ලෝක විනාශයට සූදානම් වන බව පෙනන තාක්ෂණික බිලියනපතියන්... අප ඒ ගැන වද විය යුතු ද?

- Author, සෝයි ක්ලයින්මන්
- Role, තාක්ෂණික වාර්තාකරු
- කියවීමේ කාලය: මිනිත්තු 10
මාර්ක් සකර්බර්ග් 2014 තරම් ඈත කාලයකදී හවායි දූපතක් වන කුවායිහි අක්කර 1,400ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති කුවලෝ රෑන්ච්හි (Koolau Ranch) වැඩ ආරම්භ කළ බව පැවසේ.
වයර්ඩ් (Wired) සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව, එයට තමන්ගේ ම ආහාර සහ බලශක්ති ප්‍රභවයන් සහිත නිවස්නයක් ඇතුළත් කිරීමට නියමිතව තිබුණු අතර ගිවිසුම් මගින් ඒ පිළිබඳව හෙළිදරව් කිරීම එම ස්ථානයේ වැඩ කළ වඩු කාර්මිකයන්ට සහ විදුලි කාර්මිකයන්ට තහනම් කර තිබිණි.
අඩි හයක් උසැති තාප්පය සමීපයේ ඇති මාර්ගයක සිට හෝ එහි ඉදි කිරීම් කටයුතු දැක ගැනීම අවහිර කළේ ය.
ලෝක විනාශයෙන් ආරක්ෂා වීමට බංකරයක් නිර්මාණය කරන්නේ දැයි ඉකුත් වසරේ විමසූ විට ෆේස්බුක් නිර්මාතෘවරයා "නැත" යනුවෙන් ස්ථිර පිළිතුරක් ලබා දුන්නේ ය. වර්ග අඩි 5,000ක් පමණ භූමි ප්‍රමාණයක විහිදෙන භූගත අවකාශය, "කුඩා නවාතැනක් වගේ, ඒක බිම් මහලක් වගේ" යනුවෙන් ඔහු පැහැදිලි කළේ ය.
නමුත් ඒ ගැන විවිධ මත පළ වීම ඉන් නතර නොවුණු අතර ඒ හා සමානව, කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝහි ක්‍රෙසන්ට් පාර්ක් ප්‍රදේශයෙන් නිවාස 11ක් මිල දී ගැනීමට ඔහු ගත් තීරණය ගැන, පෙනෙන විදිහට ඒවාට යටින් වර්ග අඩි 7,000ක භූගත අවකාශයක් නිර්මාණය කිරීම ගැන ද විවිධ මත පළ විණි.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ඔහුගේ ගොඩනැගිලි බලපත්‍රවල බිම් මහලක් ගැන සඳහන් වුව ද, ඇතැම් අසල්වැසියන් එය හඳුන්වන්නේ බංකරයක් ලෙස ය. තවත් පිරිසක් එය කෝටිපතියෙකුගේ වවුල් ගුහාවක් ලෙස හඳුන්වති.
ඔහු ගැන පමණක් නොව අනෙක් තාක්ෂණික දැවැන්තයින් පිළිබඳව ද විවිධ මත පවතී. ඔවුන්ගෙන් සමහරක් පවුම් මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී බංකර් බවට පරිවර්තනය කිරීම සඳහා ගැලපෙන භූගත අවකාශ සහිත ඉඩම් කැබලි මිල දී ගැනීමට කාර්යබහුල වී ඇති බව පෙනේ.
ලින්ක්ඩ්ඉන්හි සම-නිර්මාතෘ රීඩ් හොෆ්මන්, "අපොකැලිප්ස් රක්ෂණය" ගැන සඳහන් කර ඇත. මෙය සුපිරි ධනවතුන්ගෙන් අඩක් පමණ සතුව ඇති දෙයක් බව ත් නවසීලන්තය එවැනි නිවාස සඳහා ජනප්‍රිය ගමනාන්තයක් බව ත් ඔහු මීට පෙර කියා සිටියේ ය.
එබැවින්, ඔවුන් සත්‍ය වශයෙන් ම යුද්ධයකට, දේශගුණික විපර්යාසවල බලපෑම්වලට හෝ අප තවමත් නොදන්නා වෙනත් ව්‍යසනකාරී සිදුවීමකට සූදානම් වෙමින් සිටිනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images News
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුගිය වසර කිහිපය තුළ, කෘත්‍රිම බුද්ධියේ (AI) දියුණුව, මානවයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි දේවල් ලැයිස්තුවට එකතු වූ තවත් කරුණක් බවට පත්ව තිබේ. බොහෝ දෙනෙක් එහි ප්‍රගතියේ වේගවත් බව ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටිති.
Open AIහි ප්‍රධාන විද්‍යාඥවරියෙකු සහ සම-නිර්මාතෘවරියෙකු වන ඉල්යා සුට්ස්කෙවර් ඔවුන්ගෙන් එක් අයෙකු බව වාර්තා වේ.
2023 මැද භාගය වන විට, සැන් ෆ්‍රැන්සිස්කෝ පදනම් කරගත් මෙම සමාගම ChatGPT හඳුන්වා දුන් අතර දැන් ලොව පුරා මිලියන සිය ගණනක් ජනතාව විසින් භාවිත කරනු ලබන chatbot එක බවට එය පත්ව තිබේ. සමාගම එය යුහුසුළුව යාවත්කාලීන කරමින් සිටියි.
නමුත් එම වසරේ ගිම්හාන ඍතුව වන විට, මාධ්‍යවේදී කැරන් හාඕ විසින් රචිත පොතකට අනුව, පරිගණක විද්‍යාඥයින් කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය (AGI) එනම් යන්ත්‍ර මිනිස් බුද්ධියට ගැලපෙන තත්ත්වය දක්වා වර්ධනය කිරීමේ අද්දර සිටි බවට සුට්ස්කෙවර්ට ඒත්තු ගැන්වෙමින් පැවතිණි.
මෙතරම් බලගතු තාක්‍ෂණයක් ලොවට මුදා හැරීමට පෙර සමාගමේ ඉහළ පෙළේ විද්‍යාඥයින් සඳහා භූගත නවාතැනක් සකසාගත යුතු බව සුට්ස්කෙවර් රැස්වීමකදී සිය සගයන්ට යෝජනා කළ බව හාඕ වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
"AGI හඳුන්වා දෙන්න කලින් අපි නිසැකව ම බංකරයක් හදනවා," යැයි ඔහු පැවසූ බවට බොහෝ වාර්තා පළ වූ නමුත් ඔහු "අපි" යන්නෙන් අදහස් කළේ කවුරුන් ද යන්න අපැහැදිලි ය.
එය යම් විශේෂ කරුණක් ඉස්මතු කරයි: බොහෝ ප්‍රමුඛ පෙළේ පරිගණක විද්‍යාඥයින් සහ තාක්ෂණික නායකයින්ගෙන් ඇතැමෙකු කෘත්‍රිම බුද්ධියේ බුද්ධිමත් ආකාරයක් ගොඩනැගීමට වෙහෙස මහන්සි වී වැඩ කරන අතර ම එයට යම් දිනක කළ හැකි දේ ගැන දැඩි ලෙස බිය වන බව ද පෙනේ.
එසේ නම්, AGIහි ආගමනය සිදුවන්නේ කව දා ද? එය කවදා හෝ පැමිණෙනු ඇති ද? එපමණක් නොව සාමාන්‍ය මිනිසුන් බිය ගැන්වීමට තරම් පරිවර්තනීය බව එයට සැබවින් ම ඔප්පු කළ හැකි ද?
'අපි සිතනවාට වඩා ඉක්මනින්' පැමිණීමක්
තාක්ෂණික නායකයින් පවසන්නේ AGI නුදුරේදී ම පැමිණෙන බව ය. OpenAI ප්‍රධානී සෑම් ඕල්ට්මන් 2024 දෙසැම්බර් මාසයේදී පැවසුවේ එය "ලෝකයේ බොහෝ මිනිසුන් සිතනවාට වඩා ඉක්මනින්" පැමිණෙනු ඇති බව ය.
DeepMindහි සම-නිර්මාතෘ සර් ඩෙමිස් හසාබිස් ඉදිරි වසර පහේ සිට දහය දක්වා කාලය තුළ එය පැමිණෙනු ඇති බවට අනාවැකි පළ කර ඇති අතර, Anthropic නිර්මාතෘ ඩාරියෝ අමෝදෙයි පසුගිය වසරේ ඔහුගේ ප්‍රියතම වදන්වලින් ලියමින් සඳහන් කළේ, "බලවත් කෘත්‍රිම බුද්ධිය" 2026 තරම් නුදුරු අනාගතයේ අප වෙත පැමිණෙනු ඇති බව ය.
අනෙක් අයට ඇත්තේ සැකයකි. "එයාලගේ අරමුණ නිශ්චිත නැහැ, හැම වෙලාවක ම වෙනස් වෙනවා," යැයි සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩේම් වෙන්ඩි හෝල් පවසයි. "ඒක ඔයා කාත් එක්ක ද කතා කරන්නේ කියන එක අනුව වෙනස් වෙනවා, අපි දුරකතනයෙන් කතා කරනවා, නමුත් අපිට අනිත් කෙනාගේ සැකය තේරෙනවා."
"විද්‍යාත්මක ප්‍රජාව කියන්නේ AI තාක්‍ෂණය විශ්මයජනකයි කියලා. නමුත් ඒක මිනිස් බුද්ධිය ආසන්නයටවත් ඇවිල්ලා නැහැ," ඇය තවදුරටත් පවසයි.
මුලින් ම "නව සොයා ගැනීම්" ගණනාවක් සිදුවිය යුතු බවට Cognizant නම් තාක්ෂණික සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී බාබක් හෝජට් එකඟ වේ.
තව දුරටත් පවසන්නේ නම්, එය එක මොහොතක් ලෙස පැමිණීමට ඇති ඉඩකඩ අඩු ය. ඒ වෙනුවට, AI යනු වේගයෙන් දියුණු වන තාක්‍ෂණයකි, එය ගමනක යෙදී සිටින අතර ලොව පුරා බොහෝ සමාගම් එහි තමන්ගේ ම අනුවාදයන් නිපදවීමට කිරීමට තරග කරයි.
නමුත් මෙම අදහස සිලිකන් නිම්නයේ ඇතැමෙකුට උද්වේගකර හැඟීමක් ඇති කිරීමට එක් හේතුවක් නම්, එය ඊටත් වඩා දියුණු දෙයක අරම්භයක් ලෙස සැලකීමයි: ASI, හෙවත් කෘත්‍රිම සුපිරි බුද්ධිය - මිනිස් බුද්ධිය අභිබවා යන තාක්ෂණයකි.
"සින්ගියුලැරිටි (Singularity)" යන සංකල්පයට හංගේරියානු ජාතික ගණිතඥ ජෝන් වොන් නොයිමාන්ට ගරු කිරීම ඇරඹියේ 1958දී වන නමුත් ඒ වන විට ඔහු මියගොස් තිබිණි. එමගින් පරිගණක බුද්ධිය මිනිස් අවබෝධයෙන් ඔබ්බට ඉදිරියට යන මොහොත ගැන සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වඩාත් මෑතකදී, එරික් ෂ්මිට්, ක්‍රේග් මුන්ඩි සහ අභාවප්‍රාප්ත හෙන්රි කිසිංගර් විසින් රචිත 2024 ජෙනසිස් (Genesis) කෘතිය, තීරණ ගැනීමේදී සහ නායකත්වයේදී කාර්යක්ෂම, අවසානයේදී අප විසින් සම්පූර්ණයෙන් පාලනය භාර දෙනු ලබන සුපිරි බලගතු තාක්‍ෂණයක් පිළිබඳව සාකච්ඡා කරයි.
එය කාලය පිළිබඳ ගැටලුවක් මිස සිදුවන්නේ ද නොවන්නේ ද යන්න ගැන ගැටලුවක් නොවන බවට ඔවුහු තර්ක කරති.
රැකියාවක් නොමැතිව සැමට මුදල්?
AGI සහ ASI සඳහා පක්ෂ පිරිස් එහි ප්‍රතිලාභ පිළිබඳව ශුභවාදීව පසුවෙති. එමගින් මාරාන්තික රෝග සඳහා නව ප්‍රතිකාර සොයා ගනු ඇත. දේශගුණික විපර්යාස විසඳනු ඇති සහ පිරිසිදු බලශක්තිය සපයා ගැනීම සඳහා නොසිඳෙන සැපයුමක් සොයා ගනු ඇති බවට ඔවුහු තර්ක කරති.
සුපිරි බුද්ධිමත් කෘත්‍රිම බුද්ධිය මගින් "විශ්වීය වශයෙන් ඉහළ ආදායමක්" ඇති යුගයක් උදා කළ හැකි බව ඊලොන් මස්ක් පවා ප්‍රකාශ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය ඉතා ලාභදායී සහ පුළුල් ලෙස පැතිරෙනු ඇතැයි යන අදහස මෑතකදී ඔහු අනුමත කළ අතර ඕනෑ ම කෙනෙකුට තමන්ට ම අනන්‍ය වූ "පෞද්ගලික R2-D2 සහ C-3PO" (ස්ටාර් වෝර්ස්හි රොබෝ යන්ත්‍ර ගැන සඳහන් කරමින්) අවශ්‍ය වනු ඇති බව පැවසීය.
"සෑම කෙනෙකුට ම හොඳ ම වෛද්‍ය ප්‍රතිකාර, ආහාර, නිවාස, ප්‍රවාහනය සහ අනෙකුත් සියල්ල ලැබෙනු ඇත. තිරසර සුලභතාව," ඔහු උද්යෝගයෙන් යුතුව පැවසීය.
සත්‍ය වශයෙන් ම, බියජනක පැතිකඩක් ද තිබේ. ත්‍රස්තවාදීන් විසින් මෙම තාක්ෂණය පැහැරගෙන දැවැන්ත අවියක් ලෙස භාවිත කළ හැකි ද, නැතහොත් ලෝකයේ ගැටලුවලට හේතුව මනුෂ්‍යත්වය බව එය විසින් ම තීරණය කර අපව විනාශ කළහොත් කුමක් කළ යුතු ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
"ඒක අපිට වඩා දක්ෂ නම්, අපි එය සීමා කළ යුතුයි," මේ මස මුලදී බීබීසීය සමග අදහස් දක්වමින් World Wide Webහි නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී අනතුරු ඇඟවීය.
"අපිට ඒක ඕෆ් කරන්න පුළුවන් වෙන්න ඕනේ."
රජයන් යම් ආරක්ෂක පියවර ගනිමින් සිටී. ප්‍රමුඛ පෙළේ AI සමාගම් රාශියක් පදනම් වී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජනාධිපති බයිඩන් 2023දී විධායක නියෝගයක් සම්මත කළ අතර එමගින් ඇතැම් සමාගම්වලට ෆෙඩරල් රජය සමග ආරක්ෂක පරීක්ෂණ ප්‍රතිඵල (safety test results) බෙදා ගැනීමට සිදු කිරීමට නියම විය. නමුත් ජනාධිපති ට්‍රම්ප් එතැන් සිට එම නියෝගයෙන් සමහරක් අවලංගු කර ඇති අතර එය නවෝත්පාදනයට "බාධකයක්" ලෙස හැඳින්වීය.
මේ අතර, දියුණු AI මගින් එල්ල වන අවදානම් වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා එක්සත් රාජධානියේ රජයේ අරමුදල් ලබන පර්යේෂණ ආයතනයක් වන AI ආරක්ෂණ ආයතනය (AI Safety Institute) වසර දෙකකට පෙර පිහිටුවන ලදී.
එපමණක් නොව, "අපොකැලිප්ස් රක්ෂණ" සැලසුම් ඇති සුපිරි ධනවත්තු ද වෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ඔබ 'නවසීලන්තයේ නිවසක් මිල දී ගන්නවා' කියන එක නිකම් ඇසිපිය හෙළනවා වගේ, තවත් කියන්න ඕන නැහැ," රීඩ් හොෆ්මන් මීට පෙර පැවසීය. බංකර් සඳහා ද එය එසේ ම විය හැකිය.
නමුත් මිනිසුන්ට ආවේණික දුර්වලතාවක් තිබේ.
මට වරක් තමන්ගේ ම බංකරයකට උරුමකම් කියන කෝටිපතියෙකුගේ හිටපු ආරක්ෂක නිලධාරියෙකු මුණගැසුණු අතර ඔහු මා හා පැවසුවේ, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමේ පළමු ප්‍රමුඛතාව, මෙවැන්නක් සත්‍ය වශයෙන් ම සිදුවුවහොත් තම ස්වාමියා මරා දමා බංකරයට ඇතුළු වීම බව ය. ඔහුගේ වචනවල උපහාසාත්මක බවක් දක්නට නොලැබිණි.
මේ සියල්ල අතිශයෝක්තියට නැංවූ බියක් පමණක් ද?
නීල් ලෝරන්ස් යනු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මැෂින් ලර්නින් පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහුට නම්, මේ සමස්ත විවාදය ම ප්‍රලාපයකි.
"කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය *(Artificial General Intelligence) පිළිබඳ සංකල්පය 'කෘත්‍රිම සාමාන්‍ය වාහනයක්' පිළිබඳ සංකල්පය තරම් ම ප්‍රලාපයක්," බවට ඔහු තර්ක කරයි.
"හරි වාහනය මොකක් ද කියන එක තීරණය වෙන්නේ සන්දර්භය අනුව. මම කෙන්යාවට යන්න එයාර්බස් A350 භාවිත කළා. විශ්වවිද්‍යාලයට යන්න මම හැමදා ම මෝටර් රථයක් භාවිත කළා. මම ආපනශාලාවට ගියේ පයින්... මේ හැම එක ම කරන්න පුළුවන් වාහනයක් නැහැ."
ඔහුට අනුව AGI ගැන කතා කිරීම අවධානය වෙනතකට යොමු කිරීමකි.
"අපි [දැනටමත්] ගොඩනගා ඇති තාක්‍ෂණය, පළමු වරට සාමාන්‍ය මිනිසුන්ට යන්ත්‍රයක් සමග කෙලින් ම කතා කිරීමට සහ ඔවුන් අදහස් කරන දේ කිරීමට ඉඩ සලසනවා. ඒක අතිශයින්ම අසාමාන්‍යයි... සහ මුළුමනින් ම පරිවර්තනීයයි.
"ලොකු ම කණස්සල්ල තමයි, අපි AGI ගැන තාක්‍ෂණික දැවන්තයින්ගේ කතාවලට කෙතරම් අහුවෙලා ද කියනවා නම්, අපිට මිනිස්සුන්ට දේවල් යහපත් කරලා දෙන්න තියෙන ක්‍රම මග හැරිලා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වත්මන් AI මෙවලම් දත්ත විශාල ගණනක් භාවිතයෙන් පුහුණු කර ඇති අතර රටා හඳුනා ගැනීමට පවා ඒවාට හැකියාව පවතී: ස්කෑන් පරීක්ෂණවලදී පිළිකාවක් පෙන්නුම් කරනවා ද නැතිනම් නිශ්චිත අනුපිළිවෙළකට පසුව තවත් වචනයක් පැමිණීමට ඉඩ තිබේ ද යන්න උදාහරණ වේ. නමුත් ඒවා විසින් ලබා දෙනු ලබන ප්‍රතිචාර කෙතරම් ඒත්තු ගැන්වෙන ලෙස පරිශීලකයින්ට පෙනුනත් කෘත්‍රිම බුද්ධියට එය "සංවේදනය නොවේ."
"ලාජ් ලැන්ග්වේජ් මොඩල් එකකට (AI චැට්බොට්වල පදනම) මතක තියෙනවා සහ ඉගෙන ගන්නවා බව පෙන්වන්න පුළුවන් 'වංචනික' ක්‍රම කිහිපයක් තියෙනවා. නමුත් ඒක මිනිස්සුන්ගේ මතයක තරම් සාර්ථක නැහැ," හෝජට් පවසයි.
කැලිෆෝනියාවේ පිහිටි IV.AIහි ප්‍රධාන විධායක නිලධාරී වින්ස් ලින්ච් ද AGI පිළිබඳ අතිශයෝක්තියෙන් යුත් ප්‍රකාශයන් එක හෙළා විශ්වාස නොකරයි.
"අලෙවිකරණය පැත්තෙන් එක නියමයි," යැයි ඔහු පවසන්නේ, "ඔබ දැනට තියෙන බුද්ධිමත් ම දේ ගොඩනගන සමාගම නම්, මිනිස්සු කැමැත්තෙන් ඔබට සල්ලි දෙනවා," යනුවෙන් ද සඳහන් කරමිනි.
ඔහු තවදුරටත් මෙසේ පවසයි: "ඒක වසර දෙකකින් කළ හැකි දෙයක් නෙවෙයි. එයට එතරම් දැවැන්ත පරිගණක බලයක්, මිනිස් නිර්මාණශීලිත්වයක්, අත්හදා බැලීම් අවශ්‍ය වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
AGI කවදා හෝ සැබෑ වේ යැයි ඔහු විශ්වාස කරනවා දැයි විමසූ විට, දිගු නිශ්ශබ්දතාවක් පැවතිණි.
"මම ඇත්තට ම දන්නේ නැහැ."
විඥානයෙන් තොර බුද්ධිය
යම් ආකාරයකින්, කෘත්‍රිම බුද්ධිය දැනටමත් මිනිස් මොළය අභිබවා ගොස් ඇත. උත්පාදක AI මෙවලමකට (generative AI) එක් මිනිත්තුවකදී මධ්‍යකාලීන ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙකු විය හැකි අතර ඊළඟ මිනිත්තුවේදී සංකීර්ණ ගණිතමය සමීකරණ විසඳිය හැකි ය.
ඇතැම් තාක්ෂණික සමාගම් පවසන්නේ තම නිෂ්පාදන මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ මන්දැයි ඔවුන් සැමවිට ම නොදන්නා බව ය. මෙටා පවසන්නේ එහි AI පද්ධති දියුණු වන බවට යම් යම් සලකුණු ඇති බව ය.
කෙසේ වෙතත්, අවසානයේ, යන්ත්‍ර කෙතරම් බුද්ධිමත් වුවත්, ජීව විද්‍යාත්මකව මිනිස් මොළය තවමත් පෙරමුණ ගනී. එහි ස්නායු සෛල බිලියන 86ක් සහ උපාගම ට්‍රිලියන 600ක් පමණ ඇති අතර, එය කෘත්‍රිම බුද්ධියට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

මොළයට තම අන්තර්ක්‍රියා අතර විරාමයක් තැබීමට අවශ්‍ය නොවන අතර, එය නිරන්තරයෙන් නව තොරතුරුවලට අනුවර්තනය වේ.
"බාහිර ග්‍රහලෝකයක ජීවය සොයාගෙන ඇති බවට ඔබ මිනිසෙකුට පැවසුවහොත්, ඔවුන් වහා ම ඒ බව ඉගෙන ගන්නවා වගේ ම, එය ඔවුන්ගේ ඉදිරි දෘෂ්ටියට බලපානවා. නමුත් "LLM [Large Language Model] එකකට, ඔබ මෙය සත්‍යයක් ලෙස ඔවුන්ට නැවත නැවතත් කිව්වොත් තමයි ඔවුන් එය දැන ගන්නේ," හෝජට් පවසයි.
"LLMවලට මෙටා-කොග්නිෂන් නැහැ, ඒ කියන්නේ ඔවුන් දන්න දේ ගැන, ඔවුන් දන්නේ නැහැ. මිනිසුන්ට තමන් දන්නා දේ දැන ගැනීමට ඉඩ සලසන අභ්‍යන්තර විමර්ශන හැකියාවක්, සමහර විට විඥානය ලෙස හඳුන්වනු ලබන දේ තියෙනවා."
එය මිනිස් බුද්ධියේ මූලික අංගයකි. එය තවමත් රසායනාගාරයක ප්‍රතිනිර්මාණය කර නොමැති දෙයකි.




























