ජලය මත යාත්‍රා කිරීමේදී ඔබට ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්යය කොට ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බිබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බොහෝ පිරිස් අතර මේ දිනවල කතාබහකට ලක්ව ඇති කච්චතීව් දූපතට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ සංචාරයේදී ජීවිත ආරක්ෂක කබායක් නොපැළඳ බෝට්ටුවකින් ගමන් කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අවධානයට ලක්ව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර මාධ්‍ය හා උපාය මාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි ජනාධිපතිවරයා ජීවිතාරක්ෂක කබා පැළඳ නොයාම සම්බන්ධව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, එය 'නොසැලකිලිමත්කමේ නොව විශ්වාසයේ සංකේතයකි' යනුවෙන් පවසා තිබේ.
"ජීවිතාරක්ෂක කබායක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් ඔහු විවේචනය කිරීම විශාල චිත්‍රය මග හරියි: දිවයිනේ ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ අධිකාරිය සහ ගෞරවය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් යවා ඇත. එවැනි අවස්ථාවන්හි දී නායකයින් බොහෝ විට සංකේතාත්මක තේරීම් කරන අතර, ජනාධිපතිවරයාගේ විශ්වාසය නාවික හමුදාව කෙරෙහි විශ්වාසය සහ නායකත්වයේ ශක්තිය යන දෙකම පිළිබිඹු කරයි."
"සුළු විස්තරයක් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය තහවුරු කිරීමේ දී සහ ජාතික අවශ්‍යතා මත ස්ථිරව සිටීමේදී මෙම සංචාරයේ වැදගත්කම හඳුනා ගැනීම වඩාත් අර්ථවත් වේ," යැයි අනුරුද්ධ ලොකුහපුආරච්චි සිය සටහනේ දක්වා තිබේ.
කෙසේ වෙතත් ඔහුගේ අදහසට විරුද්ධ ප්‍රතිචාර රැසක් ද එම ෆේස්බුක් සටහනට දක්වා තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, PMD
'ජීවිතාරක්ෂක කබා නැතිව වතුරේ ක්‍රියාකාරකම් තහනම්'
ජලයේ සිදුකරන ක්‍රියාකාරකම්වලදී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පැළඳීමට අනිවාර්ය කර ඇති ජීවිතාරක්ෂක කබාය පිළිබඳව කතාබහක් ඇතිව තිබෙන මොහොතේ එහි ඇති වැදගත්කම ගැන බීබීසී සිංහල සේවය සොයා බැලීමක් කළේ ය.
"ඒක දාන්නේ නැතුව වතුරේ කිසි ම ක්‍රියාකාරකමක්වත්, යාත්‍රාවකට ගොඩවෙන්නවත් තහනම්," යැයි ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම් පී.කේ. එදිරිසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.
ලයිෆ් ජැකට් පැළඳිය යුත්තේ ඇයි?
ජීවිතාරක්ෂක කබා වැදගත් වන්නේ, ජලයේ සිදුවන අනතුරකදී ජීවිතය ආරක්ෂා කර ගැනීමට මෙන් ම සිදුවන අනතුරු වළක්වා ගැනීමට බව ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.
"බෝට්ටුවක යනවා නම් බෝට්ටුව පෙරළුණත්, මොකක් හරි වෙලා වතුරට වැටුණත් පුද්ගලයා පාවෙනවා. අනිත් එක ඒකේ තියෙන රේඩියම් වගේ පාට නිසා එයාව පැහැදිලිව පේනවා."
"අසනීප තත්ත්වයේ ඉන්න කෙනෙක් නම් ඒකට ඔරොත්තු දෙනවා. මොක ද සීතලක් වගේ තියෙන කෙනෙක්ට ලයිෆ් ජැකට් එකක් දාගත්තා ම පපුවට හුලං වදින ප්‍රවණතාව අඩු යි. ඊට අමතරව වතුරකට වැටුණොත් ලයිෆ් ගාඩ් කෙනෙකුට හරි ගලවා ගන්න කෙනෙකුට ඒ කෙනාව ඇදගෙන යන්න හරි ලේසි යි. මොක ද ඒවායේ උඩ පාවෙන ස්වාභාවය නිසා ලයිෆ් ජැකට්වල තියෙනවා අදින්න පුළුවන් විදියට හදපු සිස්ටම් එකක්."
ජීවිතාරක්ෂක කබා භාවිත නොකර ජලයේ ක්‍රියාකාරකමක් කරන අවස්ථාවකදී අනතුරක් සිදුවුවහොත් මරණය පවා සිදුවිය හැකි අතර ඊට අමතරව තුවාල වැනි හානි සිදුවීමේ අවදානමක් ද පවතී.
'ලයිෆ් ජැකට් එකේ ප්‍රමිතිය දැනගන්න ඕනේ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
උසස් වර්ගයේ ජීවිතාරක්ෂාක කබායක් පැළඳ සිටින අවස්ථාවක් අනතුරක් සිදුවුවහොත් පැය 20ක් පමණ ජලයේ පාවී සිටීමේ හැකියාවක් පවතින අතර, සමාන්‍ය කබායකින් පැය 5ක් පමණ එලසෙ පාවී සිටිමේ හැකියාව පවතින බව ද පී.කේ. එදිරිසිංහ සඳහන් කළේ ය.
ජීවිතාරක්ෂක කබායක් නිවැරදි ලෙස පළඳින ආකාරය ගැන ද ඔහු කෙටි පැහැදිලි කිරීමක් කළේ ය.
"සමහර ඒවා තියෙනවා කකුල් දෙකට අතරිනුත් ක්ලිප් කරනවා. අනිත් එක තමයි ලයිෆ් ජැකට් එක දාන්න හොඳ නෑ ලූස් විදියට. පුළුවන් තරම් ඇඟට හිර වෙන විදියට තම යි ලයිෆ් ජැකට් එක අඳින්න ඕනේ. මොක ද ලූස් දැම්මොත් ලයිෆ් ජැකට් එක උඩ එනවා, මනුස්සයා යට යනවා."
විවිධ වර්ගයේ ජීවිතාරක්ෂක කබා පවතින බව කී ශ්‍රී ලංකා ජීවිතාරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ඒ පිළිබඳව තවදුරටත් විස්තර කළේ ය.
උසස් වර්ගයේ ජීවිතාරක්ෂක කබාවල විසිල් එකක්, විදුලි පන්දමක්, සහ කුඩා පිහියක් ද අන්තර්ගත වන බව ඔහු පවසයි.
"ලයිෆ් ජැකට් එකේ ප්‍රමිතිය දැනගන්න ඕනේ. ලයිෆ් ජැකට් එක දාගෙන මුහුදේ පාවෙද්දි යම් යම් දේවල්වලට සීරෙන්න පුළුවන්, ඉරෙන්න පුළුවන්. එහෙම වුණා ම මේවායේ වතුර උරා ගැනීමේ ශක්තිය තියෙන ඒවත් තියෙනවා. වතුර උරා ගන්නේ නැති ඒවත් තියෙනවා. ඒක නිසා ප්‍රමිතියෙන් යුතු ලයිෆ් ජැකට් එකක් තමයි ඕන ම කෙනෙක් පාවිච්චි කරන්න ඕනේ," ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂණ සංගමයේ ප්‍රධාන ලේකම් පී.කේ. එදිරිසිංහ තවදුරටත් පැවසීය.

































