රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටි BTS තරු දෙකක් අනිවාර්ය මිලිටරි සේවය අවසන් කරති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ මාසයේදී BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනා ම මිලිටරි සේවය අවසන් කිරීමට නියමිත ය
    • Author, කෙලී නැග්
    • Role, බීබීසී
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ජනප්‍රිය K-pop සංගීත කණ්ඩායමක් වන BTSහි සාමාජිකයින් දෙදෙනෙකු ඔවුන්ගේ අනිවාර්ය හමුදා සේවය නිල වශයෙන් සම්පූර්ණ කර ඇති අතර, ඔවුන් දීර්ඝ කාලයකට පසු යළි පැමිණීම පිළිබඳව රසිකයන් අතර උද්යෝගයක් සහ අපේක්ෂාවක් ඇති කර තිබේ.

අඟහරුවාදා (ජූනි 10) සේවය අවසන් කර පැමිණීමෙන් පසුව RM සහ V යන එම කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනා සැක්සෆෝන වාදනයකින් සහ ආචාර කරමින් රසිකයන්ට ප්‍රතිචාර දැක්වූහ. BTS පුනරාගමනය සඳහා "තව පොඩි කාලයක් රැඳී ඉන්න," යැයි V රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම මාසය අවසන් වන විට BTS කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනා ම ඔවුන්ගේ මිලිටරි සේවාව අවසන් කිරීමට නියමිත අතර, ඔවුන්ගේ ඒජන්සිය වන Hybe පුනරාගමනයක් සම්බන්ධයෙන් ඉඟි කර තිබේ. ඔවුන් ගෝලීයව අතිශය ජනප්‍රිය තලයක සිටි 2022 වසරේදී ඔවුහු විරාමයක් ලබා ගත්හ.

අඟහරුවාදා RM සහ Vගේ නැවත පැමිණීම දැකීමට, වෙනත් රටවල්වල සිට පැමිණි රසියකන් ඇතුළු රසිකයන් සිය ගණනක් මධ්‍යම සෝල්හි පිහිටි Hybe ප්‍රධාන කාර්යාලය අසල රැස්වී සිටියහ.

රසික පිරිසෙන් බහුතරයක් BTS කණ්ඩායමේ සංකේතාත්මක වර්ණය වන දම් පැහැයෙන් සැරසී සිටි අතර, මෙම K-pop සාමාජිකයන් දෙදෙනාගේ රුව සහිත විශාල බැනර් සහ ඡායාරූප අතින් ගෙන සිටියහ. දකුණු කොරියාව, එහි උතුරට [උතුරු කොරියාවට] එරෙහිව සටනකට සූදානම් වීම සඳහා, වයස අවුරුදු 18 ත් 28 ත් අතර සියලු ම ශාරීරික දුබලතා නැති පිරිමින් වසර දෙකක් පමණ අනිවාර්ය මිලිටරි සේවයේ යෙදිය යුතු ය.

අඟහරුවාදා, Hybe ඒජන්සියේ ගොඩනැගිල්ලේ "We are back" යනුවෙන් සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කළ අතර, එහි BTS සහ Adorable Representative MC for Youth [BTS රසිකයන් හඳුන්වන නමක්] යන්නෙහි කෙටි යෙදුම වන ARMY හි නිල ලාංඡන එහි ඇතුළත් විය.

"මේක විශ්වාස කරන්නත් බෑ. සෝල්වලට ඇවිල්ලා, BTS හැදී වැඩුණු, සින්දු කියන්න සහ නටන්න පුරුදු වුණ තැන බලන එක. ඒක නියමයි," යැයි එක්සත් රාජධානියේ සිට පැමිණ සිටි ජාන්යා කොරියා හෙරල්ඩ් පුවත්පතට පැවසුවා ය.

"මට කියන්න ඕනේ RM සහ Vට ඔයාලා දෙන්නා දකින එක ලොකු ආස්වාදයක්, සහ මම ඔයාලට ගොඩක් ආදරෙයි!" 28 හැවිරිදි ඇය පැවසුවා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඔයාලා නැතිව ලොකු කාලයක් ගත වුණා, ඔයාලා අපහු ආව එකට මට ගොඩක් සතුටු යි, වගේ ම අන්තිමේදී ඔයාලාට කැමති ඕනෙ ම දෙයක් කරන්න පුළුවන් නිදහසක් ඔයාලාට ලැබිලා තියෙනවා," ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි අයිවරි පැවසුවා ය.

ලන්ඩනයේ ජීවත් වන හැනා චං AFP ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, ඇය මෙම ගමන සැලසුම් කළේ වසර දෙකකට පෙර බව ය. "මම දැනගෙන හිටිය එතකොට මේ සාමාජිකයෝ එළියට එන කාලය කියලා."

සිකුරාදා [ජූනි 13] පැවැත්වෙන සංගීත කණ්ඩායමේ ආරම්භය සැමරීමේ උත්සවය වන වාර්ෂිකව පැවැත්වෙන BTS Festaහිදී සංගීත කණ්ඩායම දැකීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ඇය අපේක්ෂා කරයි.

මීට පෙර චුන්චොන්හිදී ඔවුන් රාජකාරි අවසන් කිරීමේදී, ඔවුන්ගේ ජාතික වගකීම් සම්පූර්ණ කරන තෙක් බලා සිටීම ගැන RM රසිකයින්ට ස්තුති කළේ ය.

දැන් මම ආපහු BTS කණ්ඩායමේ RM විදිහට එන්න ලෑස්තියි. අපි වෙනුවෙන් බලාගෙන හිටපු, රැඳී හිටපු හැම කෙනෙක්ට ම ස්තුතියි," ඔහු පැවසුවේ ය. මිලිටරි සේවයේ යෙදී සිටි කාලය "ශාරීරිකව සහ මානසිකව නැවත හැඩගැසීමට කාලයක්" වූ බව V පැවසීය.

"මට ඉක්මනට ම ARMY [BTS රසික කණ්ඩායම] එක පටන් ගන්න ඕනේ. අපේ මිලිටරි සේවය අතරතුර අපි වෙනුවෙන් බලාගෙන හිටපු ඔයාලාට ස්තූතියි," ඔහු පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, BTS කණ්ඩායමේ සාමාජිකයින් අනිවාර්ය හමුදා සේවය සම්පූර්ණ කරන බැවින්, සැමරුම්වලට එක්වීමට BTS රසිකයන් විශාල පිරිසක් වෙනත් රටවල්වල ද සිට පැමිණ තිබිණි.

BTS 2013 වසරේදී හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ආරම්භ වූ නමුත්, 2017 දී ගෝලීය වේදිකාවක වැඩි ප්‍රමාණයක් කොරියානු භාෂාවෙන් ඉදිරිපත් කළ ඔවුන්ගේ පොප්, හිප්-හොප් සහ R&B සම්මිශ්‍රණයක් සහිත වූ පෙරළිකාර ඇමෙරිකානු සංචාරය තෙක් සාර්ථක නොවී ය.

එතැන් සිට ඔවුන් Spotify හි වැඩි වශයෙන් සවන්දුන් කණ්ඩායම බවට පත්ව ඇති අතර, එක්සත් ජනපද iTunes ලැයිස්තුවේ සහ Billboard ලැයිස්තු කිහිපයක ම ඉහළින් ම සිටින පළමු K-pop සංගීත කණ්ඩායම වන අතර ඔවුන් ඉතිහාසයේ වැඩි ම සම්මාන ලබා ඇති කණ්ඩායම්වලින් එකකි.

මෙම කණ්ඩායමේ නම "වෙඩි නොවදින පිරිමි ඔත්තුකරුවෝ" යන අර්ථය කියවෙන කෙටි යෙදුමකි.

යුනිසෙෆ් සමග මානසික සෞඛ්‍ය වැඩසටහනක් ඇතුළුව තරුණ ගැටලු සම්බන්ධයෙන් BTS ක්‍රියාකාරීව පෙනී සිට තිබේ.

ඔවුන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අතර ආසියානු විරෝධී වෛරී අපරාධ වැඩිවීම පිළිබඳව සාකච්ඡා කිරීමට හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් ද හමුවූහ.

2020 දී දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ අනිවාර්ය හමුදා සේවය වයස අවුරුදු 30 දක්වා කල් දැමීමට ඉඩ සලසන පනතක් සම්මත කිරීමෙන් පසු BTS කණ්ඩායම මීට පෙර එක් වරක් එය කල් දමා තිබිණි.

2022 දී කණ්ඩායමේ වැඩිමහල් ම සාමාජිකයා වන ජින් මිලිටරි සේවයට ඇතුළත් වූ අතර අනෙක් සාමාජිකයෝ ද එය අනුගමනය කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරුවාදා RM සහ Vගේ නැවත පැමිණීම දැකීමට, වෙනත් රටවල්වල සිට පැමිණි රසියකන් ඇතුළු රසිකයන් සිය ගණනක් මධ්‍යම සෝල්හි පිහිටි Hybe ප්‍රධාන කාර්යාලය අසල රැස්වී සිටියහ.