බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ICC T20 ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ක්‍රීඩා කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ICC අද (ජනවාරි 24 වැනිදා) නිවේදනය කළේය.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ප්‍රකාශයට පත් කරන ලද තරග කාලසටහනට අනුව තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, බංග්ලාදේශය එළඹෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට තවදුරටත් තරග නොකරන බව සෙනසුරාදා නිල වශයෙන් නිවේදනය කරන ලදී.
එංගලන්තය, ඉතාලිය, නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින්, C කාණ්ඩයේ බංග්ලාදේශයේ ස්ථානය නියෝජනය කිරීමට ස්කොට්ලන්තය කැඳවා ඇත.
ICC ය මෙම නිවේදනය නිකුත් කළේ බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේදී සැබෑ ආරක්ෂක තර්ජනයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසුව සහ තරගාවලියේ සම-සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේදී තරග ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.
අභ්‍යන්තර හා බාහිර විශේෂඥයින් විසින් ස්වාධීන ආරක්ෂක තක්සේරු කිරීම් සිදු කරන ලදී.
T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නොහැකි වූ කණ්ඩායම් අතර පෙරමුණේ පසුවන කණ්ඩායම ස්කොට්ලන්තයයි. ඔවුන් දැනට 14 වන ස්ථානයේ පසුවන අතර,සෙසු තරගකාරී කණ්ඩායම් වන්නේ නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි.
බංග්ලාදේශය සිය අවසන් තීරණය දැනුම් දෙයි
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් සමග (ජන: 22) පැවති සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශය විස්සයි20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට නොපැමිණෙන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පැවසුවේය.
ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් වාර්තාකරුවන්ට පැවසුවේ, රජයේ තීරණය පැහැදිලි බවත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී ලෝක කුසලානය සඳහා ක්‍රීඩා නොකරන බවත් ය.
"ICC යෙන් අපට යුක්තිය ඉටු වෙලා නැහැ. ICCය අපේ ආරක්ෂක ගැටලු සලකා බලා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට අපගේ ඉල්ලීම පිළිගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා," ඔහු පැවසීය.
යටත් වීමේ සහ මහජන ආරක්ෂාව අනතුරේ හෙළීමේ අවදානම බැරෑරුම් ලෙස සැලකිය යුතු බව ඔහු පැවසීය. ක්‍රිකට් ක්‍රීඩකයින්ට තමා පෞද්ගලිකව කතා කළ බවත් ඔහු පැවසීය.
"නැවතත් ICCය සමග කතා කරනවා. අපට ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය යි," BCB සභාපතිවරයා පැවසුවේය.
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් බංග්ලාදේශයේ ඉල්ලීම සම්බන්ධයෙන් පැවති ඡන්දය විමසීමෙන් අනතුරුව ICCය පැවසුවේ, බංග්ලාදේශය ලෝක කුසලානයට සහභාගී වීමට ඉන්දියාවට යා යුතු බව ය.

ඡායාරූප මූලාශ්‍රය, ICC/BCB
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමති බවට පැවසූ නමුත් තරග ඉන්දියාවෙන් පිටත පැවැත්විය යුතු බව අවධාරණය කළේ ය. තරගය සම-සත්කාරක ශ්‍රී ලංකාවට ගෙන යාමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුල් කාලසටහන වෙනස් කිරීමට එකඟ නොවී ය. නියමිත කාලසටහනට අනුව බංග්ලාදේශය 'C' කාණ්ඩයේ සිටියේ ය.
C කාණ්ඩය යටතේ බංග්ලාදේශයේ පළමු තරගය පෙබරවාරි 7 වන දින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොල්කටාහිදී පැවැත් වීමට නියමිතව තිබිණි.
ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කනස්සල්ල පළ කර ඇති නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, බංග්ලාදේශයට නිශ්චිත තර්ජනයක් නොමැති බව ය. ස්වාධීන ආරක්ෂක වාර්තාවක් ඉන්දියාවේ සමස්ත අවදානම "මධ්‍යම සිට ඉහළ" ලෙස ශ්‍රේණිගත කර ඇති නමුත් කිසිදු කණ්ඩායමකට ඍජු තර්ජනයක් ඇති බවට හඳුනාගෙන නොමැත.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය නොකිරීමට බංග්ලාදේශය ගත් තීරණයට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පූර්ණ සහයෝගය පළ කර ඇති බව පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වන Geo News වාර්තා කළේ ය. ඉන්දියාවට කණ්ඩායමක් යොමු කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ රජය පාකිස්ථාන රජය සමග අදහස් හුවමාරු කරගෙන ඇති බව ද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ බංග්ලාදේශ රජය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

































