දිට්වා: ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.1ක හානි. මහනුවරට පමණක් ඩොලර් මිලියන 689ක හානියක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ඍජු භෞතික හානියක් සිදු කර ඇති බව අද (දෙසැ. 22) නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ GRADE වාර්තාව මගින් ඇස්තමේන්තු කර ඇත.

මෙම හානිය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට පමණ සමාන වේ.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ඇති වූ දරුණුතම හා විනාශකාරී ම සුළි කුණාටුව වන මෙම සුළි කුණාටුව, දිස්ත්‍රික්ක 25 පුරා ම මිලියන 2කට ආසන්න ජනතාවකට සහ පවුල් 500,000කට ආසන්න සංඛ්‍යාවකට දැඩි ලෙස බලපෑ අතර, ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේවා සහ පුළුල් ආර්ථිකයට බාධා ඇති කළ බව ලෝක බැංකුව මෙම ඇස්තමේන්තුව මගින් සඳහන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සුළි කුණාටුව, දිස්ත්‍රික්ක 25 පුරා ම මිලියන 2කට ආසන්න ජනතාවකට සහ පවුල් 500,000කට ආසන්න සංඛ්‍යාවකට දැඩි ලෙස බලපෑ බව ලෝක බැංකු සමූහය කියයි

ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ඍජු හානිය බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සැලකිය යුතු කම්පනයක් ඇති කර ඇතැයි ලෝක බැංකු සමූහය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

මහනුවර දිස්ත්‍රික්කයට ඩොලර් මිලියන 689ක හානියක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහනුවර දිස්ත්‍රික්කයට සිදුවූ හානිය ඩොලර් මිලියන 689ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ

ඉන් මධ්‍යම පළාතට වැඩි ම බලපෑම් එල්ල වී ඇතැයි වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ හානිය ඩොලර් මිලියන 689ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ප්‍රධාන වශයෙන් හානි සිදුව ඇත්තේ ගංවතුරෙනි.

හදිසි ප්‍රතිචාර දැක්වීම, ප්‍රතිසාධන සැලසුම් කිරීම සහ දිගුකාලීන ආපදා අවදානම් අවම කිරීමේ උත්සහයන් සඳහා මග පෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා GRADE වාර්තාව කාලෝචිත හා තීරණාත්මක අවබෝධයක් සපයනු ඇතැයි ලෝක බැංකු සමූහය නිවේදනය කළේ ය.

මෙම තක්සේරුව ලෝක බැංකුවේ වේගවත්, දූරස්ථ, ආකෘති පාදක GRADE ක්‍රමවේදය භාවිත කරන අතර එය භෞතික වත්කම්වලට සිදුවූ ඍජු ආර්ථික හානිය ඇස්තමේන්තු කරයි.

ආදායමට හෝ නිෂ්පාදනයට අදාළ පාඩු හෝ ප්‍රතිසංස්කරණයේ හෝ යළි ඉදිකිරීම්වල සම්පූර්ණ පිරිවැය වාර්තාවට ඇතුළත් නොවන බව ලෝක බැංකු සමූහය වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සැපයුම් ජාල ඇතුළු යටිතල පහසුකම්වලට සිදුව ඇති ඇස්තමේන්තුගත හානිය ඩොලර් බිලියන 1.735 (මුළු හානිවලින් සියයට 42) කි.