ඊශ්‍රායල් ලෙබනන් ආක්‍රමණය: දෙරට නිරන්තරයෙන් යුද වදින්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල සොල්දාදුවන් 2006 ජූලි 24 දින ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාව හරහා ආපසු ඊශ්‍රායලය දෙසට ගමන් කරන අයුරු
කියවීමේ කාලය: මිනිත්තු 7

දින කිහිපයක් තම අසල්වැසි රාජ්‍යයට බෝම්බ හෙලීමෙන් පසුව හා එරට සිටින හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට එරෙහිව ඉලක්කගත මෙහෙයුම් වලින් පසු, ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් ආරම්භ කර ඇත.

මෙය කිසිසේත් ම එවැනි ප්‍රහාරයක් සිදුවූ පළමු අවස්ථාව නොවන අතර පෙර පැවති උත්සහයන්වලදී මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන්නේ ය.

එසේ නම්, පෙර ආක්‍රමණවලට වඩා මෙවර එය වෙනස් විය හැක්කේ කෙසේ ද?

1978: පළමු ආක්‍රමණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1978දී ලිටානි මෙහෙයුම ලෙස නම් කරන ලද මෙහෙයුම තුළින් දකුණු ලෙබනන ආක්‍රමණයේ යෙදුණු ඊශ්‍රායල සොල්දාදුවන්

1948 දී ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවීමෙන් පසු පලස්තීන සරණාගතයින්ගේ ප්‍රධාන ගමනාන්තය බවට ලෙබනනය පත් විය. සරණාගතයින් අතරට පලස්තීන විමුක්ති සංවිධානය (PLO) වැනි පලස්තීන සටන්කාමී කණ්ඩායම් ද ඇතුළත් විය.

මෙම සටන්කාමීන් ලෙබනනයේ සිට ඊශ්‍රායලයට පහර දුන් අතර, රට ගැටුමකට ඇද දැමූහ. ඊශ්‍රායලය ප්‍රථම වරට ලෙබනනය ආක්‍රමණය කළේ, 1978 දී පැරාමිලිටරි කණ්ඩායමක් වන පලස්තීන විමුක්ති සංවිධානය (PLO) බස් රථයක් ග්‍රහණයට ගැනීමට ප්‍රතිචාර වශයෙනි. එහිදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ඊශ්‍රායල සිවිල් වැසියන් 38 දෙනෙකු මිය ගිය අතර ඊශ්‍රායලයේ මෙම ප්‍රහාරය හඳුන්වනු ලබන්නේ වෙරළබඩ මාර්ග සමූහ ඝාතනය ලෙස ය.

ඊශ්‍රායල් හමුදා දකුණු ලෙබනනයට ගොස් මාස දෙකකට පසු ආපසු පැමිණියේ ය. ඔවුන් සිය අසල්වැසි රට තුළ ස්වාරක්ෂක කලාපයක් පිහිටුවා ගත් අතර, ඔවුහු 2000 වසර දක්වා එහි රැඳී සිටියහ.

මෙම පළමු ආක්‍රමණය ලෙබනන් පාර්ශවයේ සටන්කාමීන් සහ සිවිල් වැසියන් 2,000ක් දක්වා ජීවිතක්ෂයට පත්වූහ. ඊශ්‍රායල පාර්ශවයෙන් සොල්දාදුවන් 18 දෙනෙක් මිය ගියහ.

1982: විශාලතම ආක්‍රමණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් හමුදා ආක්‍රමණයේදී අල්ලා ගන්නා ලද ලෙබනන් වරාය නගරයක් වන සිදොන්හි ඊශ්‍රායල් සොල්දාදුවන්, Operation Peace for Galilee (ගැලීලියේ සාම මෙහෙයුම) ලෙස මෙම මෙහෙයුම නම් කර තිබිණි.

ලෙබනනය තුළ ඊශ්‍රායලයේ වඩාත් ම සැලකිය යුතු මෙහෙයුම සිදු වූයේ, 1982 දී සිදුවූ ලෙබනන් සිවිල් යුද්ධයේදීය.

ලෙබනනයේ සිට ඊශ්‍රායලයට දිගින් දිගට ම ප්‍රහාර එල්ල කළ පලස්තීන විමුක්ති සංවිධානය යළිත් පලවා හැරීම සඳහා ඊශ්‍රායල් සොල්දාදුවන් දහස් ගණනක්, යුද්ධ ටැංකි සහ සන්නද්ධ රථ සිය ගණනක් සමග දේශසීමා තරණය කළහ.

ඊශ්‍රායලයේ අරමුණ වූයේ, ඊශ්‍රායලයට පහර දීම නැවැත්වීම සඳහා පලස්තීන විමුක්ති සංවිධානයේ ස්ථාන ඉලක්ක කිරීම ය.

ඊශ්‍රායලයේ හමුදා පෙරමුණු කිහිපයකින් ඉදිරියට ගිය අතර සතියක් ඇතුළත බේරූට් අගනුවරට ළඟා වීමට හැකි විය.

ප්‍රහාරය අතරතුර, පලස්තීන සරණාගතයින් සමූහ ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදා වගකිව යුතු විය.

මාස තුනකට පසු ඊශ්‍රායලය නැවත ඉන් ඉවත් වූයේ, ලෙබනනය තුළ ස්වාරක්ෂක කලාපයක් නිර්මාණය කරමිනි.

එහිදී, ලෙබනන් පාර්ශවයේ පුද්ගයින් 20,000ක් දක්වා මිය ගිය අතර, ඉන් බොහෝ දෙනෙක් සිවිල් වැසියෝ වූහ. ඊශ්‍රායල් පාර්ශවයෙන් සොල්දාදුවන් 654 දෙනෙක් මිය ගියහ.

1996: නව සතුරෙක් සහ නව ආක්‍රමණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1996 අප්‍රේල් මාසයේදී ටෙබ්නින් නම් ලෙබනන් නගරයේ සිටි පුද්ගලයින් ආදී, ලෙබනන් සිවිල් වැසියන් දහස් ගණනක් හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ වෙඩි හුවමාරුවලට මැදිවී ඇත.

1982 දී ඊශ්‍රායලය සිදුකළ ආක්‍රමණය පලස්තීන විමුක්ති සංවිධානය පළවා හැරීමට සමත් වූ අතර, ඔවුහු සිය මූලස්ථානය ලෙබනනයේ සිට ටියුනීසියාවට ගෙන ගියහ. නමුත් ඉන්පසුව, සන්නද්ධ ප්‍රහාරක කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය පිහිටුවන ලද අතර, එය ද ඊශ්‍රායලය තම සතුරා ලෙස සලකා පහර දීමට උත්සහ කළේ ය.

හිස්බුල්ලා සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් 1996 අප්‍රේල් මාසයේදී පළමු වතාවට එම සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියා කළ අතර, එම ආක්‍රමණය සීමිත මෙහෙයුමක් වූ අතර එය සති දෙකකට පමණ සීමා විය.

නැවතත් සිවිල් වැසියන් පීඩාවට පත්විය - හිස්බුල්ලා සටන්කරුවන් දහ තුන් දෙනෙක් සහ ලෙබනන් පාර්ශවයෙන් සිවිල් වැසියන් 250ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. ඊශ්‍රායලයට කිසිදු හානියක් සිදු නොවීය.

ඉස්ලාමීය සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාර සහ ඊශ්‍රායල් ගුවන් හමුදාවේ බෝම්බ ප්‍රහාර හමුවේ ඇති වූ ගැටුම් ද සමග ඊශ්‍රායලය සහ හිස්බුල්ලා ගැටුම අඛණ්ඩව පැවතිණි.

2006: දින 34ක යුද්ධය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2006 ජූලි 24 වන දින දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීමෙන් පසු තුවාල ලැබූ ඊශ්‍රායල් සොල්දාදුවෙක් දේශසීමාව ඔස්සේ නැවත ඊශ්‍රායලයට රැගෙන එන අයුරු

ඉන්පසුව 2006 ජූලි මාසය උදා විය. දේශසීමාව ආසන්නයේ වූ ඊශ්‍රායල නගරවලට ෂෙල් ප්‍රහාර එල්ල වූ අතර, හිස්බුල්ලා සටන්කාමීන් දේශසීමාව හරහා ගොස් හමුදා වාහන දෙකකට ප්‍රහාර එල්ල කොට සොල්දාදුවන් අට දෙනෙකු මරා දමා දෙදෙනෙක් ප්‍රාණ ඇපයට ගත්හ.

ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වූයේ, ලෙබනනය පුරා වූ ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින්, ගුවන් සහ නාවික මාර්ග අවහිර කිරීම් සහ දකුණු ලෙබනනය ගොඩබිමෙන් ආක්‍රමණය කරමිනි.

යුද්ධය දින 34ක් පැවති අතර සටන් විරාමයකින් අවසන් විය.

ලෙබනනයේ පුද්ගලයන් 1,191 දෙනෙකු පමණ මිය ගිය අතර, ඔවුන්ගෙන් බහුතරය සිවිල් වැසියෝ වූහ. ඊශ්‍රායල් පාර්ශවයෙන් සොල්දාදුවන් 121 දෙනෙක් සහ සිවිල් වැසියන් 44 දෙනෙක් මිය ගියහ.

ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල හමුදා විසින් 1982 දී ලෙබනනයේ අගනුවර වන බේරූට් වටලන ලදී.

හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ගය මේ වන විට දෙරට අතර සමතුලිතතාව වෙනස් කර ඇති බව බීබීසී ජාත්‍යන්තර කර්තෘ ජෙරමි බෝවන් පවසයි: "...පසුගිය සති කිහිපය තුළ ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය අඩපණ කොට කර තිබෙනවා, ඇමෙරිකානු හා ඊශ්‍රායල බලධාරීන්ට අනුව ඔවුන්ගේ ආයුධවලින් අඩක් විනාශ කර තිබෙනවා. එවගේ ම ඔවුන් ලෙබනනය ද ආක්‍රමණය කළා."

ඊශ්‍රායල හමුදා විශ්ලේෂක යෝආව් ස්ට්‍රේන් බීබීසීය වෙත පැවසුවේ, 1982 දැවැන්ත හමුදා යෙදවීම මෙන් නොව, 2006 වසරට සමාන උපාය මාර්ගයක්, සීමිත ආක්‍රමණයක් සමග මෙවරත් ක්‍රියාත්මක වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

"එය ප්‍රධාන අක්ෂය වටා වේගවත් හා විස්තීර්ණ ආක්‍රමණයක් දියත් කරනවා වෙනුවට දකුණු ලෙබනනයේ නගර එකින් එක අල්ලා ගැනීම ඇතුළුව මන්දගාමී, ප්‍රවේශම්සහගත සහ සියල්ල නිශ්චිතව ගණනය කළ ආක්‍රමණයක් වනු ඇති," ස්ටර්න් පැවසීය.

හිස්බුල්ලා සංවිධානය දිගු කලක සිට දකුණු ලෙබනනයේ නගරවල ස්ථානගත වී සිටින බවත්, ඊශ්‍රායලය මෙම නගර අත්පත් කර ගෙන හිස්බුල්ලා සංවිධානයට ඉක්මනින් ඉවත් වීමට ඇති හැකියාව වළක්වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය තම හමුදා ලෙබනනය ආක්‍රමණයක් ආරම්භ කළ බව නිවේදනය කළ දිනයේ ලෙබනනයේ සිදොන් හි පිහිටි පලස්තීන අයින් අල් හිල්වේ කඳවුරට ඊට පෙර දින රාත්‍රියේ එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය පුද්ගලයින් සෙවීමට සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කරන අයුරු.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව හමාස් සාමාජිකයින්ගේ ප්‍රතිප්‍රහාර දුර්වල කිරීමට ඉඩ ඇති අතර, හමාස් සංවිධානය ඔක්තෝබර් 7 එල්ල කළ ප්‍රහාරයෙන් පසු ලෙබනනයේ තත්ත්වය සහ ගාසා තීරයේ ඊශ්‍රායල් මෙහෙයුම් අතර වෙනසක් තිබේ.

හිස්බුල්ලා සංවිධානයේ යටිතල පහසුකම් සහ නායකත්වයට එරෙහිව සාර්ථක ප්‍රහාර එල්ල වුව ද, ලෙබනනයේ තත්ත්වය වඩාත් අභියෝගාත්මක බව ඔප්පු කළ හැකි ය.

හිස්බුල්ලා කියන්නේ හමාස් නෙවෙයි: ඔවුන්ට හානි වෙලා තියෙනව, නමුත් තවමත් හොඳින් සන්නද්ධව සහ උපාය මාර්ගිකව ස්ථානගතව සිටිනවා," ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මැද පෙරදිග විශේෂඥයෙකු වන මහාචාර්ය අමින් සයිකල් පවසයි.

"ඊශ්‍රායල් ආක්‍රමණයට එරෙහිව නිමාවක් නොමැති ප්‍රතිරෝධයක් දැක්වීමට හිස්බුල්ලා කණ්ඩායමට හැකියාව තියෙනවා. මෙය යුදෙව් රාජ්‍යයට ඉහළ මානව හා ද්‍රව්‍යමය පිරිවැයක් දැරීමට සිදු විය හැකි කරුණක්," ඔහු පැහැදිලි කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මෙතෙක් ඉටුකරගෙන නොමැති බව ජෙරමි බෝවන් පවසයි.

දකුණු ලෙබනනයේ දැවැන්ත උමං ජාල ඇතුළු සියලු පහසුකම් පවතී. ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ඇතුළු වූ විට ඔවුන්ගේ එක් අභිප්‍රායක් වූයේ හමාස් උමං ජාලය බිඳ දැමීම‍ ය. වසරකට ආසන්න කාලයකට පසුව ද ඔවුන් එය සිදු කර නැත."