භූමිකම්පාවක් ඇතිවූ විට ඔබ කළ යුත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩියාර්බකීර් යනු භූ කම්පනයේ දරුණුතම බලපෑමට ලක්වූ තුර්කි නගරවලින් එකකි

තුර්කියට සහ සිරියාවට සඳුදා (පෙබ. 6) බලපෑ ඒකක 7.8ක භූමිකම්පාව මෙම දශකයේ සිදුවූ භයානක ම භූමිකම්පාව විය හැකි ය. මෙයින් දෙරටේ ම මරණ 5000 කට වඩා වැඩි ගණනක් වාර්තාවිය.

තුර්කිය විනාශකාරී භූමිකම්පාවලට ගොදුරු වන රටකි. 1939 සහ 1999 අතර සමයේ එහි ප්‍රබල භූමිකම්පා පහක් සිදුවිය.

1900 සිට, භූමිකම්පා 76ක් වැනි විශාල ගණනකින් 90 000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. එම මරණවලින් අඩක් 1939 සහ 1999 දී සිදු විය.

2200කට අධික පිරිසකට මරු කැඳවූ 2021 හයිටි භූමිකම්පාව සහ 4300කට අධික පිරිසක් මිය ගිය 2018 ඉන්දුනීසියානු භූමිකම්පාව පසුගිය දශක දෙක තුළ සිදුවූ වඩා බලවත් අනෙක් භයානක භූමිකම්පා වෙයි. 2017 දී භූමිකම්පාවකින් 400කට වැඩි පිරිසක් මියගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තුර්කියේ කහමරන්මාර්ෂ්හි කඩා වැටුණු ගොඩනැගිල්ලක්

භූමිකම්පා පුරෝකථනය කිරීම

විද්‍යාඥයින් පවසන්නේ, භූමිකම්පා ඇතිවිය හැකි ස්ථාන දැනගත හැකිවුව ද, ඒවා සිදුවන්නේ කවදාදැ යි ඇස්තමේන්තු කිරීමට තරම් දියුණුවක් අප තවමත් ලබා නැතිබව ය. ඉතින් ඒවා පුරෝකථනය කළ හැකි ද?

"කණගාටුයි කියන්න, [එහෙම ක්‍රමයක්] නෑ," ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ්හි භූ කම්පන විද්‍යාඥ ආචාර්ය ස්ටීවන් හික්ස් පවසයි.

"අපිට කරන්න පුළුවන් දේ තමයි භූමිකම්පා ගැන අනාවැකි පළකරන එක. අපට සම්භාවිතාව කියන්න පුළුවන්. කැලිෆෝනියාව, එක්සත් ජනපදය සහ ජපානය වැනි [ප්‍රදේශවල] භූමිකම්පා පුරෝකථනය කරන එක සිද්ධ කරන්න පුළුවන් තත්ත්වෙකට එමින් තියෙන්නේ."

ඉතින් ආරක්ෂිතව සිටීමට ඔබට කළ හැකි මොනවා ද? ඔබ නොකළ යුත්තේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරියාවේ කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටින අසාස්හි භූමිකම්පාවකින් පසු, සිරියානු කුඩා දරුවෙකු වන රගාඩ් ඉස්මයිල් ගලවාගන්නෙකු විසින් ගොඩනැගිලි සුන්බුන්වලින් ඉවතට රැගෙන යයි

සූදානම්වන්න

භූමිකම්පාවක් ඇතිවන්නේ කවදාදැ යි පුරෝකථනය කිරීම පහසු නැතත්, විශේෂඥයින්ට අනුව, ඔබ සැමවිට ම සූදානම්ව සිටිය යුතු ය. පැහැදිලිව කිවහොත්, ඔබට 'භූමිකම්පා සැලැස්මක්' තිබිය යුතු ය.

"ඔබ ජීවත් වෙන්නේ [භූමිකම්පා විශාල ගණනක් සිදුවන] කලාපයක නම්, ඔබේ නිවසේ අත්‍යවශ්‍ය දෑ දැමූ මල්ලක් [emergency pack] තබාගන්න එක හොඳයි," ආචාර්ය හික්ස් පවසයි.

රතු කුරුස සංවිධානයට අනුව, එම කට්ටලයේ අමතර මුදල් සහ ඖෂධ ලැයිස්තුවක් වැනි වැදගත් පෞද්ගලික ලේඛනවල පිටපත් ද අඩංගු විය යුතු ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවාගැනීමේ කණ්ඩායම් තුර්කියේ මලටියාහි දිවි ගලවාගත් පිරිස් සොයමින් සිටිති

ඔබ සිටින ගොඩනැගිල්ල ආරක්ෂිත නම්, ඔබ සිටින ස්ථානයේ ම රැඳී සිටින්න

එක්සත් ජනපද රජයේ විද්‍යාත්මක ආයතනයක් වන එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනයට අනුව, ඔබ සිටින ස්ථානයේ රැඳී සිටියහොත් ඔබට හානියක්වීමට ඇති ඉඩකඩ අඩු ය. එම ආයතනය උපදෙස් දෙන්නේ, එබැවින් භූමිකම්පාවක දී පිටතට හෝ වෙනත් කාමරවලට දිවීමට උත්සාහ නොකරන ලෙස ය.

"දෑත් සහ දණහිස් බිම තබා පහත්වී සිටින්න (drop), එක් අතක් භාවිතකර ඔබගේ හිස සහ බෙල්ල ආවරණයකර ගෙන සමීපයේ ඇති මේසයක් හෝ එවැනි ආරක්‍ෂිත තැනක් යටට යන්න (cover) සහ භූමිකම්පාව අවසන් වන තුරු ඉවසීමෙන් ඉන්න (hold on)," යන්න ආරක්ෂිතව සිටීමේ ආදර්ශ පාඨය බව විශේෂඥයෝ පවසති. ඔබේ දෑත් සහ දණහිස් බිම තබා පහත්වී සිටීමෙන් ඉහළින් වැටෙන වස්තූන්ගෙන් ඔබ ආරක්ෂා වන අතර, අවශ්‍ය නම්, එය ඔබට කෙමෙන් වෙනත් තැනකට යාමට ඉඩ සලසයි. අසල වෙනත් ආරක්‍ෂිත ස්ථානයක් නොමැති නම්, මේසයක් යටට වී කම්පනය නතර වන තුරු රැඳී සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.

ආරක්ෂාව සලසා ගැනීම සඳහා මුලින් ම අනුගමනය කළ යුතු ක්‍රියාවලින් එකක් වන්නේ දොරකඩක් යට සිටීම ය. නමුත් විශේෂඥයින් පවසන්නේ, ඔබ සාපේක්ෂව පැරණි නිවසක ජීවත්වන්නේ නම් මේසයක් යටට වී සිටීම වඩා ත් ආරක්ෂිතව බව ය.

ගොඩනැගිල්ලක ඇති ජනෙල් සහ ඉදිරි කොටස් බොහෝවිට කඩා වැටෙන පළමු අංග වේ. එබැවින්, මෙම අනතුරුදායක කලාපවලින් ඈත්ව සිටින ලෙසට උපදෙස් දෙනු ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂඥයින් පවසන්නේ හානිය අවමකර ගැනීම සඳහා ඔබ සිටින ස්ථානයේම රැඳී සිටීම වඩා උචිත බව යි

ආරක්ෂාකාරීයැ යි හැඟේ නම් පිටතට යන්න

යම් හෙයකින් ඔබ සිටින ගොඩනැගිල්ල කඩා වැටෙනු ඇති නම්, කම්පනය නැවතුණු පසු එළිමහනට යාම සාමාන්‍යයෙන් ආරක්ෂිත වේ.

මේ සියල්ල ඔබ ඇතුළත සිරවී සිටින්නේ නම් පමණි. නමුත් ඔබ පිටත සිටින විට භූමිකම්පාවක් ඇති වුවහොත් කුමක් කළ යුතු ද?

"ඔබ ඉන්න තැනම ඉන්න," විශේෂඥයෝ පවසති. ගොඩනැගිලි, උපයෝගිතා (විදුලි හෝ දුරකතන) රැහැන්, ගිලා බැස ඇති ස්ථාන, ඉන්ධන සහ ගෑස් නළ මඟහැර සිටීම හානියක් සිදුවීමේ අවදානම අවම කරයි. එසේ ම ගස්, දුරකතන කණු සහ ගොඩනැගිලිවලින් බැහැරව විවෘත ප්‍රදේශයකට යාම වඩා ත් සුදුසු ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිසෙක් තුර්කියේ කහමරන්මාර්ෂ්හි හානිවූ ගොඩනැගිලි දෙස බලයි

අනතුරෙන් ඈත්ව සිටින්න

Earthquake Country Alliance සංවිධානයට අනුව, බොහෝ තුවාල හා මරණ සිදුවන්නේ රූපවාහිනී, ලාම්පු, වීදුරු සහ පොත් රාක්ක වැනි වස්තු ගැටීමෙන් හෝ ඉහළින් වැටීමෙනි. තුවාල වළක්වා ගැනීමට එක් ක්‍රමයක් නම් නම්‍යශීලී පටි යොදා බර වැඩි ගෘහභාණ්ඩ බිත්තිවලට තද කර සුරක්ෂිත කිරීම ය.

තවත් සිදු විය හැකි අනතුරක් වන්නේ, භූමිකම්පාවකින් පසු කැඩුණු නළවලින් ගෑස් කාන්දු වීම ය.

මිනිසුන් 3000කට වැඩි පිරිසක් මියගිය 1906 සැන් ෆ්‍රැන්සිස්කෝ භූමිකම්පාවේ උදාහරණ මඟින් ආචාර්ය හික්ස් මෙය පෙන්වා දෙයි.

"බොහෝ මරණ සිද්ධවෙලා තියෙන්නේ සෙලවීම නිසා [හෝ] ගොඩනැගිලි කඩා වැටීමට වඩා ගෑස් නළ මාර්ග පුපුරායාම නිසා," ඔහු පවසන්නේ ප්‍රදේශයේ ගිනි ඇවිළෙනසුළු ද්‍රව්‍යවලින් ඈත්ව සිටින ලෙස උපදෙස් දෙමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මුදාගැනීමේ කණ්ඩායම්, සිරියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින සර්මාදා නගරයේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සෝදිසි කරති

පෙරහුරුව

ආචාර්ය හික්ස් භූමිකම්පා අභ්‍යාසවල වැදගත්කම ද අවධාරණය කරයි.

"සමහර රටවල, කරන්න ඕනේ මොනවා ද කියලා උගන්නන, හැම කෙනා ම සහභාගී විය යුතු භූමිකම්පා අභ්‍යාස තියෙනවා. ඒත් මේ තරම් කාලයකින් භූමිකම්පාවක් සිද්ධ වෙලා නැති නිසා තුර්කියේ මේක සිද්ධවෙන්නේ නැතුව ඇති."

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිසුන්, සිරියාවේ ඇලෙප්පෝහි සුන්බුන්වලට යටවී දිවි ගලවාගත්තවුන් සොයමින්