ජපානයේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු අගමැතිනිය: 'යකඩ ගැහැනිය' ලෙස හඳුන්වන සනයි තකයිචි යනු කවු ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජපානයේ ඉරිදා පැවති මැතිවරණයේදී සනයි තකයිචි ප්‍රමුඛ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) ආසන 465න් 316ක් දිනා ගැනීමට සමත් විය.
1947 වසරේදී ජපාන පාර්ලිමේන්තුව එහි වත්මන් ස්වරූපයෙන් ස්ථාපනය කිරීමෙන් පසු තනි පක්ෂයක් පහළ මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතර බලයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය යි.
ඊට අමතරව, කාන්තාවක් මහජන ඡන්දයෙන් ජපානයේ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සභාග හවුල්කරුවා වන ජපන් නවෝත්පාදන පක්ෂය (Japan Innovation Party) තවත් මැතිවරණ කොට්ඨාස 36ක් ජයග්‍රහණය කළ අතර, ඉන් පක්ෂ දෙකේ ඒකාබද්ධ මුළු ආසන සංඛ්‍යාව 352 දක්වා ඉහළ ගියේ ය.
ජපානයේ දුර්වල වූ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ සහ ජීවන වියදම් ගැටලුවලට මුහුණ දීමේ අභියෝගයට දැන් මුහුණ දී සිටින තකයිචිට මෙම ප්‍රබල ජනවරම සාර්ථක අවස්ථාවක් බව ඇතැමුන්ගේ අදහස යි.
රටේ පළමු අගමැතිනිය බවට පත්ව මාස හතරකට පසු මැතිවරණයක් කැඳවමින් ඇය පැහැදිලි මහජන වරමක් ඉල්ලා සිටියා ය.
ඇයගේ පැහැදිලි සාර්ථකත්වය, දූෂණ වංචා සහ ඉහළ යන වියදම් හේතුවෙන් පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ ඇගේ පූර්වගාමීන් දෙදෙනාට වඩා කැපී පෙනෙන ලෙස වෙනස් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මාග්‍රට් තැචර් වැනි නායිකාවක වීමට සිහින දුටු ජපානයේ 'යකඩ ගැහැනියක' ලෙස හඳුන්වන සනයි තකයිචි ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස ඔක්තෝබර් 21 වන දා එරට පාර්ලිමේන්තු ඡන්දයකින් තේරී පත්වූවා ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දෙවන වටයේ ඡන්දයකින් පසුව, ඉහළ මන්ත්‍රී මණ්ඩලය ජපානයේ මීළඟ අගමැතිනිය ලෙස තකයිචි තෝරා පත් කර ගත්තේ ඇය ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත් කරමිනි.
ඇය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 125ක් එනම් සරල බහුතරයක් දිනා ගැනීමට ඇයට අවශ්‍ය ප්‍රමාණයට වඩා එක් ඡන්දයක් වැඩියෙන් ලබාගත් ඇති අතර, මීට පෙර පහළ මන්ත්‍රී මණ්ඩලයේදී ඇය ඡන්ද 237ක් ලබා ගනු ලැබුවේ අවශ්‍ය බහුතරය වන ඡන්ද 233 ඉක්මවා යමින්ය.
හිටපු අමාත්‍යවරියක, රූපවාහිනී නිවේදිකාවක වූ ඇය, කලක් හෙවි මෙටල් සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක ද වූවා ය. මන්දගාමී ආර්ථික වර්ධනයක්, අඛණ්ඩ උද්ධමනය සහ එක තැන පල්වෙන වැටුප් සමග පොරබදමින් සිටින කුටුම්භ, සහ අඩු උපත් අනුපාත සහ ඉහළ යන භූ දේශපාලනික ආතතීන් සහිත රටක් ඇතුළු අභියෝග රැසකට ඇය දැන් මුහුණ දී සිටී.
දැනට අස්ථාවරව ඇති එක්සත් ජනපදය හා ජපානය අතර සබඳතාවය මනාව හසුරුවා ගැනීමටත්, පසුගිය රජය විසින් ට්‍රම්ප් පරිපාලනය සමග ඇති කරගත් තීරුබදු ගිවිසුම ක්‍රියාත්මක කිරීමටත් ඇයට සිදුවනු ඇත.
1961 දී නාරා ප්‍රාන්තයේ උපත ලැබූ තකයිචිගේ පියා කාර්යාල සේවකයෙකු වූ අතර මව පොලිස් නිලධාරිනියකි. දේශපාලනය කුඩා කළ ඇයට බෙහෙවින් දුරස් එකක් විය.
කලක් හෙවි මෙටල් ඩ්‍රම් වාදකයෙකු වූ ඇය, ඩ්‍රම් ස්ටික් රැසක් රැගෙන යාම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ප්‍රබල ඩ්‍රම් වාදනය අතරතුර බොහෝ විට ඩ්‍රම් ස්ටික් කඩා දමන නිසාය.
ඇය කිමිදුම්කාරිනියක සහ මෝටර් රථ ලෝලියෙකු ද වූ අතර, ඇගේ ප්‍රියතම ටොයොටා සුප්රා රථය දැන් නාරාහි කෞතුකාගාරයක ප්‍රදර්ශනය කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශපාලනයට පිවිසීමට පෙර තකයිචි ටික කලක් රුපවාහිනී නිවේදිකාවක ලෙස සේවය කළා ය.
ඇයට දේශපාලන ආභාෂය ලැබුණේ 1980 ගණන්වල, එක්සත් ජනපද-ජපාන වෙළඳ ගැටුමේ උච්චතම අවස්ථාව වූ සමයේදී ය. ජපානය පිළිබඳ ඇමෙරිකානු අදහස් තේරුම් ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඇය, ඩිමොක්‍රටික් පාක්ෂික පැට්‍රීෂියා ෂ්‍රෝඩර්ගේ කාර්යාලයේ සේවය කළාය. ෂ්‍රෝඩර් ජපානය විවේචනය කිරීම සඳහා ප්‍රසිද්ධ කොංග්‍රස් නියෝජිතවරියක වූවා ය.
ඇමෙරිකානුවන් බොහෝ විට ජපන්, චීන සහ කොරියානු භාෂා සහ ආහාර ව්‍යාකූල කරන බවත්, ජපානය චීනය සහ දකුණු කොරියාව සමඟ කාණ්ඩගත කරන බවත් තකයිචි දුටුවා ය.
"ජපානයට තමන්ව ආරක්ෂා කර ගන්න බැරි නම්, එරට ඉරණම සැමවිට ම ඇමෙරිකානු අනුකම්පාව මත රඳා පවතියි," ඇය නිගමනය කළා ය.
ඇය 1992 දී පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීනව ඉදිරිපත් වූ නමුත් පරාජයට පත් වූවා ය.
ඇය නොපසුබටව ඉදිරියට ගිය අතර, වසරකට පසුව ආසනයක් දිනා 1996දී එල්ඩීපී පක්ෂයට එකතු වූවා ය. එතැන් සිට, ඇය දස වතාවක් මන්ත්‍රීවරියක් ලෙස තේරී පත් වී ඇති අතර, පරාජයට පත් වූයේ එක් වරක් පමණකි. පක්ෂයේ වඩාත්ම විවෘත කන්සවේටිව් හඬක් ලෙස ඇය කීර්තියක් ගොඩනඟා ගෙන තිබේ.
ඇය ආර්ථික සුරක්ෂිතතා අමාත්‍යවරිය, වෙළඳ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරිය සහ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යවරිය ලෙස වාර්තාගත ධුර කාලයක් ඇතුළුව රජයේ ජ්‍යෙෂ්ඨ භූමිකාවන් ද දරා ඇත.
2021 දී, තකයිචි ප්‍රථම වරට LDP නායකත්වයට තරග කළ නමුත් ෆුමියෝ කිෂිඩා හමුවේ පරාජය විය. ඇය 2024දී නැවත උත්සාහ කළ අතර, මෙවර පළමු වටයේ ඡන්ද විමසීමේදී ඉහළින් ම සිටිය ද අවසානයේ ෂිගෙරු ඉෂිබාට පරාජය වූවා ය.
මේ වසරේ, ඇගේ තුන්වන උත්සාහයේදී, ඇය ජයග්‍රහණය තහවුරු කර ගත්තා ය.
"මගේ ඉලක්කය යකඩ ගැහැනිය වෙන එක," යැයි ඇය මෑතකදී පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පාසල් සිසුන් පිරිසකට පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images
අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ ගෝලයෙකු වන ටකයිචි, ඉහළ යන රාජ්‍ය වියදම් පාලනය සහ අඩු වියදම් ණය ගැනීම් පිළිබඳ ඔහුගේ "අබේනොමික්ස්" ප්‍රවේශය නැවත ඇති කිරීමට පොරොන්දු වී තිබේ.
කොන්සර්වේටිව් මතධාරී නායිකාවක වන ඇය විවාහක කාන්තාවන්ට ඔවුන්ගේ මුල් නම් තබා ගැනීමට ඉඩ සලසන නීති සම්පාදනයට දිගු කලක් තිස්සේ විරුද්ධ වූයේ එය සම්ප්‍රදායට හානි කරන බවට අවධාරණය කරමිනි. ඇය සමලිංගික විවාහයටද විරුද්ධ ය.
"ඇය තමාව ජපානයේ මාග්‍රට් තැචර් ලෙස හඳුන්වා ගන්නවා. මූල්‍ය විනය අතින් ඇය තැචර්ට වඩා වෙනස් නෑ," ටෝකියෝවේ ටෙම්පල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෙෆ් කිංග්ස්ටන් බීබීසීයට පැවසීය. "නමුත් එයා තැචර් වගේ විසඳුම් ලබා දෙන තැනැත්තියක් නොවෙයි. මං හිතන්නේ නෑ එයා කාන්තාවන් සවිබල ගන්වන්න එච්චර දෙයක් කරලා තියෙනවා කියලා."
කෙසේ වෙතත්, ඇය මෑතකදී ඇගේ ස්වරය මෘදු කර ඇත. ඇයගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර, ළදරුවන් බලාගැනීමේ ගාස්තු අර්ධ වශයෙන් බදු අඩු කළ හැකි බවට ඇය පොරොන්දු වූ අතර ගෘහස්ථ ළමාරක්ෂක සේවා සපයන සමාගම් සඳහා ආයතනික බදු සහන යෝජනා කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇයගේ පවුලේ සහ පෞද්ගලික අත්දැකීම් ඇයගේ ප්‍රතිපත්ති යෝජනා හැඩගස්වන අතර, කාන්තා සෞඛ්‍ය සඳහා රෝහල් සේවා පුළුල් කිරීම, ගෘහ සේවකයින්ට වැඩි පිළිගැනීමක් ලබා දීම සහ ජපානයේ වයස්ගත සමාජය සඳහා සත්කාර විකල්ප වැඩිදියුණු කිරීම ඊට ඇතුළත් වේ.
"මම පුද්ගලිකව ම හෙද සහ සාත්තු සේවාවන් ජීවිතයේ තුන් වතාවක් අත්විඳලා තියෙනවා," ඇය පැවසුවා ය.
"ඒ නිසා තමයි මගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙලා තියෙන්නේ, රැකබලා ගැනීම්, දරුවන් ඇති දැඩි කිරීම හෝ දරුවන් පාසල් නොයෑම නිසා රැකියාවෙන් ඉවත් වීමට සිදුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා."
"මිනිසුන්ට තමන්ගේ වෘත්තීන් අත්හැරීමට අවශ්‍ය නොවන සමාජයක් නිර්මාණය කරන්න මට අවශ්‍යයි."
වරදකරුවන් කළ යුද අපරාධකරුවන් ඇතුළු ජපානයේ යුද්ධයෙන් මියගිය අය සිහිපත් කරන මතභේදාත්මක යසුකුනි සිද්ධස්ථානයට ඇය නිතර ගොස් තිබේ.
ජපානයේ ස්වයං ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාරාත්මක හැකියාවන් තහනම් කර ඇති ව්‍යවස්ථාමය සීමාවන් ලිහිල් කිරීමට ද ඇය පෙනී සිට ඇත.

































