ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයේ සිටින්නේ කවුද? එය මෙතරම් මතභේදාත්මක වන්නේ ඇයි?

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (මැද) ඔහුගේ සාම මණ්ඩලයේ "ආරම්භක විධායක මණ්ඩලය" ලෙස එක්සත් රාජධානියේ හිටපු අගමැති ශ්‍රීමත් ටෝනි බ්ලෙයාර් (වමේ) සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (දකුණේ) පත් කර තිබේ
    • Author, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 9

ඩාවෝස් හි වාර්ෂික ලෝක ආර්ථික සංසදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සාම මණ්ඩල වැඩපිළිවෙල එළිදක්වනු ලැබුවේ, එහි විභව භූමිකාව පිළිබඳව ලෝක නායකයින්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තම ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් අවසන් නොවන ලෙස මණ්ඩලයේ සභාපතිත්වය දරනු ඇති අතර, ලෝක නායකයින් ගණනාවකට මෙම මණ්ඩලයට එක්වන ලෙස ආරාධනා කර ඇත.

"මෙම මණ්ඩලය සම්පූර්ණයෙන්ම පිහිටුවා ගත් පසු, අපට කරන්න අවශ්‍ය ඕනෑම දෙයක් අපිට කරන්න පුළුවන්. අපි එය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව කරනවා," ට්‍රම්ප් පැවසුවේ, මෙම මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සංවිධානය කරනු ලබන සමහර කාර්යයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති බව පෙනෙන බව විවේචකයින් යෝජනා කළ පසුබිමකය.

ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් සාම යෝජනාවලියේ කොටසක් ලෙස මෙම අදහස මුලින් යෝජනා කරන ලදී. කෙසේ වෙතත්, එක්සත් ජනපදය දැන් එය ගැටුම් නිරාකරණය සඳහා නව ජාත්‍යන්තර සංවිධානයක් ලෙස නම් කරමින් සිටී.

එහි නිත්‍ය සාමාජිකත්වය සඳහා ඩොලර් බිලියන 1 ක ගාස්තුවක් අය කෙරේ.

ඊශ්‍රායලය, සෞදි අරාබිය, ඊජිප්තුව, තුර්කිය, ආර්ජන්ටිනාව සහ ඉන්දුනීසියාව යන රටවල් තමන් සාමාජිකයන් වන බවට පවසා ඇති රටවල් වේ. නමුත් මේ දක්වා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය දරන රටවල් අතුරින් ඇමෙරිකා එක්සත් ජනපදය හැර වෙනත් සාමාජික රාජ්‍යයන් ඊට එක්වී නොමැත.

විධායක මණ්ඩල සාමාජිකයින් අතරට 2003 දී එක්සත් ජනපදය ප්‍රමුඛ ඉරාක ආක්‍රමණයට එක්සත් රාජධානියේ හමුදා යැවූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සහ ට්‍රම්ප්ගේ බෑණා වන ජොරඩ් කුෂ්නර් ඇතුළත් වන නමුත් ඊට පලස්තීනුවන් ඇතුළත්ව නොමැත.

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට එක්වීමට එකඟ වී ඇත්තේ කවුද?

• ඇල්බේනියාව - අගමැති එඩි රාමා

• ආර්ජන්ටිනාව - ජනාධිපති හාවියර් මිලී

• හංගේරියාව - අගමැති වික්ටර් ඔර්බන්

• ඊශ්‍රායලය - අගමැති බෙන්ජමින් නෙතන්යාහු

• කටාර් - අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන්

• කසකස්තානය - ජනාධිපති කසිම් ජොමාර්ට් ටොකයෙව්

• පැරගුවේ - ජනාධිපති සන්තියාගෝ පෙනා

• උස්බෙකිස්තානය - ජනාධිපති ෂව්කට් මිර්සියෝයෙව්

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මහලේකම් ටෝ ලාම් ද ආරාධනය පිළිගෙන ඇති බව වාර්තා වන අතර, බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසා ඇත්තේ තමන් "සහභාගී වීමට සූදානම්" බවයි.

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පවසන්නේ තමන් ප්‍රතිපත්තිමය වශයෙන් ඊට සහභාගිවීමට එකඟ වූ බවයි, නමුත් මුදල් අමාත්‍යවරයා පවසන්නේ කැනඩාව සාමාජිකයෙකු වීමට පවුම් බිලියන 1ක් නොගෙවන බවයි.

මෙතෙක් සම්බන්ධ වී නොමැති රටවල් මොනවාද?

රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ගේ සහභාගීත්වය පිළිබඳ කනස්සල්ල හේතුවෙන් එක්සත් රාජධානිය තවමත් සාම මණ්ඩලයට අත්සන් නොකරන බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් යෙවෙට් කූපර් පවසයි.

ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවේ පැවති උත්සවයේදී කූපර් බීබීසී වෙත පැවසුවේ එක්සත් රාජධානියට මණ්ඩලයට එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් "අද අත්සන් කරන රටවල් අතරට එකක් නොවනු ඇති" බවයි.

මෙම උත්සවයට සහභාගී නොවූ අනෙකුත් රටවල් අතර ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය සහ ඩෙන්මාර්කය ඇතුළත් වේ.

ස්ලෝවේනියාවේ අගමැති රොබට් ගොලොබ් මෙම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය "ජාත්‍යන්තර පිළිවෙලට භයානක ලෙස බාධා කරන" බවයි.

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට එක්වීම සඳහා ආරාධනා කර ඇත්තේ කාට ද?

වාර්තාවලට අනුව, ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට එක්වන ලෙස ආරාධනා කරමින් ලෝක නායකයින් විශාල පිරිසකට දැනටමත් ලිපි යොමු කර තිබේ:

  • ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස්
  • බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා
  • සයිප්‍රස් ජනාධිපති නීකොස් ක්‍රිස්ටෝඩූලිඩීස්
  • ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සීසී
  • යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්
  • ග්‍රීක් අගමැති කිරියාකොස් මිට්සෝටාකිස්
  • ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
  • ජෝර්දාන අගමැති ජෆාර් හසන්
  • පකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි
  • පෝලන්ත ජනාධිපති කරොල් නව්රොට්ස්කි
  • රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්
  • තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්ඩෝහන්
  • එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර්

නවසීලන්ත අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන්ට ද මණ්ඩලයට එක්වන ලෙස ආරාධනා කර ඇති අතර ඔහු ඒ පිළිබඳ "සලකා බලමින් සිටින" බව පැවසීය.

තායි විදේශ අමාත්‍යංශය ද එම තොරතුරු සමාලෝචනය කරමින් සිටින බව පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ධවල මන්දිරයට අනුව, ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ඊළඟ අදියර මෙහෙයවන හත් දෙනෙකුගෙන් යුත් "ආරම්භක විධායක මණ්ඩලයේ" ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද සිටී

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ මොනවා ද?

මණ්ඩලයේ ආරම්භක ප්‍රඥප්තියේ, පිටවු ලිපියක සඳහන් වන්නේ, රාජ්‍ය තුනක් විධිමත් ලෙස එයට බැඳීමට එකඟ වූ පසු ප්‍රඥප්තිය බලාත්මකවේ යනුවෙනි, එහෙන්ම සාමාජික රටවලට අලුත් කෙරෙන වසර තුනක කාල සීමාවක් සහ ඩොලර් බිලියන 1 ක දායක මුදල් ලබා දෙන අයට නිත්‍ය අසුන් ලබා දෙන බවත්ය.

එක්සත් ජනපද නිලධාරියෙකු CBS ප්‍රවෘත්ති වෙත පැවසුවේ, සාම මණ්ඩලයට සම්බන්ධ වීම සඳහා සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය නොවන නමුත් වසර තුනක කාලයක් නොව ස්ථිර සාමාජිකත්වය අවශ්‍ය රටවලට ඩොලර් බිලියන 1ක් ගෙවීමට සිදුවන බව ය.

මෙම මුදල් ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන අරමුදල් සැපයීමට උපකාරී වනු ඇති බව නිලධාරීහු පැවසූහ.

රොයිටර්ස් පුවත් සේවය නිරීක්ෂණය කළ, අදාළ ලිපිය සහ ප්‍රඥප්ති කෙටුම්පතට අනුව, ට්‍රම්ප් ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසුව පවා ජීවිත කාලය පුරාම එම මණ්ඩලයේ සභාපතිත්වය දරන අතර, පසුව අනෙකුත් ගැටුම්වලට මැදිහත් වීම සඳහා ද එහි කටයුතු පුළුල් කරනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2026 ජනවාරි 7 වන දින, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ ආයතන 31කින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමේ සංදේශයකට අත්සන් තැබීය

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ සංවිධානය දුර්වල කළ හැකි ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගෝලීය ගැටුම් විසඳීම සඳහා සාම මණ්ඩලය "නිර්භීත නව ප්‍රවේශයක්" ගනු ඇතැයි ට්‍රම්ප් සිය ලිපියේ සඳහන් කර තිබේ. මෙය දැනට සාමය ඇති කිරීම සහ සාම සාධක කටයුතු මෙන් ම ජාත්‍යන්තර සම්බාධක පැනවීම සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කාර්යභාරය දුර්වල කළ හැකි බව විචාරකයෝ පවසති.

"වඩා නම්‍යශීලී සහ ඵලදායී" ජාත්‍යන්තර සාම ආයතනයක් අවශ්‍ය බව සඳහන් කරමින් මෙය ඇරඹෙන බව ත් කල් පවතින සාමය සඳහා බොහෝ විට අසාර්ථක වූ ආයතනවලින් ඉවත් වීමට ධෛර්යය අවශ්‍ය බව ත් ඊශ්‍රායල හාරෙට්ස් පුවත්පත වාර්තා කළේය.

"මෙම සන්ධිස්ථානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2803 සමග සම්පූර්ණයෙන් ම අනුකූල වේ," සාම මණ්ඩලය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිරය පැවසුවේය.

නමුත් ප්‍රංශ ජනාධිපතිවරයාට සමීප මූලාශ්‍රයක් AFP වෙත පැවසුවේ, මෙම සැලැස්ම ගාසා තීරයට පමණක් සීමා නොවන බවත් එය විශාල ගෝලීය ගැටලුවලට බලපාන බවත් ය. "ඒක බරපතළ ප්‍රශ්න මතු කරනවා. විශේෂයෙන් ම, එක්සත් ජාතීන්ගේ නීතිරීති හා පද්ධතියට ගරු කරනවා ද යන්න පිළිබඳව. එයට කිසි විටෙකත් අභියෝග නොකළ යුතු හෝ දුර්වල නොකළ යුතු යි."

මේ අතර, ක්වින්සි ආයතනයේ කලීඩ් එල්ගින්ඩි රොයිටර්ස් පුවත් සේවයට පැවසුවේ: "පරිපාලනයට සාම මණ්ඩලයේ කාර්යභාරය පුළුල් කිරීමට අවශ්‍ය බව පෙනෙනවා වගේ ම වත්මන් එක්සත් ජාතීන්ගේ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම ගැන පවා සාකච්ඡා කරනවා."

"ගාසා තීරය ආරම්භය විය හැකි බව පැහැදිලියි. ඒත් ට්‍රම්ප් පරිපාලනය සම්බන්ධයෙන් ගත්තා ම ඒක මණ්ඩලයේ අවසානය නොවෙයි."

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන එක්සත් ජනපද අරමුදල් දැනටමත් කපා හැර තිබේ. ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය පියවර ගැනීම එක්සත් ජනපද නිශේධ බලය මගින් වළක්වා ඇත. 2026 ජනවාරි 7 වන දින, ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මුතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අරමුදල ඇතුළුව "එක්සත් ජනපද ජාතික අවශ්‍යතාවලට එරෙහිව යන්න" යැයි පැවසූ එක්සත් ජාතීන්ගේ ආයතන 31කින් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමේ සංදේශයකට අත්සන් තැබීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් රාජධානියේ හිටපු අගමැති ශ්‍රීමත් ටෝනි බ්ලෙයාර් ඔහුගේ සාම මණ්ඩලයේ "ආරම්භක විධායක මණ්ඩලයට" පත් කිරීම මතභේදාත්මක ය

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

සාම මණ්ඩලයට අමතරව, ජ්‍යෙෂ්ඨ මණ්ඩල දෙකක් ද ප්‍රකාශයට පත් කර ඇත:

  • "ආරම්භක විධායක මණ්ඩලය" ආයෝජන සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි
  • ගාසා පරිපාලනය සඳහා වූ ජාතික කමිටුවේ සියලු ම බිම් මට්ටමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු "ගාසා විධායක මණ්ඩලය", ගාසාහි තාවකාලික පාලනය සහ නැවත ගොඩනැගීමේ කාර්යය පැවරී ඇති තාක්ෂණවේදීන්ගේ කමිටුවකි

"ගාසාහි ජනතාවට සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරන යහ පාලනය සහ උසස් තත්ත්වයේ සේවා ලබාදීම" සහතික කිරීමට මණ්ඩලයේ සාමාජිකයින් කටයුතු කරන බව ධවල මන්දිරය පැවසීය.

ධවල මන්දිරයට අනුව, ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ඊළඟ අදියර මෙහෙයවන හත් දෙනෙකුගෙන් යුත් "ආරම්භක විධායක මණ්ඩලයේ" සභාපතිත්වය ට්‍රම්ප් විසින් දරනු ඇත. අනෙකුත් සාමාජිකයින් අතර ඔහුගේ:

  • රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ
  • මැද පෙරදිග විශේෂ නියෝජිත, ස්ටීව් විට්කොෆ්
  • බෑණනුවන් වන ජෙරාඩ් කුෂ්නර්

මෙම මණ්ඩලයේ එක්සත් රාජධානියේ හිටපු අගමැති ශ්‍රීමත් ටෝනි බ්ලෙයාර් ද සිටී. 2003දී ඉරාකය සතුව මහා පරිමාණ විනාශයක් කළ හැකි අවි ඇති බවට කරන ලද ප්‍රකාශ මත පදනම්ව ඔහු එක්සත් රාජධානිය ඉරාක යුද්ධයට ගෙන ගිය අතර පසුව එය අසත්‍ය බව ඔප්පු විය.

ධවල මන්දිරයට අනුව, ගාසා තීරය නැවත ස්ථාවර කිරීම සඳහා ඉතා වැදගත් වන නිශ්චිත ප්‍රදේශයක් හෝ කාර්යයක් සඳහා සෑම සාමාජිකයෙකු ම වගකිව යුතු ය.

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයේ පලස්තීනුවන් සහ ඊශ්‍රායල ජාතිකයන් නියෝජනය වෙනවා ද?

මණ්ඩල දෙකෙහි ම පලස්තීනුවන් නොමැත. ගාසා විධායක මණ්ඩලයට ඊශ්‍රායලයේ උපත ලැබූ නමුත් දැන් සයිප්‍රසයේ ජීවත් වන ඊශ්‍රායල, දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ බිලියනපතියෙකු වන යකීර් ගබායි ඇතුළත් වේ. ගාසාහි ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවේචනය කළ කටාර් සහ තුර්කිය වැනි රටවල ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ ද එහි සිටිති.

පලස්තීන ජාතිකයන් "වඩා පුළුල් නියෝජනයක්" අපේක්ෂා කළ බව දේශපාලනඥයෙකු වන මුස්තාෆා බර්ගවුටි බීබීසී පුවත් ලෝක සේවයේ සතිඅන්ත වැඩසටහනට පැවසීය.

"ඒක බොහෝ දුරට ජාත්‍යන්තර සාමාජිකයන් කිහිප දෙනෙකු සිටින ඇමෙරිකානු මණ්ඩලයක් වගේ," ඔහු පැවසුවේය.

කයිරෝවේ පැවති සාම සාකච්ඡා අතරතුර එකඟ වූ පරිදි පලස්තීන පරිපාලන කණ්ඩායමේ කාර්යය අපැහැදිලි වීම "ගැටලුසහගත" බව බර්ගවුටි පැවසීය.

ගාසාව නැවත ගොඩනැගීමට පහසුකම් සැලසීම සඳහා රාෆා හරස් මාර්ගය විවෘත කිරීමට ඊශ්‍රායලය දක්වන කැමැත්ත පිළිබඳව ඔහු සැක පළ කළේය.

විධායක මණ්ඩල පිළිබඳ සාකච්ඡාවලින් තමන් බැහැර කර ඇති බව ඊශ්‍රායලය පැවසීය. අගමැති නෙතන්යාහුගේ කාර්යාලය පැවසුවේ මෙය "ඊශ්‍රායලය සමග සම්බන්ධීකරණය කර නොමැති අතර එය එහි ප්‍රතිපත්තියට පටහැනි" බවයි.

ඊශ්‍රායලයේ විපක්ෂ නායක යායර් ලැපිඩ් මෙය "ඊශ්‍රායලයට රාජ්‍ය තාන්ත්‍රික අසාර්ථකත්වයක්" ලෙස හැඳින්වීය. අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවියර් X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, ගාසාවට නැවත ගොඩනැගීම සඳහා "පරිපාලන කමිටුවක්" අවශ්‍ය නොවන නමුත් එය හමාස් ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කළ යුතු බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසාහි ගොඩනැගිලිවලින් 80%ක් පමණ විනාශ වී හෝ හානි වී ඇති අතර, එමගීන් ටොන් මිලියන 60ක සුන්බුන් ජනනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට ගාසා තීරය යළි ගොඩනැගිය හැකි ද?

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවට අනුව ගාසා තීරයේ ගොඩනැගිලිවලින් 80%ක් පමණ විනාශ වී හෝ හානි වී ඇති අතර එමගින් ටොන් මිලියන 60ක සුන්බුන් නිර්මාණය වී තිබේ. අවතැන් වූ පවුල් ශීත කාලගුණය, සීමිත නවාතැන් සහ ආහාර හිඟයන්ට ද මුහුණ දී සිටිති.

ආධාර කණ්ඩායම් පවසන්නේ තත්ත්වය යහපත් වී ඇති නමුත් ඊශ්‍රායලය තවමත් ඔවුන්ගේ රාජකාරිවලට සීමා පනවා ඇති බවයි.

ඊශ්‍රායලය පවසන්නේ තමන් මානුෂීය ආධාර සඳහා අවසර දෙන බව සහ හමාස් සංවිධානය සහන කටයුතු අඩාල කිරීම වැළැක්වීම සඳහා සීමාවක් පනවා ඇති බවයි. ඔවුහු ගාසාවේ සැපයුම් බෙදා නොහැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පවරති.

කෙසේ වෙතත්, ඇතැම් විට පවතින විශාලතම අභියෝගය වන්නේ බිඳ වැටෙමින් පවතින සටන් විරාමය පවත්වා ගැනීමය.

පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා පුළුල් ගිවිසුමක කොටසක් ලෙස පමණක් තමන් නිරායුධ වන බව හමාස් සංවිධානය පවසයි. හමාස් නිරායුධ කළහොත් පමණක් තමන් ඉවත් වන බව ඊශ්‍රායලය පවසයි.

ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට කෙතරම් ඉක්මනින් වෙනසක් ඇති කළ හැකි ද නැතහොත් කල් පවතින සාමය සඳහා සැබෑ පියවර ගත හැකි ද යන්න තවමත් පැහැදිලි නැත.

අතිරේක වාර්තාකරණය බීබීසී පුවත් ලෝක සේවයේ සැන් පෙක් විසිනි