකිය, තායිලන්තයේ කාර්යාලයක් ඇතුළත දර්ශන

මියන්මාරයෙන් තොරතුරු ලබා ගැනීම දුෂ්කර ඇයි?

Resident fears 'a lot of bad news' will emerge from Myanmar as telecom services return
ඡායාරූප ශීර්ෂ වැකිය, භූ කම්පනයෙන් පසු මැන්ඩලේහි දර්ශනයක්: ප්‍රධාන විදුලි සංදේශ සමාගම්වල මෙහෙයුම් අඩාල වීම හේතුවෙන් ඊ මේල් හරහා යැංගොන් සිටින අපගේ සම්බන්ධතාවක් වෙත ලද ඡායාරූපයක් - රේචල් ෆ්ලින්, සජීවී වාර්තාකරු

කලින් බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරය 2021දී සිදු වූ කුමන්ත්‍රණයකින් පසු මියන්මාරය හමුදා ජුන්ටාවක් විසින් පාලනය කරනු ලබන අතර, එම නිසා තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී තිබේ.

එරට ගුවන්විදුලි, රූපවාහිනී, මුද්‍රිත සහ මාර්ගගත මාධ්‍ය සියල්ල ම පාහේ පාලනය කරනු ලබන්නේ රජය විසිනි.

ඉන්ටර්නෙට් භාවිතය ද සීමා කර තිබේ.

බිම් මට්ටමේ තොරතුරු සපයන ආයතන වෙත සම්බන්ධ වීමට බීබීසීයට නොහැකි වී ඇති බැවින් සන්නිවේදන මාර්ග ද බිඳ වැටී ඇති බව පෙනේ.