'ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායට නුදුරින් අනතුරට ලක්වීම': අප මෙතෙක් දන්නේ මොනවා ද?
ඡායාරූප මූලාශ්‍රය, Mashregh News / File Photo
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
"ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක්" ගාල්ල වරායේ සිට නාවික සැතපුම් "40ක් පමණ දුරින් අනතුරට" ලක්ව තිබේ.
බීබීසී සිංහල කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මේ බව තහවුරු කළේ ය.
එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසීය.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඇති "සමුද්‍රීය වෙළෙඳ කලාපයේදී" මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව ය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එහි කාර්ය මණ්ඩල මුදා ගැනීම සඳහා අදාළ මුහුදු කලාපය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසීය.
ඊට අමතරව මෙම සිදුවීම වාර්තා වන මුහුදු කලාපයේ නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොමු කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ ඉරාන කොන්සියුලර් ජනරාල් මොහොමඩ් දෙල්දාරිගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, "සිදුවීමක් පිළිබඳව වාර්තා වන බවත්" ඔහු මේ වන විට ගාල්ල බලා ගමන් කරමින් සිටින බවත් ය.
'නෞකාවේ 180 දෙනෙකු සිටි බවට වාර්තා වෙනවා'
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් බදාදා (මාර්තු 4) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉරාන නාවික හමුදාවට අයත් "IRIS Dena" නමැති නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය.
"ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද උදෑසන 5:08ට විතර අපේ නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණා," ඔහු පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ, උදෑසන 6:00 වන ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වූ බව ය.
"අපි උදේ 6 වෙනකොට අපි මැදිහත් වුණා. පළවෙනි නාවික යාත්‍රාව යැව්වා. උදේ 7 වෙනකොට තවත් නාවික යාත්‍රාවක් යැව්වා. ඒ වගේ ම ගුවන් හමුදාව, නාවික හමුදාව දෙක ම මැදිහත් වෙලා [ඉන්නවා]," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.
අදාළ නෞකාවේ "180 දෙනෙකු පමණ සිට ඇති බවටත් 30 දෙනෙකු පමණ දැඩි අනතුරට" ලක්ව ඇති බවටත් තොරතුරු වාර්තා වන බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, ඔවුන්ගේ "ජීවිත බේරා ගැනීම සඳහා" ගාල්ල ජාතික රෝහලට රැගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
'මාස් කැෂුවල්ටි එකකට අපි ලෑස්ති වෙලා ඉන්නේ'
මේ අතර, ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග බීබීසී සිංහල වෙත පැවසුවේ, තුවාල ලැබූ 32 දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති බව ය.
"මාස් කැෂුවල්ටි එකකට ට්‍රීට් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ," ඔහු මීට පෙර කළ විමසීමකදී පැවසීය.
රෝහල්ගත කළ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
IRIS Dena නෞකාව
IRIS Dena නෞකාව ඉරාන නාවික හමුදාවේ 86 වන බලඇණියට අයත් වේ.
එය 2022–2023 වසරේදී ඉරාන නාවික හමුදාවේ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා ලොව පුරා කිලෝමීටර් 65,000ක නාවික මෙහෙයුමක නිරත වූ බොහෝ කතාබහට ලක්වූ නෞකාවකි.
IRIS Dena නෞකාව නෞකාව සම්පූර්ණයෙන් ම ඉරානයේ නිෂ්පාදිත නෞකාවකි. එය ඉරානයේ බන්ඩාර් අබ්බාස්හි පිහිටි ෂාහිඩ් ඩර්විෂි නැව් අංගනයේදී ඉදිකර තිබේ. මෙම නෞකාව ටොන් 1,500ක බරකින් යුක්ත මීටර් 95ක් පමණ දිගකින් යුක්ත වේ.
IRIS Dena නෞකාවේ නෞකා ප්‍රතිවිරෝධී මිසයිල නූර් හෝ කාදර්, 76 mm ෆජ්ර්-27 නාවික තුවක්කුවක්, 30mm අවි පද්ධතියක්, ටෝර්පිඩෝ සහ මතුපිට සිට ගුවනට ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලවලින් සමන්විත වේ.
මෙම නෞකාව ගෝලීය වෙළෙඳ කටයුතු ආරක්ෂා කිරීම, මුහුදු කොල්ලකෑම්වලට එරෙහිව ක්‍රියා කිරීම සහ දිගුකාලීන මුහුදේ මෙහෙයුම් සඳහා යෙදවීම වෙනුවෙන් ඉරානයේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති බව ඉරාන නාවික හමුදාව පවසයි.
ඉන්දීය නාවික හමුදාව පෙබරවාරි මස තැබූ X සටහන
අනතුරට ලක්ව ඇති බවට වාර්තා වන ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව පසුගිය පෙබරවාරි මස 17 වන දා ඉන්දියාවේ විශාඛාපට්නම් වෙත පැමිණ තිබිණි.
ඉන්දීය නාවික හමුදා නැගෙනහිර විධානය සිය X ගිණුමේ පළ කර ඇති සටහනකට අනුව, මෙම නෞකාව 'IFR & MILAN 2026' නාවික අභ්‍යාසයකට සහභාගි වීම සඳහා ඒ වෙත පැමිණ තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මෙම ලිපිය තවදුරටත් යාවත්කාලීන නොවන අතර සවිස්තර තොරතුරු සඳහා මෙම සබැඳිය වෙත පිවිසෙන්න...
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත