සජීවී., ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල ප්‍රහාර

අද ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනන් සමාජ කටයුතු අමාත්‍ය හනීන් සයිඩ් ප්‍රකාශ කළේය. මේ අතර ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල එල්ල කිරීමක් වාර්තා වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසීය.

සාරාංශය

  • ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බවට ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්.
  • සෙනසුරාදා ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමෙන් පසු මේ දක්වා ඉරානයේ මියගිය සංඛ්‍යාව 787 දක්වා ඉහළ ගොස් ඇති බව රතු අඩසඳ සංගමය පවසයි.
  • ජාත්‍යන්තර වෙළෙඳපොළවල තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර කොටස් මිල පහත වැටී ඇත.
  • බේරූට්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය "නැවත දැනුම් දෙන තුරු වසා දැමේ."
  • ඉරානයට එල්ල කරන ලද ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් කියර් ස්ටාර්මර් සහ එක්සත් රාජධානියේ මුල් ප්‍රතිචාරයට ට්‍රම්ගෙන් විවේචන.
  • ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙන ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදු වෙමින් පවතී.
  • ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත නව ප්‍රහාර එල්ල කරයි
  • ගැටුම ආරම්භ වූ සෙනසුරාදා සිට මාර්තු 2 දක්වා අප ඔබ වෙත ගෙන ආ තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න...
  • "මහා පරිමාණ සටන් මෙහෙයුම්" අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් පවසයි.
  • හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සහ කරන ඕනෑ ම නෞකාවකට තම රට "ගිනි තබන" බවට ඉරාන නිලධාරියෙකුගෙන් අනතුරු ඇඟවීම්.
  • ටෙහෙරානයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියට හානි වී ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. ඉන්ධන නැව්ගත කිරීමේ පිරිවැය ඉහළම මට්ටමට: වෙළෙදපොලේ ඉන්ධන සහ ගෑස් මිල ඉහළට, ඔස්මන්ඩ් චියා ව්‍යාපාරික වාර්තාකරු

    LNG නෞකාවක්

    ඡායාරූප මූලාශ්‍රය, Getty

    ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ දත්ත වලට අනුව, මැදපෙරදිග සිට චීනයට තෙල් නැව්ගත කිරීම සඳහා ඉන්ධන ප්‍රවාහන නෞකාවක් කුලියට ගැනීමේ පිරිවැය ඩොලර් 400,000 (පවුම් 298,300) ඉක්මවූ ඉහළම අගයකට ළඟා වී තිබේ. එය මෙතෙක් වාර්තා වූ ඉහළ ම මිල වනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පහර දෙන බවට තර්ජනය කළ පසුගිය සතියේ පැවති මිලට වඩා මෙන් එය අද වන විට දෙගුණයක් වී තිබෙනවා.

    ගෝලීය තෙල් හා ගෑස් අවශ්‍යතා වලින් පහෙන් එකක් පමණ නැව්ගත කරනු ලබන ඉරානයේ දකුණ දෙසින් පිහිටි තීරණාත්මක ජල තීරයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් ඉරානය ඉලක්ක කර තිබෙනවා.

    වාර්තාගත ගාස්තු වන්නේ බොරතෙල් බැරල් මිලියන දෙකක් දක්වා ප්‍රවාහනය කළ හැකි විශාලතම තෙල් රැගෙන යන නෞකා සඳහායි.

    මැදපෙරදිග ගැටුම් හේතුවන් ඉන්ධන නිෂ්පාදන සැපයුම් සීමා කිරීමට ඉඩ ඇති නිසා ජාත්‍යන්තර වෙළෙදපොලේ බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.

    බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 79.25ක් (පවුම් 59.11) ලෙසයි.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සති අන්තයේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට ගෝලීය වශයෙන් තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

    ලොව විශාලතම ගෑස් අපනයනකරුවන කටාර් LNG සමාගම සිය ගෑස් පහසුකම්වලට එල්ල වූ "හමුදා ප්‍රහාරවලින්" පසුව ගෑස් නිෂ්පාදනය නැවැත්වීමෙන් පසු සඳුදා (මාර්තු 2) වැනි දා සිට ස්වාභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

  2. රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්, ඉක්මනින් ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් කියයි

    මූලික තොරතුරුවලට අනුව, රියාද්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල කළ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

    සෞදි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ X පණිවිඩයක ඩ්‍රෝන ප්‍රහාරයෙන් "සීමිත ගින්නක් සහ ගොඩනැගිල්ලට සුළු හානියක්" සිදුව ඇති බව සඳහන්.

    සෞදි අරාබියේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම ජෙඩා, රියාද් සහ ධහාරාන්හි වෙසෙන ඇමෙරිකානු ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස නිවේදනයක් නිකුත් කර ඇති අතර කලාපයේ පිහිටි ඕනෑ ම හමුදා කඳවුරු පිහිටි ස්ථාන වෙත ගමන් නොකරන ලෙසට ද උපදෙස් නිකුත් කර තිබෙනවා.

    මේ අතර, රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ගැටුම්වලදී සිදුවූ හමුදා සාමාජිකයින්ගේ මරණවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය "ඉක්මනින්" ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්ස්නේෂන් වෙත කියා සිටිනවා.

    මේ වන විට ඇමෙරිකානු හමුදා සාමාජිකයින් හය දෙනෙකු ඉරාන ගැටුම්වලදී මිය ගොස් ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජනපදය සඳුදා )මාර්තු 2) රාත්‍රියේ පැවසුවා.

  3. ආයුබෝවන්, සුබ උදෑසනක්!

    පෙබරවාරි මස 28 වන දා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ප්‍රධාන පෙළේ හමුදා සහ පරිපාලන නායකයින් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.

    ඉන් පසුව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේ, එහිදී ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අද (මාර්තු 3) සිව්වන දිනටත් ඉරානයට එරෙහිව ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

    සිය උත්තරීතර නායක අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඉරානය ද සිය අසල්වැසි මැදපෙරදිග කලාපයේ පිහිටි රටවල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු සහ තානාපති කාර්යාල ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

    ඉරානයට සහය පළකිරීමක් වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳුදා (මාර්තු 2) අලුයම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය බේරූට් අගනුවර ඇතුළු ලෙබනනයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    මෙම ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපොළේ ඉන්ධන සහ ගෑස් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉදිරි පැය 48 කාලය තුළ කලාපයේ වර්ධනය වන තත්ත්වයන් පිළිබඳ තොරතුරු මෙම සජීව වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බීබීසී සිංහල සූදානමින්.

    රැඳී සිටින්න අප සමගින්...