කොල්ලුපිටියේ හෝටලයක සිදුවූ බ්‍රිතාන්‍ය සහ ජර්මන් ජාතික විදෙස් තරුණියන්ගේ මරණ ගැන පොලිසිය කියන්නේ කුමක් ද?

Miracle Colombo City Hostel

ඡායාරූප මූලාශ්‍රය, Google

කියවීමේ කාලය: මිනිත්තු 3

මෙරට සංචාරයකට පැමිණ සිටිය දී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී ජිවිතක්ෂයට පත්වූ බ්‍රිතාන්‍යය සහ ජර්මන් ජාතික තරුණියන් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් අද (පෙබරවාරි 10) දිනයේදී මරණ පරීක්ෂණය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ මියගිය විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනාගේ පවුලේ ඥාතින් මරණ පරීක්ෂණ සඳහා අද දිනයේදී මෙරට පැමිණෙන බවට දැනුම් දී ඇති බවයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී මියගිය විදෙස් ජාතික තරුණියන් දෙදෙනාගේ මරණයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹිය හැක්කේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබන පරීක්ෂණයෙන් පසුව බවයි.

'අවසන් තීරණයකට එන්න තීන්දුව එනකම් ඉන්න ඕන'

බීබීසී සිංහල සේවය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අසනිප තත්ත්වයකට පත්වීමෙන් පසු මියගිය විදේශීය කාන්තාවන් දෙදෙනාගේ මරණයට හේතුව ගැන නිශ්චිත හේතුවක් දැන ගැනීමට මරණ පරීක්ෂණ වාර්තාවේ තීන්දුව පැමිණිය යුතු බවයි.

''දැනට මරණ පරීක්ෂණ වාර්තාව එනකම් මේ මරණ වලට නිශ්චිත හේතුවක් ගැන කියන්න විදිහක් නැහැ. දැනට මේ විදේශිකයින් සිටිය කොල්ලුපිටිය හෝටලය සම්පුර්ණයෙන් මුද්‍රා තියලා තියෙන්නේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ස්ථානයට ඇවිත් පරීක්ෂණ කළා. ඒ අයගේ නිගමනයන් එක්ක මරණ පරීක්ෂණයේදී ලැබෙන තීන්දුව එක්ක අපිට මේ මරණ වලට හේතුව හරියට කියන්න පුළුවන්.''

මේ විදේශිකයින් රැඳී සිටිය හෝටල් කාමරයට එහා පැත්තේ තිබ්බ තවත් කාමරයක් කෘමි නාශක යොදලා වහලා දාලා තිබිලා තියෙනවා. මේ නිසා ඇතිවෙච්ච ආසාත්මික තාවයක් ද නැත්නම් ආහාර විෂවීමක් නිසා මේ මරණ සිදුවූවාද කියන සැකය තමයි දැනට තියෙන්නේ. පරීක්ෂණ වලදී හෙලිවුනොත් හෝටලයේ කාමර වලට යොදවා තිබුණු කෘමි නාශක මේ මරණ වලට හේතුවක් කියලා අපි ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා.'' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොල්ලුපිටියේ හෝටලයේදී සිදුවුයේ කුමක් ද?

ඉකුත් පෙබරවාරි මස 01 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි විදේශීය ජාතිකයින් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ වමනය සහ ක්ලාන්තය රෝග ලක්ෂණ පහළ වීමෙන් බව පොලිසිය සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පැය කිහිපයකට පසුව 24 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක වන ඊබොනී මැක්ඉන්ටොෂ් ජිවිතක්ෂයට පත්වු අතර 26 හැවිරිදි ජර්මානු ජාතික තරුණියක් වන නදීන් රැගීයුස් ද ඉන් පසුව ජිවිතක්ෂයට පත්විය.

මේ අතර අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 31ක් හැවිරිදි ජර්මානු ජාතික තරුණයා ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර ඔහු දින දෙකකට පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

වැඩිදුරටත් සිදුකළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම තරුණයා රෝහලෙන් පිටව යෑමෙන් පසු නැවතත් ජර්මනිය බලා පිටත්ව ගොස් ඇති බවයි.

24 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් වන ඊබොනී මැක්ඉන්ටොෂ් බ්‍රිතාන්‍යයේ, ඩර්බි ප්‍රාන්තයේ පදිංචිකරුවෙක් වන අතර ඇය ​ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය කළමනාකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.

විදෙස් ජාතික තරුණියන් දෙදෙනාගේ මරණය සිදුවූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ හෝටලයෙන් බීබීසී සිංහල විමසීමක් කළේය. එහිදී එම හෝටලයේ සේවකයෙකු බීබීසී සිංහල වෙත පැවසුවේ එම සිදුවීම ගැන තමන්ට කිසිදු ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවය.

'මොනවා හරි දැන ගන්න අවශ්‍යනම් කොල්ලුපිටිය පොලිසියට කතා කරන්න. පොලිසියෙන් කියලා තියෙන්නේ අපිට මොනවත් කියන්න එපා කියලා.' හෙතෙම කියා සිටියේය.