ඩොනල්ඩ් ට්‍රම්ප්: දිවි ගමන ඡායාරූපවලින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 8

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් 1946 ජූනි 14 වන දා නිව් යෝර්ක් ක්වීන්ස්හිදී උපත ලැබීය.

දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලේ සිව් වැන්නා ඔහු ය. ඔහුට ෆ්‍රෙඩ් (කනිෂ්ඨ) සහ රොබර්ට් නමින් සහෝදරයින් දෙදෙනෙක් ද මාරියාන් සහ එලිසබෙත් නමින් සහෝදරියන් දෙදෙනෙක් ද වූහ. ජීවතුන් අතර සිටින ඔහුගේ එක ම සහෝදරිය එලිසබෙත් පමණි.

ඔහුගේ පියා වූ ෆ්‍රෙඩ් නිව් යෝර්ක්හි සාර්ථක ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන ගියේ ය. 1968 වසරේදී ඔහු සිය පියාගේ ව්‍යාපාරයට සම්බන්ධ වුව ද, මද කලකින් මැන්හැට්න්හි තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, New York Daily News Archive/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පියා වන ෆ්‍රෙඩ් සමග නිව් යෝර්ක්හිදී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් 1987දී මෑන්හැටන් හි පිහිටි ඔහුගේ ට්‍රම්ප් ප්ලාසා කාර්යාලයේදී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් ජර්සිහි අත්ලාන්තික් සිටිහි ටජ් මහල් කැසිනෝ ශාලාව විවෘත කරමින්...

ඔහු අත්ලාන්තික් සිටි, චිකාගෝ සහ ලාස් වේගාස් ආදී නගරවල සිට ඉන්දියාව, තුර්කිය සහ පිලිපීනය දක්වා කැසිනෝ, මහල් නිවාස සංකීර්ණ, ගොල්ෆ් පිටි සහ හෝටල් පවත්වාගෙන ගියේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආකර්ෂණීය විලාසය ඔහුට නිව් යෝර්ක්හි ව්‍යාපාරික ලෝකයේ කැපී පෙනීමට සහ The Apprentice රූපවාහිනී වැඩසටහන තුළින් විනෝදාස්වාද ලෝකයේ තරුවක් බවට පත්වීමට උපකාරී විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප්, රතු කමිසයකින් සහ සුදු කබායකින් සැරසී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක් නුවරට ඉහළින් සිය හෙලිකොප්ටරයෙන් පියාසර කරන අතරතුර පුවත්පතක් කියවන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප්, පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් (ජූනියර්) සහ දියණිය ඉවන්කා ට්‍රම්ප් සමග

ඩොනල්ඩ් ට්‍රම්ප් තෙවරක් විවාහ වී ඇති අතර දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔහු 1977දී පළමු වරට විවාහ වූයේ, ඉවන්කා සෙල්නිකෝවා සමග ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් සහ ඉවානා ට්‍රම්ප් සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් සහ මෙලානියා ට්‍රම්ප් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි 2005 වැනිටි ෆෙයාර් ඔස්කාර් සාදයේදී

ට්‍රම්ප් 2005 වසරේදී තෙවන වරට විවාහ වූයේ, මෙලානියා නෝස් සමග ය. ඔවුන් දෙදෙනා වසර 7කට පෙර හමුවන විට ඔහු 52 වන වියේ පසු වූ අතර ඇය 28 වන වියේ පසු විය.

2015 වසරේදී ඔහු සිය දේශපාලන දිවිය ආරම්භ කළේ, ට්‍රම්ප් කුලුනෙහි පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිරයට තරග කරන බව නිවේදනය කරමිනි. ඔහුගේ ආදර්ශ පාඨය වන්නේ, "ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම" ය.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් නිව් යෝර්ක්හි ට්‍රම්ප් ටවර්හිදී අදහස් දක්වමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක්හි මැතිවරණ රැලියක පිළිගැනීමේ කතාව අතරතුර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විවාදයක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් අත්පොලසන් දෙමින් සිටින අතර හිලරි ක්ලින්ටන් වේදිකාවෙන් බැස යයි

මතභේදාත්මක අසීරු මැතිවරණ ව්‍යාපාරයකින් පසු, ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජය කරමින්, 2017 වසරේදී ඇමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් ඩීසීහි පදවිප්‍රාප්ති උළෙල සඳහා පැමිණි අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් ධවල මන්දිරයේ ඕවල් කාර්යාල මේසයේ කැමරා සහ රූපවාහිනී කාර්ය මණ්ඩලය ඉදිරිපිට වාඩිවී සිටින අයුරු

ඔහු ජනාධිපති ධූරය දැරූ කාලය ඇමෙරිකාවේ මිත්‍ර රටවලට අවිනිශ්චිත කාලයක් වූ අතර බොහෝවිට විදේශීය නායකයින් සමග විවෘත ගැටුම් ඇති විය. ඔහු දේශගුණ සහ වෙළෙඳ ගිවිසුම් කිහිපයකින් ඉවත් වූ අතර, චීනයට එරෙහිව වෙළෙඳ යුද්ධයක් ආරම්භ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එවකට ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් 2018 දී කැනඩාවේ පැවති G7 සමුළුවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීමට මේසයකට හේත්තු වී සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් තෙරේසා මේ සමග

කොවිඩ් වසංගතය කළමනාකාරණය කර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ ජනාධිපති ධූර කාලයේ අවසන් වසරේදී විවේචනයට ලක්විය. 2020 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය පැවතියදී කොරෝනාවෛරසය වැළඳී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු ඔහුට විවේකයක් ගැනීමට සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප්, 2020 ඔක්තෝබර් මාසයේදී ධවල මන්දිර බැල්කනියේදී සිය මුව ආවරණය ඉවත් කරන අයුරු

2020 ජනාධිපතිවරණයෙන් බයිඩ්න් හමුවේ පරාජයට පත්වුව ද, ප්‍රතිඵලය පිළිනොගත් ට්‍රම්ප් චෝදනා කළේ, ජනාධිපතිවරණයේදී වංචාවක් සිදුවූ බව ය. ඇමෙරිකානු කොංග්‍රසය දක්වා පෙළපාළි යන ලෙස ඉල්ලා ඔහු ජනවාරි 6 වන දා වොෂින්ටනයට ආධාරකරුවන් රැස් කළේ ය.

එම රැලිය කෝලාහලයක් දක්වා වර්ධනය වූ අතර එදින ඔහුගේ ක්‍රියාකාරීත්වය අපරාධ නඩු දෙකකට මුල් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි 06 වන දින වොෂින්ටන් ඩීසීහි පැවති රැලියකදී ජනතාවට ආචාර කරන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 ජනවාරි 6 වන දින වොෂින්ටනයේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ ඉදිරිපස පොලිස් උණ්ඩ පිපිරීමකින් ආලෝකමත් වූ අයුරු. ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ එහි රැස්ව සිටිති

ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් වූ බවක් දිස්වුව ද, ඔහු තවත් ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ අතර කෙටි කලක් තුළ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රමුඛයා බවට පත්විය.

ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ, සාපරාධී චෝදනා 91කට මුහුණ දෙමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Handout/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 අගෝස්තු 24 වන දින ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී ඔහු පොලිස් ඡායාරූපයට පෙනී සිටි අයුරු

ඔහු 2016 මැතිවරණයට පෙර, රහස් හෙළි නොකිරීම වෙනුවෙන් වැඩිහිටි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත මුදල් ගෙවීම සම්බන්ධ වංචා 34කට වරදකරු විය.

ජනාධිපතිවරණ ප්‍රචාරණ මාවතට ආපසු පිවිසි ට්‍රම්ප් ඝාතනය කිරීමට, 20 හැවිරිදි තුවක්කුකරුවෙකු පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති රැස්වීමකදී උත්සහ කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුණ පුරා ලේ තැවරුණු ට්‍රම්ප්, වෙඩි වැදීමෙන් පසු මැතිවරණ ප්‍රචාරක වේදිකාවෙන් පිටව යන විට ඔහුගේ අත ඔසවන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් ජාතික සමුළුවේදී රැස්ව සිටි පිරිසට ඇඟිල්ල දිගු කරයි. ඔහුගේ දකුණු කනේ සුදු වෙළුම් පටියක් ඇත

දින කිහිපයකට පසු, රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඔහු බව තහවුරු විය.

ජයග්‍රහණයත් සමග ඔහු ඇමෙරිකාවේ මෙතෙක් පත්වූ වයස්ගත ම ජනාධිපතිවරයා ට්‍රම්ප් බවට පත්වනු ඇත. ඔහුගේ මීළඟ ධූර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 82කි.

ඡායාරූප මූලාශ්‍රය, The Washington Post/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක්හි ට්‍රම්ප් ටවර්හි ඔහුගේ කාර්යාලයේ වාඩි වී සිටී