ඉන්දියාවේ අවසන් තුරුම්පු බවට පත්වූ ෂෙෆාලි වර්මා සහ දීප්ති ෂර්මා

ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා එක් දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Indian Cricket Team‍ | Facebook

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා එක් දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් විය.

ඒ, 2025 ලෝක කුසාලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව (නොවැම්බර් 02 වැනිදා) පැවැති අවසන් මහ තරගය ලකුණු 52කින් ජය ගනිමිනි.

ඉන්දියාවේ නවි මුම්බායිහි ඩී.වයි පටිල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ ආරම්භය ප්‍රමාද වූයේ වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි.

පැය දෙකකට ආසන්න කාලයක ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ විය.

ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තුන් වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි අවසන් තරගය මෙය විය.

ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා එක් දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Indian Cricket Team‍ | Facebook

2005 සහ 2017 වසර දෙකේදීම ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු වූයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙනි.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

අවස්ථා 7කදී ලෝක ශූරයින් බවට පත් වූ ඔස්ට්‍රේලියාවත්, අවස්ථා 4කදී ලෝක ශූරයින් බවට පත් වූ එංගලන්තයත් තරගාවලි ඉතිහාසයේ සාර්ථක කණ්ඩායම් අතර වේ.

ඉන්දීය ක්‍රීඩා ලෝලීන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අවසන් තරග නැරඹීමට ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ විශාල උනන්දුවක් පැවතුණි

තරගයට පෙර දිනයේ සිටම ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පටිල් ක්‍රීඩාංගනය අසළ රැස්ව සිටි බව වාර්තා විය.

ඒ, තම කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් දැක බලා ගැනීමට සහ ප්‍රවේශපත්‍ර නොගත් ක්‍රීඩා ලෝලීන් කෙසේ හෝ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමටය.

8 වැනි වරටත් පරාජය වූ කාසියේ වාසිය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තම පළමු ලෝක කුසලාන අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් දකුණු අප්‍රිකා නායක ලෝරා වොල්වාර්ඩ් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය නායක හර්මන් ප්‍රීට් කෞර් කාසියේ වාසිය පරාජය වූ 8 වැනි අවස්ථාව මෙය වේ.

ඒ අනුව ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය පරාජය වූ වැඩිම අවස්ථාව සඳහා වන වාර්තාව සම වීමද මෙම තරගයේදී වාර්තා විය.

මීට වසර 43කට පෙර 1982 වසරේදී පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ඉන්දීය කණ්ඩායම අවස්ථා 8කදී කාසියේ වාසිය පරාජය වී ඇත.

ශ්‍රී ලංකාවේ මිෂෙල් පෙරෙයිරා මෙම තරගයේ තීරකවරිය ලෙස කටයුතු කළාය.

සිව්වැනි විනිසුරුවරිය වූයේ ශ්‍රී ලංකාවේ නිමාලි පෙරේරාය.

තරගය ආරම්භයට පෙර දකුණු අප්‍රිකා පොප් ගායිකා ටැරීන් ලැම්බ් එරට ජාතික ගීය ගායනා කළාය.

ජනප්‍රිය ගායිකා සුනිදි චව්හාගෙන් පෙරටුකොටගත් ඉන්දීය කණ්ඩායම සහ එරට ක්‍රීඩා ලෝලීන්ගේ ගායනයද ඉන්දීය ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ක්‍රීඩාංගනයේ ගිගුම් දුන්නේය.

කාසියේ වාසිය පරාජය වුවද ක්‍රීඩාංගනයේ රැස් වූ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදයෙන් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය පරාජය වූ වැඩිම අවස්ථාව සඳහා වන වාර්තාව සම වීමද මෙම තරගයේදී වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය පරාජය වූ වැඩිම අවස්ථාව සඳහා වන වාර්තාව සම වීමද මෙම තරගයේදී වාර්තා විය

ස්ම්‍රිති මන්දනා සහ ශෙෆාලි වර්මා ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 104ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවේ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තුළද උද්වේගය වර්ධනය කරමිනි.

මන්දනාගේ ඉනිම ලකුණු 45කට අවසන් කිරීමට ක්ලෝයි ට්‍රයොන් සමත් වූවාය.

තමන්ට හිමි වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් 21 හැවිරිදි ශෙෆාලි වර්මා මෙම තරගයේදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට වූයේ පන්දු 78කින් ලකුණු 87ක් රැස් කරමිනි.

4 පහර 7කින් සහ 6 පහර 2කින් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කිරීමට ඇය සමත් වූවාය.

ඉන්දීය සංචිතයට පවා ඇතුළත්ව නොසිටි ශෙෆාලිට අවස්ථාව හිමි වන්නේ ආරම්භක පිතිකරු ප්‍රතිකා රාවල් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඔස්ට්‍රේලියාවට එරෙහි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ජෙමීමා රොඩ්රිගස් මෙම තරගයේදී ලකුණු 24කට දැවී ගියාය.

නායක හර්මන් ප්‍රීට් කෞර් ලකුණු 20කට පිටියෙන් ඉවත් වීමෙන් අනතුරුව වගකීම කරට ගත් දීප්ති ශර්මා ලකුණු 58ක් රැස් කළාය.

දකුණු අප්‍රිකා පන්දු යවනන්නන් අතර අයබොන්ගා කාකා පෙරමුණ ගත්තේ ලකුණු 58ට කඩුලු 3ක් දවා ගනිමිනි.

අයබොන්ගා කාකා පෙරමුණ ගත්තේ ලකුණු 58ට කඩුලු 3ක් දවා ගනිමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු අප්‍රිකාව වෙනුවෙන් අයබොන්ගා කාකා ලකුණු 58ට කඩුලු 3ක් දවා ගත්තාය

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 298ක් රැස් කළේය.

නායක ලෝරා වොල්වාර්ඩ් සහ ටස්මින් බ්‍රිට්ස්, ලකුණු 299ක දැවැන්ත ඉලක්කයකින් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළහ.

ටැස්මින් බ්‍රිට්ස්ගේ ඉනිම ලකුණු 51කට සීමා විය.

පන්දුවෙන් දස්කම් පෑ ශෙෆාලි වර්මා පන්දුවෙන්ද දක්ෂතා දැක්වීය.

ඇය හමුවේ සුනේ ලීස් සහ මරිසන් කැප් දැවී ගියහ.

ලෝරා වොල්වාර්ඩ් සමග එක් වූ ඇනරි ඩර්ක්සන් 6 වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළහ.

ඩර්ක්සන් ලකුණු 35ක් රැස් කළාය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාර්ඩ් 11 වැනි එක් දින ශතකයද සමග ලකුණු 101ක් රැස් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාර්ඩ් 11 වැනි එක් දින ශතකයද සමග ලකුණු 101ක් රැස් කළාය

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාර්ඩ් 11 වැනි එක් දින ශතකයද සමග ලකුණු 101ක් රැස් කළාය.

ඇය අද වාර්තා අතරට එක් වුණේ කාන්තා ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව ලෙසය.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටුනේ දීප්ති ශර්මා හමුවේ ලෝරා වොල්වාර්ඩ් දැවී යාමත් සමගය.

පන්දුවාර 45.3කදී දකුණු අප්‍රිකාවේ සියලු දෙනා ලකුණු 246ට දැවී ගියහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා ලකුණු 39ට කඩුලු 5ක් දවා ගත්තාය.

අවසන් තරගයේ වීරයා සම්මානය ශෙෆාලි වර්මාට

ඉන්දීය ක්‍රීඩිකා ශෙෆාලි වර්මා අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය ක්‍රීඩිකා ශෙෆාලි වර්මා අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තාය

ඒ අනුව තරගාවලි ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවෙන් සහ එංගලන්තයෙන් තොරව වෙනත් රටක් ලෝක ශූරයින් බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය වේ.

2000 වසරේදී නවසීලන්තය ලෝක ශූරයින් බවට පත් වූ අතර, පැවැති අනෙක් තරගාවලි සියල්ලේම ලෝක කුසලානය හුවමාරු වූයේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන් එක සේ දස්කම් පෑ ඉන්දීය ක්‍රීඩිකා ශෙෆාලි වර්මා අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තාය.

ඇය වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන කාන්තා අවසන් තරගයක තරගයේ වීරයා සම්මානය දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙසය.

ඉන්දියාවේ දීප්ති ශර්මා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තාය.