ලුම්බිණියේ සංචාරය කළ ශ්‍රී ලාංකික බැතිමතුන් 73 දෙනෙකු දේශ සීමාව හරහා ආරක්ෂිතව ඉන්දියාවට

ඡායාරූප මූලාශ්‍රය, MFA

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ලුම්බිණියේ සංචාරය කළ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට නේපාලයේ සිට දේශ සීමාව හරහා යළි ඉන්දියාවට ඇතුළු වී තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, එම කටයුතු කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් නේපාලයේ ආගමන බලධාරීන් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වූ බවයි.

කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යාවත්කාලීන කිරීම්වලට අනුව, නේපාලයේ මේවන විට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 102 කි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

සමාජ මාධ්‍ය තහනමට එරෙහිර නේපාලයේ කත්මණ්ඩු නුවර ඇරඹි Gen Z විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීමත් සමග එරට සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් (සැප්තැම්බර් 8 වැනිදා) විශේෂ දැනුම් දීමක් කළේය.

සිදුවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පූර්වාරක්ෂ පියවර ගන්නා ලෙස ත්, ගෘහස්ථව රැඳී සිටින ලෙස ත් එමගින් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුවත් කර ඇත.

එමෙන් ම සෑම විට ම ජලය සහ වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසට උපදෙස් දී ඇති අතර ඖෂධ භාවිත කරන පිරිස් ඒවා නිතර ම ළඟ තබා ගත යුතු බවට ද එමගින් දැනුම් දී ඇත.

එරට පිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා +977- 9851048653 අංකයෙන් සම්බන්ධ කර ගත හැකි බව ද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

නේපාලයේ ශ්‍රී ලාංකිකයින් කොපමණ සංඛ්‍යාවක් සිටිනවා ද? ඔවුන්ගේ තත්ත්වය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තා වී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

සන්සුන්ව හා ආරක්ෂිතව සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

එරට තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍යකරණය වෙමින් ස්ථාවර වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වන විට නේපාලයේ තානාපති කාර්යාල නිලධාරීන්, ශිෂ්‍යයින් සහ වෙනත් පුද්ගලයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 102 දෙනෙකු සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

WhatsApp සමූහා ඔස්සේ යොමු කළ පණිවිඩ මගින් දැනටමත් ඔවුන් සම්බන්ධ කර ගෙන ඇති බව ද එම අමාත්‍යංශ සඳහන් කළේ ය.

නේපාලයේ දැන් තත්ත්වය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කත්මණ්ඩු නුවර සහ රටේ විවිධ ප්‍රදේශවල Gen Z නමින් හැඳින්වෙන තරුණ පරම්පරාව විසින් පවත්වන ලද වීදි විරෝධතා අතරතුර පොලිසිය මාරාන්තික බලය යෙදවීමත් සමග රට පුරා පැවති විරෝධතා උත්සන්න වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත හා දේපළ හානි සිදුවිය.

වත්මන් අර්බුදයට ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා මග පෑදීම විවර කිරීමට බව පවසමින් නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් විසින් එය පිළිගනු ලැබ තිබේ.

ඔහු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පවා විරෝධතාකරුවන් කත්මණ්ඩු නුවර විවිධ ස්ථානවලට ගිනි තබා ඇති අතර, ඇතැම් ස්ථානවල ජයග්‍රාහී රැලි පවත්වා තිබේ.

කත්මණ්ඩු නිම්නයේ දිස්ත්‍රික්ක තුනක් ඇතුළුව විවිධ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනය විසින් දින නියමයක් නොමැතිව පනවා ඇති ඇඳිරි නීතිය නොතකා විරෝධතා අඛණ්ඩව සිදුවන වේ.

ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් විසින් දේශපාලනඥයින්ට සහ රජයේ කාර්යාලවලට පහර දී, විනාශ කර, ගිනි තබා ඇත.

කෝපයට පත් විරෝධතාකරුවන් නැවතත් නයා බනේෂ්වර්හි ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පහර දී ගිනි තබා තිබේ.

විරෝධතා අතරතුර මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.