සචින් තෙන්ඩුල්කාර් මේ දැරිය ඉන්ටර්නෙට් ඔස්සේ ක්‍රිකට් තරුවක් කළේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Anshul Verma

ඡායාරූප ශීර්ෂ වැකිය, සුශිලා මීනා ඇගේ වේගවත් පන්දු යැවීම නිසා ජනප්‍රිය වී ඇත
    • Author, අනගා පතාක් සහ මොහාර් සිං මීනා
    • Role, බීබීසි හින්දි - රාජස්ථාන්
  • කියවීමේ කාලය: මිනිත්තු 6

උතුරු ඉන්දියාවේ රාජස්ථාන්හි කුඩා ගම්මානයක වෙසෙන දස හැවිරිදි සුශිලා මීනාට තිබුණේ මහජන ඇසෙන් ඈත් වූ සාමාන්‍ය ජීවිතයකි.

නමුත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විසින්, ඇය ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලැබීමක් සමග සියල්ල වෙනස් වී තිබේ.

ඇගේ පන්දු යැවීමේ ඉරියව්ව පසසමින් ඔහු කියා සිටියේ, ඇය තුළින්, නිරවද්‍යතාව, පන්දුව දෝලනය කිරීම, පන්දු යැවීමේ විවිධත්වය සහ සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව් සඳහා ප්‍රසිද්ධ හිටපු ඉන්දීය පන්දු යවන්නෙකු වන සහීර් ඛාන්ගේ ඉරියව්වල සේයාවන් දක්නට ලැබෙන බව ය.

වීඩියෝව ක්ෂණිකව ජනප්‍රිය වූ අතර එය මේ වන විට මිලියන ගණනක් නරඹා, දස දහස් ගණනක් මිනිසුන් අතර සංසරණය වී තිබේ. මෙහි ඇති උත්ප්‍රාසාත්මක දෙය වන්නේ, මෙම දැරිය, තමන්ට මේසා විශාල ප්‍රසිද්ධියක් අත්කර දුන් ක්‍රිකට් ක්‍රීඩකයා කවුදැයි යන්න නොදැන සිටීම ය.

"මම දන්නේ නැහැ සචින් තෙන්ඩුල්කාර් කවුද කියලා," යි සුශිලා පවසයි. ඇගේ පවුලට රූපවාහිනියක් නොමැති අතර ඇය කිසි විටෙකත් ක්‍රිකට් තරග නරඹා නැත.

කෙසේ වෙතත්, ඇය ඔහුට කෘතඥ වේ.

දිළිඳු, ගෝත්‍රික පවුලකට අයත් සුශිලා, මේ වන විට ඇයව හමුවන සෑම කෙනෙකුගේ ම පිළිගැනීමට හා අගැයීමට ලක්වෙමින් සිටින්නී ය. දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරිකයන්ට පමණක් නොවේ, ඇගේ දූරස්ථ ඥාතීන්ට පවා දැන් ඇය සමග පින්තූර සඳහා පෙනී සිටීමට අවශ්‍ය ය.

ඇයට ලැබී ඇති මෙම නව තත්ත්වය විස්තර කරන්නේ කෙසේ දැයි සුශිලා දන්නේ නැත, මේ නව ජනප්‍රියත්වය නිසා තවමත් වික්ෂිප්තව සිටින ඇය, හුදෙක් සිනාසෙමින් ඡායාරූප සඳහා පෙනී සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තෙන්ඩුල්කාර් (වමේ) පැවසුවේ සුෂිලාගේ පන්දු යැවීමේ ඉරියව්වල ඔහුගේ හිටපු ක්‍රිකට් සගයෙකු වන සහීර් ඛාන්ගේ ඉරියව්වල "සේයාවන්" ඇති බව ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් තම පාසල් නිල ඇඳුම හැඳ, රබර් බෝලයක් අතැතිව පිටියට පා තැබූ විගස, මේ ලැජ්ජාශීලී ගැහැණු ළමයා නිර්භය, ශක්තිමත් හා දැඩි අවධානයෙන් යුතු කෙනෙකු බවට පත්වේ.

"පන්දුව අතට ගත්තට පස්සේ මගේ හිතට එන්නේ පිතිකරුවා අවුට් කරන එක විතරයි" යි ඇය පවසයි.

බොහෝ විට පිතිකාරියක් ලෙස අනික් පසින් සිටින ඇගේ පංතියේ මිතුරියක වන ආශා, සුශීලාගේ පන්දුවලට පහරදීම 'අසීරු" යැයි පවසයි.

"එයාගේ බෝල හිතාගන්න බැරි විදිහට කැපෙන්නේ.. එක පාරට ම ඇවිල්ලා විකට් එකේ වදිනවා," ඇය පවසයි.

සුෂිලාගේ මව ශාන්තිබායි, තම දියණිය ලබා ඇති ජයග්‍රහණය ගැන ආඩම්බර වේ.

ඇය පවසන්නේ බොහෝ දෙනෙක් දැන් ඇයව මුණගැසීමට උනන්දු වුවත්, ඇයට සහය දීමට නම් එතරම් පිරිසක් නොසිටි බව ය.

තම දියණියට ගෙදර දොරේ වැඩ කටයුතු වෙනුවට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇතැම් අය ඇගේ මවුපියන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල එවැනි අදහස් බහුල ය. ගැහැණු ළමයින් නිවසේ රැඳී සිටීම බොහෝ විට අපේක්ෂා කෙරෙන අතර සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන්ගෙන් පිටත ක්‍රීඩා හෝ වෙනත් කටයුතු කිරීම අධෛර්යමත් කෙරේ.

"මම ඔවුන්ට කිසිවක් කියන්නේ නැහැ. ඔවුන් කියන දේට ඇහුම්කන් දෙන්නෙත් නැහැ"යි ශාන්තිබායි පවසයි.

"මම කවදාවත් එයා ක්‍රිකට් ගහන එක නවත්තන්නේ නෑ."

සුශිලාගේ පාසලේ සියල්ලන්ම ක්‍රිකට් ක්‍රීඩා කරන අතර එහි ගෞරවය හිමිවන්නේ ඔවුන්ගේ ගුරුවරයා වන ඊශ්වරලාල් මීනාට ය.

"2017 දී මම පාසලට සම්බන්ධ වුණාට පස්සේ තමයි සිසුන්ව ක්‍රිකට් ක්‍රීඩාවට දිරිමත් කරන්න පටන් ගත්තේ" යි ඔහු පවසයි. "ඒ අයට පාසල ප්‍රිය තැනක් කරන්න විනෝදජනක ක්‍රියාකාරකමක් ඕන වුණා. නැත්නම් එගොල්ලෝ ගෙවල්වලට වෙලා ම ඉන්න තිබ්බා."

මුලදී, ඔහු සහ අනෙකුත් ගුරුවරුන් කණ්ඩායම් පිහිටුවා සිසුන් සමඟ ක්‍රීඩා කළ බව පවසන මීනා , ඉතා ඉක්මනින්ම සියල්ලන්ටම එයට එකතු වීමට අවශ්‍ය වූ බවත් පවසයි.

ඔවුන්ගේ පුහුණුකරුගේ භූමිකාව භාරගෙන ඇතත්, මීනාට විධිමත් ක්‍රිකට් පුහුණුවක් නැත. ඔහු යූ ටියුබ් වීඩියෝ නරඹමින්, තමාද ඉගෙන ගනිමින් සිසුන්ට නව ශිල්පීය ක්‍රම උගන්වා තිබේ.

ඔහුට ප්‍රමාණවත් පරිදි සිසුන් එකතු වූ පසු, මීනා ඔවුන්ගේ ක්‍රිකට් දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා සමාජ මාධ්‍ය ගිණුමක් නිර්මාණය කළේ ය. කෙමෙන් කෙමෙන් ඔහුගේ වීඩියෝවලට ලැබෙන ප්‍රතිචාර වැඩි විය. සමහරු ක්‍රිකට් ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම පවා ඔවුන් සමඟ බෙදාගත් හ.

ඡායාරූප මූලාශ්‍රය, Anshul Verma

ඡායාරූප ශීර්ෂ වැකිය, තම දියණියට ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කරන ලෙස කිසිදා නොකියන බව සුශිලාගේ මව ශාන්තිබායි පවසයි

අන්තර්ජාලය හරහා ජනප්‍රිය වූ මේ පාසලේ පළමු ශිෂ්‍යාව සුශිලා නොවේ.

පසුගිය වසරේදී, රේණුකා පර්ගි නම් තවත් සිසුවියක් ඇගේ පිතිකරණ දක්ෂතා නිසා ජනප්‍රිය විය. ඇය මේ වන විට රාජස්ථාන් ප්‍රාන්තයේ අගනුවර වන ජායිපූර් හි පෞද්ගලික ක්‍රිකට් ඇකඩමියකට ඇතුළත් වී සිටී.

නමුත් මෙම පාසලේ සිසුන්ට සමාජ මාධ්‍යය අවධානයට වඩා වැඩි යමක් අවශ්‍ය ය.

සුශිලාගේ ගමත්, පාසලත් තවමත් පවතින්නේ අන්ත දිළිඳු තත්ත්වයේ ය.

"එක එක අය එනවා. ඒ අය ලොකු පොරොන්දු දෙනවා, ඒත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ," යි මීනා පවසයි.

මෙම පාසලේ අධ්‍යාපනය ලබා දෙන්නේ ප්‍රථමික මට්ටම දක්වා පමණක් බවත් ඔහු පවසයි.

"එගොල්ලෝ පහේ පන්තිය පහු කළාම ක්‍රිකට් නතර වෙනවා, ඉන්පස්සේ ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ"යි ඔහු පෙන්වා දෙයි.

ගමට සහ එහි සිසුන්ට වඩා හොඳ පහසුකම් ලබා දීම සඳහා කළ හැකි දේ ඔවුන් සොයා බලන බව පළාත් පාලන නිලධාරීන් පවසා ඇත. එමෙන්ම, පාසලේ ක්‍රිකට් පිටිය පුළුල් කිරීම සඳහා යම් ඉඩමක් ලබා දිය හැකිදැයි සොයා බැලීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් කිහිප දෙනෙකු ද යවා තිබේ.

එහෙත් මේ දක්වාම කිසිවක් සිදු වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, Anshul Verma

ඡායාරූප ශීර්ෂ වැකිය, සුශිලාගේ ගුරුවරයා වන මීනා මහතා පවසන්නේ පාසල ඔවුන්ට ප්‍රිය තැනක් කිරීම සඳහා ක්‍රිකට් ආරම්භ කළ බවයි

මේ අතර සුශිලාගේ නිවස තෑගි වලින් පිරී ඉතිරී ගොස් තිබේ. ඇය පන්දු යවන්නියක් වුවත්, ඇයට බොහෝ සෙයින් තෑගි ලැබී ඇත්තේ ක්‍රිකට් බැට් ය.

ඇගේ ගුරුවරයා පවසන්නේ තවමත් කිසිවෙකු ඇයට නියම ආකාරයේ ක්‍රිකට් බෝලයක් ලබා දී නොමැති බවයි. නියම ක්‍රිකට් පන්දුවලින් ක්‍රීඩා කිරීම, සුශිලා දැනට පුහුණු වන රබර් බෝලයට වඩා දුෂ්කර වන අතර ක්‍රීඩාව ඉහළ මට්ටමින් පුහුණු වීම සඳහා ඒවා අත්‍යවශ්‍ය වේ.

මෙතරම් පිති ප්‍රමාණයකින් කුමක් කරන්නේදැයි ඇගෙන් විමසූ විට, සුශිලා ලැජ්ජා සහගතව පවසන්නේ ඇය "ඒවා භාවිතා කිරීමට උත්සාහ කරන" බවයි.

මේ අතර, ගම්වැසියන් අසන එක් ප්‍රධාන ප්‍රශ්නයක් තිබේ. ඒ සුශිලාට එක්වරම ලැබුණු මේ සුවිශාල කීර්තිය, ඇයට ලැබෙන මේ තෑගි මෙන්ම බොහෝ අවධානයක් සහ උද්යෝගයක් ඇති කළත්, අවසානයේ ඇගේ ජීවිතයට සැබෑ වෙනසක් සිදු නොකර අවසන් වේද යන්නයි.