කාංසාව යනු කුමක් ද? ඊට ගොදුරු නොවීමට සහ ගොදුරු වූවන් ගලවා ගැනීමට ගත යුතු පියවර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බුයි තූ
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 10

කාංසාව යනු, මිනිසුන් තම ජීවිත තුළ ලබන මූලික ම අත්දැකීම්වලින් එකකි. එය තර්ජනාත්මක හෝ අභියෝගාත්මක ලෙස පෙනෙන අවස්ථාවන්ට අප ස්වභාවික දක්වන ප්‍රතිචාරයකි.

ඉඳහිට ඇති වන කාංසාව ජීවිතයේ සාමාන්‍ය අංගයක් වන අතර එය තර්ජනාත්මක අවස්ථාවලට මුහුණ දීම සඳහා අපව සූදානම් කරයි. නමුත් එය අධික වූ විට, දීර්ඝ කාලයක් පවතින විට, පාලනය කිරීමට අපහසු වූ විට හෝ දැනිය යුතු තත්ත්වයට වඩා දැනෙන විට ගැටලුවක් බවට පත්වේ.

එය අත්විඳින පුද්ගලයින් මෙන් ම ඔවුන්ට සහය වන පුද්ගලයින් සහ සමාජය අපට සෞඛ්‍ය සම්පන්නව සහ සතුටින් තබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් කාංසාව ඇති වන විවිධ ආකාර තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

කාංසාව යනු කුමක් ද?

මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණකින් බලන්නේ නම් කාංසාව යනු බිය, තැති ගැන්මක් හෝ නොසන්සුන්තාවක් පිළිබඳ හැඟීමකි.

අපගේ සිතුවිලි නිසා හෝ අප වටා සිදුවන දේවල් නිසා නරක දෙයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන විට ඇති වන බියක්, ආතතියක් හෝ අසහනයක් වැනි හැඟීමක් ලෙස ද එය අර්ථ දැක්විය හැක.

වියට්නාමයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මනෝවිද්‍යාව සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සේවය කර ඇති අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති ශරීරය කේන්ද්‍ර කර ගත් චිකිත්සක ක්‍රම පිළිබඳව විශේෂ පුහුණුවක් ඇති සංස්කාරක ෆුන්ග් ලේ, බීබීසීයට මෙලෙස පවසයි:

"කාංසාව කොතරම් ප්‍රබල ද කියනව නම්, එය අත්විඳින සමහර අය කියන්නේ එය සිරුරට දැනෙන වේදනාවට සමාන එකක් කියල යි. එය මානසික යහපැවැත්ම සහ සහනයක් ලබා ගැනීමේ අවශ්‍යතාව ගැඹුරින් පෙන්නුම් කරනවා."

කාංසාව ප්‍රබල නොවන ලෙස දැනෙන විට එය ප්‍රයෝජනවත් විය හැකි බවත් එය කල් තියා අනතුරු පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවන සහ සූදානම සහ අවධානය යොමු කිරීමට උපකාරී වන අනතුරු ඇඟවීමේ පද්ධතියක් ලෙස ක්‍රියා කරන බවත් ඔහු පැහැදිලි කරයි.

නමුත් අනාගතය පිළිබඳ බිය ඉතා ප්‍රබල හෝ යථාර්ථවාදී නොවන ලෙස එය එදිනෙදා ජීවිතයට බලපාන්නේ නම්, එය මානසික සෞඛ්‍ය ගැටලුවක ලකුණක් විය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක හා සමාන තත්ත්වයක සිටින අය සමග ගැටලු බෙදා ගැනීමෙන් කාංසාව අඩු කර ගත හැකි ය

ආතතිය සහ කාංසාව අතර වෙනස කුමක් ද?

ආතතිය ඇති වන්නේ, රැකියාව හෝ පවුලේ ගැටලු වැනි වර්තමානයේ පවතින අභියෝග නිසා වන අතර ඒවා විසඳා ගත් පසු සාමාන්‍යයෙන් එය මැකී යයි.

පැහැදිලි හේතුවක් නොමැතිව කාංසාව බොහෝවිට අපගේ ම සිතුවිලිවලින් ඇති වන අතර, එබැවින් එය සාමාන්‍යයෙන් ආතතියට වඩා දිගු කාලයක් පවතී.

කාංසාව යනු බිය, නොසන්සුන්තාව, අනවශ්‍ය ලෙස කනස්සල්ලට පත් වීම වැනි හැඟීම් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාංසාව යනු වඩාත් මූලික මිනිස් අත්දැකීම්වලින් එකක් වන අතර එය තර්ජනාත්මක හෝ අභියෝගාත්මක යැයි සැලකෙන අවස්ථාවන්ට දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් වේ

කාංසාව අපගේ යහපැවැත්මට බලපාන්නේ කෙසේ ද?

කාංසාව දිගු කාලයක් පවතින නිසා එය අපගේ සමස්ත ජීවිතයේ ගුණාත්මක බවට සහ යහපැවැත්මට බලපෑම් එල්ල කළ හැකි ය.

දිගුකාලීන හෝ නිදන්ගත ආතතිය, කාංසාව සඳහා සැලකිය යුතු හේතුවක් විය හැකි බව ෆුන්ග් ලේ පවසයි.

"දිගු කාලයක් තිස්සේ අධික ආතතියකින් සිටීම, මනෝභාවයන් පාලනය කරන මොළයේ රසායනික ද්‍රව්‍ය අවුල් කරන්න පුළුවන්. මේක කාංසාව සහ මනෝභාව ආබාධ වැනි දිගු කාලීන සෞඛ්‍ය ගැටලුවලට හේතු වෙන්න පුළුවන්."

ඔහු පවසන්නේ දෛනික ජීවිතය කාංසාව ඇති කරවන බව යි.

"කාලයත් සමග ආතතිමය සිදුවීම් හරහා යාම කාංසාව ගොදුරු වීමේ අවදානම වැඩි කළ හැකි බව පර්යේෂණවලින් පෙනී යනවා. ඒ කියන්නේ දිගුකාලීන ආතතිය මිනිසුන් කාංසාවේ රෝග ලක්ෂණ පෙන්වීමට තියෙන සම්භාවිතාව වැඩි කරනවා.

"ඒ නිසා, කාංසාව සහ අනෙකුත් මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම අවම කරන්න ආතතිය හොඳින් කළමනාකරණය කිරීම වැදගත් වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිස්කලංකව සිටීම සහ හුස්ම ගැනීමේ අභ්‍යාස යනු කාංසාවේ හැඟීම් සමග සටන් කළ හැකි ක්‍රම වේ

කාංසාව අපේ ශරීරයට සිදුකරන්නේ කුමක් ද?

නිරන්තර කාංසාව සමස්ත සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කළ හැකි ය.

දිගුකාලීන කාංසාව හේතුවෙන් හෘද රෝග, හෘදයාබාධ, අධිරුධිර පීඩනය සහ ආඝාත වැනි තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාව වැඩි විය හැකි බව ෆුන්ග් ලේ පවසයි.

කාංසාව නිසා Irritable Bowel Syndrome (IBS) හෙවත් සංවේදී බඩවැල් (ආහාර ගත් විගස මළපහ කිරීමට අවශ්‍ය වීම වැනි රෝග ලක්ෂණ සහිත තත්ත්වයකි), උදරය ආශ්‍රිත තුවාල, ඔක්කාරය, පාචනය හෝ මලබද්ධය වැනි ආහාර ජීර්ණය සම්බන්ධ ගැටලු ද ඇති විය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාංසාව නිසා රාත්‍රියේ නින්ද අහිමි විය හැක

නිදන්ගත කාංසාව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ හැකි අතර, ආසාදන හා රෝගවලට අපව ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කරයි. එය නිදා ගැනීමේ ගැටලු ඇති කළ හැකි අතර, එමගින් කාංසා තත්ත්වය තවත් වර්ධනය විය හැකි ය.

හිසරදය සහ නිදන්ගත වේදනාව බොහෝ විට ඇති වන්නේ, අප කාංසාවෙන් සිටින විට වන අතර, නිදන්ගත කාංසාව සහ ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයන් වර්ධනය වීම අතර සම්බන්ධයක් තිබිය හැකි අතර ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ඇති අපගේ හැකියාව අඩු කරයි.

කාංසාව මගින්, විශාදය හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි වෙනත් මානසික සෞඛ්‍ය ගැටලු ඇති කිරීමේ සම්භාවිතාව ද වැඩි විය හැකි ය.

අවසානයේදී, කාංසාව හේතුවෙන් ජීවිතය වඩාත් දුෂ්කර විය හැකි අතර, එය ඔබේ දෛනික චර්යාවන්ට, රැකියාවට සහ සබඳතාවලට ද බලපායි.

බරපතළ අවස්ථාවන්හිදී, එය සියදිවි නසා ගැනීමේ අවදානම වැඩි කළ හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාංසාව යනු, දිගු කාලීන තත්ත්වයක් වන අතර එය වසර ගණනාවක් පැරණි සිදුවීම් මගින්, ඇතැම් විට ළමා කාලය දක්වා වූ සිදුවීම් මානසික චිකිත්සාවන් මගින් හෙළි වේ

එදිනෙදා ජීවිතයේදී කාංසාව කළමනාකරණය කිරීමට ඇති වඩාත් ම ඵලදායී ක්‍රම මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1. සාමාන්‍ය කළමනාකරණ ක්‍රම

රෝග ලක්ෂණ හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට අපට එදිනෙදා ජීවිතයේදී විවිධ ක්‍රම භාවිත කළ හැකි ය.

  • නිවැරදි සිහිය

විනිශ්චයකින් තොරව වර්තමාන මොහොත කෙරෙහි අවධානය යොමු කරමින් නිවැරදි සිහිය ඇති කර ගැනීම කාංසාව අඩු කර ගැනීමට සහ අපව නැවත මෙම ස්ථානය සහ මේ මොහොත වෙත ගෙන ඒමට ඉතා ඵලදායී වේ.

හෙමින් ගැඹුරු හුස්ම ගැනීම, ක්‍රමක්‍රමයෙන් මාංශ පේශි ලිහිල් කිරීම සහ මනසට සහනයක් ගෙන දෙන දර්ශන ගැන සිහි කිරීම වැනි ක්‍රම ආතතිය අඩු කිරීමට, ආතතිය සමනය කිරීමට සහ ලිහිල් කිරීමට උපකාරී වේ.

  • හුස්ම ගැනීම

මහා ප්‍රාචීරය භාවිත කරමින් නිවැරදි හුස්ම ගැනීමේ ක්‍රම පුහුණු වීමෙන්, කාංසාවේ පොදු භෞතික රෝග ලක්ෂණයක් වන ඕනෑවට වඩා වේගවත් හෝ නොගැඹුරු හුස්ම ගැනීම වැළැක්වීමට උපකාරී වේ.

කුඩා පියවර හරහා ටිකෙන් ටික බියට මුහුණ දීම, මිනිසුන්ට තම කාංසාවට අභියෝග කිරීමට සහ විශ්වාසය ලබා ගැනීමට උපකාරී වේ.

  • 'කනස්සලු වීමේ කාලය'

ඇතැමෙකුට දවසේ නිශ්චිත වේලාවක් "කනස්සල්ලෙන් සිටීමට" සැලසුම් කිරීම ප්‍රයෝජනවත් ය. එය වෙනත් වේලාවන්හිදී කාංසාව ඇති වීම වැළැක්වීමට උපකාරී වේ.

කාංසාව ඇති වන විට සහ එයට හේතු වන දේ දිනපොතක ලිවීම ඔබට එය වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාරී වේ.

  • ' ඒ ගැන කතා කරමු'

විශ්වාසවන්ත මිතුරන්, පවුලේ සාමාජිකයන් හෝ සහය ලබා දෙන මධ්‍යස්ථාන සමග ඔබේ හැඟීම් ගැන කතා කිරීමෙන් ඔබට සහය වන්නෙකු සහ සවන් දෙන්නෙකු සිටින්නේ යැයි හැඟෙනු ඇත.

සහයක කණ්ඩායම් මගින් අත්දැකීම් බෙදා ගැනීමට සහ සමාන අභියෝගවලට මුහුණ දෙන අන් අයගෙන් ඉගෙන ගැනීමට ආරක්ෂිත ඉඩක් ලබා දිය හැකි ය.

විනෝදජනක සහ මනස සැහැල්ලු කරන විනෝදාංශ මගින් ද කාංසාව අඩු කර ගත හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කණ්ඩායමක් ලෙස සිදු කෙරෙන චිකිත්සාවලට හුස්ම ගැනීමේ අභ්‍යාස ඇතුළත් විය හැකි අතර එය අප හා හා සමාන තත්ත්වයක සිටින පුද්ගලයින් සමග අපගේ ගැටලු බෙදා ගැනීමට අපට උපකාරී වේ

2. සංජානන චර්යා චිකිත්සක (CBT) ක්‍රම:

සංජානන චර්යා චිකිත්සාව ඔබට ප්‍රයෝජනවත් නොවන සිතුවිලි හඳුනාගෙන ඒවා වෙනස් කිරීමෙන් කාංසාව කළමනාකරණය කර ගැනීමට කිරීමට උපකාරී වේ.

සමබර දෘෂ්ටියක් ලබා ගැනීම සඳහා ඍණාත්මක සිතුවිලි ගැන අවබෝධයෙන් දැකීම මීට ඇතුළත් වේ.

විනිශ්චය නොකර සිතුවිලි නිරීක්ෂණය කිරීමට, චිත්තවේගීය නියාමනය වැඩි දියුණු කිරීමට උපකාර කිරීම සඳහා නිවැරදි සතිය බොහෝ විට සංජානන චර්යා චිකිත්සක ක්‍රමවලට අන්තර්ගත කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාංසාව මැඩපැවැත්වීම සඳහා විවිධ චිකිත්සක ක්‍රම භාවිත කළ හැකි ය
  • හැසිරීම් සක්‍රීය කිරීම

සංජානන චර්යා චිකිත්සක උපක්‍රමයක් වන මෙය ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමට සහ කාංසාව අඩු කිරීමට ප්‍රතිඑල ලබා දෙන අර්ථවත් ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරයි.

කාංසාව සඳහා වන සංජානන චර්යා චිකිත්සාවේ ප්‍රධාන අංගයක් වන නිරාවරණ චිකිත්සාව, ආරක්ෂිත ආකාරයකින් බියට සෙමින් මුහුණ දීමට ඔබට උපකාරී වන අතර බිය වන දෑ මග හැරීම වළකා ඔබව කනස්සල්ලට පත් කරන දේට හුරුවීමට උපකාරී වෙයි.

  • සැහැල්ලු වීමේ ක්‍රම

ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට සහ සාමාන්‍ය කාංසාව කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා සංජානන චර්යා චිකිත්සාවේ විවිධ ලිහිල් කිරීමේ සහ ආතතිය අඩු කිරීමේ ක්‍රම ඇතුළත් වේ.

දිනපොතක සටහන් කිරීම ඔබට ඍණාත්මක සිතුවිලි හඳුනා ගැනීමට සහ ඔබට හැඟෙන ආකාරය හඳුනා ගැනීමට උපකාරී වේ.

  • සංජානන ප්‍රතිව්‍යුහගත කිරීම

සංජානන ප්‍රතිව්‍යුහගත කිරීම නැතිනම්, "නැවත රාමු කිරීම" යන්නෙන් අදහස් කරන්නේ ඍණාත්මක සිතුවිලි දෙස බලා ඒවා වඩාත් ප්‍රයෝජනවත් සහ යථාර්ථවාදී ආකාරයකින් දැකීමට උත්සහ කිරීම යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැහැල්ලු වීමේ ක්‍රම ඔබේ කාංසාව මට්ටම අඩු කිරීමට උපකාර කරයි

කාංසාව සඳහා ඇති ඖෂධ මගින් කාංසාව අඩු කරන්නේ කෙසේ ද?

Sertraline (Lustral) සහ Fluoxetine (Prozac) වැනි SSRI (තෝරාගත් සෙරොටොනින් නැවත ලබා ගැනීමේ නිෂේධක) ඖෂධ මොළයේ සෙරොටොනින් මට්ටම සමතුලිත කිරීමට උපකාරී වන අතර එමගින් මනෝභාවය වැඩි දියුණු කරමින් කාංසාව අඩු කළ හැකි ය.

සෙරොටොනින් යනු, මනෝභාවයට බලපාන මොළයේ රසායනික ද්‍රව්‍යයකි. එම රසායනයේ මට්ටම අවම වීම කාංසාවට සහ විශාදයට හේතු විය හැක. SSRI මොළය ඉක්මනින් සෙරොටොනින් නැවත අවශෝෂණය කර ගැනීම නැවැත්වීමෙන්, මොළයේ වැඩි සෙරොටොනින් මට්ටමක් තබා ගැනීමට උපකාරී කර මනෝභාවය වැඩි දියුණු කර කාංසාව අඩු කිරීම සිදු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙරොටොනින් අණු (මෙහි එකට සම්බන්ධ වී ඇති ගෝලවලින් නිරූපණය කෙරේ) ඔබේ මොළයේ ස්නායු සෛල (මෙහි අණු පිටුපසින් පෙන්වා ඇත) අතර පණිවිඩ ගෙන යයි

ඖෂධ වෙනත් ක්‍රම සමග ගත යුතු බව ෆුන්ග් ලේ උපදෙස් දෙයි:

"මේකට සංජානන චර්යා චිකිත්සක ක්‍රම වැනි චිකිත්සක ක්‍රම, ව්‍යායාම සහ හොඳින් ආහාර ගැනීම වැනි සෞඛ්‍ය සම්පන්න පුරුදු, නිවැරදි සිහිය, සැහැල්ලු වීම සහ ආතතිය කළමනාකරණය කිරීමේ ක්‍රම ඇතුළත් වෙනවා."

ඔහු පවසන්නේ, ඖෂධ සෑම කෙනෙකුට ම ප්‍රයෝජනවත් නොවන බව ය.

බොහෝ පුද්ගලයින්ට, විශාද නාශක (SSRI ඇතුළුව) වැනි නිර්දේශිත ඖෂධ ඔවුගේ මනෝභාවය වැඩි දියුණු කිරීමට සහ අභියෝගවලට හොඳින් මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී වෙයි.

"මේ ඖෂධ ඔබට සුදුසු දැයි බැලීමට වෛද්‍යවරයෙකු සමග කතා කිරීම වැදගත්. [මොක ද] එය ක්‍රියා කරන ආකාරය, එයින් ඇති විය හැකි අතුරු ආබාධ මොනවා ද යන්න පැහැදිලි කර ගැනීමට සහ ඔබේ අවශ්‍යතා සඳහා හොඳ ම විකල්පය සොයා ගැනීමට ඔවුන්ට උපකාර වෙන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙරොටොනින් මට්ටම ඉහළ නැංවීම හරහා විශාදය අඩු කිරීමට SSRI ඖෂධ භාවිත කරයි

කාංසාව පිළිබඳ වැරදි වැටහීම්

තරුණ පරම්පරාව අතර කාංසාව වැඩිවීම බොහෝවිට දුර්වලකමක් ලෙස වරදවා වටහා ගන්නා බව ෆුන්ග් ලේ පවසයි.

කෙසේ වෙතත්, වැඩි පිරිසක් දැනුවත් වී උපකාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටීම හොඳ සලකුණක් බවත්, ඒ හේතුවෙන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවත් ඔහු පවසයි.

තොරතුරු අධික වීම, සමාජ මාධ්‍ය, අධ්‍යාපනය වටා ඇති ආතතිය සහ වෙනස් වන සමාජ ගතිකතාවන් විශේෂයෙන් තරුණයින්ට බලපායි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අතීතයේ පැවති තත්ත්වයට වඩා බොහෝ සංස්කෘතීන්වල තරුණයින් තුළ කාංසාව වාර්තා වෙමින් පවතී

කාංසාව පිළිබඳ වැරදි වැටහීම් කරුණු සහිතව පැහැදිලි කිරීමේ වැදගත්කම ෆුන්ග් ලේ අවධාරණය කරයි. එක් පොදු මිථ්‍යාවක් නම්, කාංසාව යනු, අධික ලෙස ප්‍රතික්‍රියා කිරීම හෝ ඕනෑවට වඩා කරදර වීම බව ඔහු පවසයි.

"යථාර්ථය නම්, කාංසාව යනු තාවකාලික කනස්සල්ල හෝ බිය ඉක්මවා යන බරපතළ සෞඛ්‍ය තත්ත්වයක්; ඒවාට මොළය ක්‍රියා කරන ආකාරය සහ ව්‍යුහය වෙනස් කළ හැකි යි."

තවත් වැරදි මතයක් නම්, දුර්වල පුද්ගලයින්ට පමණක් කනස්සල්ලක් දැනෙන බව යි. යථාර්ථයේදී, කාංසාව ඕනෑ ම කෙනෙකුට බලපෑ හැකි අතර ඒවා බොහෝවිට ජීව විද්‍යාත්මක, පාරිසරික සහ ජානමය සාධක නිසා ඇති වේ.

කාංසාව නිරායාසයෙන් ම පහව යනු ඇතැයි යන අදහස බොහෝ දෙනෙකුට සත්‍ය නොවන බවට ඔහු අනතුරු අඟවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබව කනස්සල්ලට පත් කරන දේ ගැන මෙනෙහි කිරීමට පහසු කාලයක් වෙන් කිරීම කාංසාව සමග කටයුතු කිරීමේ එක් ක්‍රමයකි

"ප්‍රතිකාර නොමැතිව, කාංසාව දිගු කාලයක් පැවතිය හැකි අතර එය නරක අතට හැරෙන්න පුළුවන්. නමුත් ඵලදායී ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ බෙහෙවින් අඩු කරන්න පුළුවන්."

ඖෂධ එක් විකල්පයක් වුව ද, එය එක ම ඵලදායී ප්‍රතිකාරය යන්න මිථ්‍යාවකි.

ඒ සඳහා මනෝචිකිත්සාව, ජීවන රටාවේ වෙනස්කම් සහ විවිධ ඒකාබද්ධ පිළිවෙත් ඇතුළු බහු ඵලදායී ප්‍රවේශයන් තිබේ.

කාංසාව ගැන කතා කිරීම තත්ත්වය තවත් නරක අතට හැරෙනවා යන විශ්වාසයට පටහැනිව, ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීමෙන් ඇත්ත වශයෙන් ම අවබෝධය සහ සහයෝගය වර්ධනය විය හැකි අතර, පුද්ගලයන්ට උපකාර පැතීමට දිරිගැන්වීමක් සහ හුදෙකලා හැඟීම් අඩුවීමක් සිදුවිය හැකි ය.

ෆුන්ග් ලේ පවසන්නේ, කාංසාව නිසා ඇති වන ආබාධ දුර්ලභ බවට වන කතාව තවත් එක මිථ්‍යාවක් බව ය. ඇත්ත වශයෙන් ම, කාංසාව යනු, වඩාත් සුලභ මානසික ආබාධ වර්ගයක් වන අතර එය ශරීරය පුරා බොහෝ ශාරීරික රෝග ලක්ෂණ ඇති කළ හැකි යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, භාවනාව සහ හුස්ම ගැනීමේ අභ්‍යාස කාංසාව පාලනය කිරීමට උපකාරී වේ

සාරාංශයක් ලෙස, කාංසාව යනු සැලකිය යුතු මානසික හා ජීව විද්‍යාත්මක මානයන් සහිත සංකීර්ණ සංසිද්ධියකි.

ඇතැම් අවස්ථාවන්හිදී එයට අපේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවිය හැකි වුව ද, එය බොහෝ අවස්ථාවල අපව දුර්වල කරන ආබාධයක් බවට පත්වන අතර, එයට එරෙහිව විවිධ ක්‍රම සහ ඇතැම්විට ඖෂධ මගින් සටන් කිරීමට අපට සිදුවේ.