'ත්‍රිකුණාමලය වෙරළ තීරයේ විහාරයක අනවසර ඉදිකිරීම්': බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස ඇප මත මුදා හැරේ

බලංගොඩ කස්සප හිමි

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Balangoda Kassapa Thero

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදු කිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනා ඇප මත මුදා හැරීමට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරූෆ් බදාදා (පෙබරවාරි 11) නියෝග කළේ ය.

රු. 10,000ක මුදල් ඇපයක් හා රු. මිලියනයක පුද්ගල ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරි අතර, නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියම කෙරිණි.

මෙම නඩුව සඳුදා (පෙබරවාරි 9) ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් ඉදිරියේ විභාගයට ගත් අතර, එය එදින ම මහාධිකරණයේ ද විභාගයට ගැනීමට නියමිතව තිබූ බැවින් මහේස්ත්‍රාත්වරයා නඩුව විභාගයට ගැනීම පසුවට කල් තැබීය.

පසුව සැකකරුවන් දහ දෙනාට ඇප ලබා දීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරූෆ් ඉදිරියේදී විභාගයට ගැනිණි.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම්පත් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලණ කොතලාවල ඉල්ලා සිටියේ, ඇප ලබා දීමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට දිනයක් නියම කරන ලෙස ය.

ඒ අනුව, විනිසුරුවරයා ඒ සඳහා අවස්ථාව සලසා දෙමින් මෙම නඩුව ලබන 11 දක්වා කල් තැබීම සිදු කළේ ය.

අනතුරුව නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර, එහිදී ද එය ලබන 11 දින දක්වා කල් තැබුණු අතර සැකකරුවන් එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

'ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ'

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදු කිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු මුල් වරට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ජනවාරි 14 වන දා ය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරයා එදින දැනුම් දුන්නේ, වෙරළාරක්ෂක ආඥා පනත යටතේ ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති අතර ඇප ලබා දීමට බලය ඇත්තේ මහාධිකරණයට පමණක් බව ය.

අනතුරුව අවස්ථා කිහිපයකදී මෙම නඩුව කැඳවූ අතර එම අවස්ථාවලදී ද සැකකරුවන් යළි බන්ධනාගාරගත කෙරිණි.

අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළහ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සඳහන් කළේ, මෙම තීන්දුව පිටු විස්සකින් සමන්විත බවයි.

අදාළ නඩු තීන්දුවේ තෝරා ගත් කොටස් කිහිපයක් පමණක් විවෘත අධිකරණයේ කියැවූ සභාපති විනිසුරුවරයා මෙම තීන්දුව සකස් කිරීම සඳහා තමන් උපරිමාධිකරණ නඩු තීන්දු දෙකක් පාදක කරගත් බව සඳහන් කළේ ය.

එම තීන්දුවලට අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප අධිකරණමය ක්‍රියාමාර්ග තිබියදී පෙත්සම්කරුවන්ට මෙවැනි සහන අපේක්ෂා කළ නොහැකි බව විනිසුරුවරයා පැවසුවේ ය.

විත්තිකරුවන්ට එල්ල වන චෝදනාව කුමක් ද?

වෙරළ ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් 2025 වසරේ නොවැම්බර් මාසයේදී වෙරළ තීරයේ ව්‍යුහයක් ඉදිකර පිළිමයක් තැබීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

විත්තිකරුවන් කවුද?

ත්‍රිකුණාමලය කොටුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, සම්බුද්ධ ජයන්ති විහා­රා­ධි­පති මිහි­ඳු­පුරේ කල්‍යා­ණ­වංශ තිස්ස හිමි, පූජ්‍ය සුකිත්ත වංශ හිමි, සිරිමාපුර විහාරයේ පූජ්‍ය නන්ද හිමි මෙන් ම කොටුව විහාරයේ විධායක කමිටු සාමාජිකයින් වන දීපානි ලියනගේ, විදුරංග ලොකු ගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියලාල් ප්‍රේමසිරි සහ තේකුම් දුලාර යන පිරිස විත්තිකරුවන් ලෙස නම් කර ඇත.