දෙවියන්ට පූජා කරන ලද නමුත් ලිංගික සූරාකෑමේ ජීවිතයකට කොටු වූ ගැහැනු දරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Sakhi Trust

    • Author, ස්වාමිනාදන් නටරාජන්
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 8

"ලිංගික ශ්‍රමිකයෙකු විදිහට වැඩ කරන එක මට ගොඩක් බලපාලා තියෙනවා. මගේ ශරීරය හරි ම දුර්වලයි, මං මානසිකව වැටිලා ඉන්නේ," චන්ද්‍රිකා* පවසයි.

ලිංගික ශ්‍රමිකයෙකු ලෙස චන්ද්‍රිකාගේ ජීවිතය ආරම්භ වූයේ ආගමික උත්සවයකිනි. වයස අවුරුදු 15දී ඇයව දේවාලයකට ගෙන ගොස් දේවතාවියකට උත්සවාකාරයෙන් සරණ පාවා දුන්නා ය.

"ඒ කාලේ මට ඒ චාරිත්‍රයේ තේරුම ගැන කිසි ම අවබෝධයක් තිබුණේ නැහැ," ඇය බීබීසීයට පැවසුවා ය.

චන්ද්‍රිකා දැන් සිය තිස් වන වියේ අගභාගයේ පසුවන අතර දශක දෙකකට ආසන්න කාලයක් මුදලට ලිංගිකව හැසිරී ඇත.

දිව්‍ය මනාලියකගේ සිට ගණිකාවක දක්වා

ඡායාරූප ශීර්ෂ වැකිය, දේවදාසි සම්ප්‍රදායට ඇතුළත් වීමෙන් වසර හතරකට පසු, චන්ද්‍රිකා පූර්ණ කාලීන ලිංගික ශ්‍රමිකයෙකු බවට පත් වූවා ය. ඇය තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්නාමිකව සිටීමට අපේක්ෂා කරයි

දේවදාසි සම්ප්‍රදායට ඇතුළත් වීමෙන් පසු ලිංගික ශ්‍රමිකයන් බවට පත් වූ චන්ද්‍රිකා වැනි පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය සමීක්ෂණයක් පවත්වයි.

දේවදාසි හෙවත් "දෙවියන්ගේ වහලුන්" යන සම්ප්‍රදාය ආරම්භ වූයේ, වසර දහසකට පෙර දකුණු ඉන්දියාවේ ය. මුලදී ඔවුහු කෝවිලවල නෘත්‍ය ශිල්පීන් ලෙස ගායනයෙන් සහ නර්තනයෙන් දස්කම් දැක්වූහ. කාලයත් සමග මෙම දේවදාසි ක්‍රමය පිළිගත් ගණිකා වෘත්තියට සමාන විය.

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල යටත් විජිත යුගයේදී මෙය තහනම් කිරීම් ආරම්භ වූ නමුත්, කර්ණාටක ප්‍රාන්තයේ එය 1982 වන තෙක් පැවතිණි.

එහෙත් එය අද දක්වා ම ක්‍රියාත්මක වේ.

ගම්වල ජීවත් වන දේවදාසීන්ට සමීප සහකරුවෙකු සිටිය හැකි අතර වෙනත් සේවාදායකයින් ද ඇසුරු කළ හැක. බොහෝ දෙනෙක් ගණිකා නිවාසවල වැඩ කිරීම සඳහා මුම්බායි වැනි නගරවලට සංක්‍රමණය වෙති.

ලිංගික ජාවාරමට කූඨ ලෙස හසු කර ගැනීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බෙල්ගාම් නගරයේ පැවති කැපකිරීමේ උත්සවයෙන් පසු, චන්ද්‍රිකා නිවසට පැමිණ වසර හතරක් සාමාන්‍ය පරිදි ජීවත් වූවා ය. පසුව ඇගේ ඥාති කාන්තාවක ඇය කාර්මික නගරයක් වන සංග්ලි වෙත රැගෙන ගොස් ගෘහ සේවිකාවක ලෙස රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු විය. ඇය චන්ද්‍රිකා ගණිකා නිවාසයක තනිකර ගියා ය.

"මුල් මාස කිහිපයේ ඒක හරි ම අමාරු වුණා. මම අසනීප වුණා. මට හරියට කන්නවත් නිදාගන්නවත් බැරි වුණා," චන්ද්‍රිකා සිහිපත් කරයි. "මං පැනලා යන්න හිතුවා, නමුත් ටිකෙන් ටික මම යතාර්ථය තේරුම් ගත්තා."

ඒ වන විට චන්ද්‍රිකා 19 වන වියට එළඹුණා පමණි. සුළු අධ්‍යාපනයක් පමණක් තිබුණු ඇයට සංග්ලිහි භාවිත වන හින්දි හෝ මරාති භාෂා හරි හැටි තේරුම් ගැනීමට පවා නොහැකි විය.

"සමහර [සේවාදායකයින්] මට පහර දුන්නා, සමහරු අසභ්‍ය වචන කිව්වා. මට ඒක දරාගන්න අමාරු වුණා," ඇය තවදුරටත් පවසයි.

ගණිකා නිවාසවල සේවාදායකයින් විශ්වවිද්‍යාල සිසුන්ගේ සිට රියැදුරන්, නීතිඥයින් සහ දෛනික වැටුප් ලබන කම්කරුවන් දක්වා පරාසයකට විහිදිණි.

චන්ද්‍රිකාට ඇගේ සහකරු වන ලොරි රථ රියැදුරෙකු මුණගැසුණේ සංග්ලිහිදී ලිංගික රැකියාවක් මගිනි.

ඔවුන් දෙදෙනාට දියණියක් සහ පුතෙක් සිටිති. චන්ද්‍රිකා ඇගේ සහකරු දරුවන් රැකබලා ගත්තේ චන්ද්‍රිකා ගණිකා නිවාසයේ වැඩ කරන අතරතුර ය. එහිදී ඇයට දිනකට සේවාදායකයින් 10 සිට 15 දක්වා පිරිසක් සමග ලිංගිකව හැසිරීමට සිදුවිය.

ඇගේ දෙවන දරුවා ඉපදී වසර කිහිපයකට පසු, ඇගේ සහකරු රිය අනතුරකින් මිය ගිය අතර, ඇය නැවත බෙල්ගාම් වෙත ගියා ය. ඇය පරිවර්තකයෙකු හරහා බීබීසීය සමග සම්බන්ධ වූයේ එහි සිට ය.

'පිරිමි අපි ගාවට එන්නේ කසාද බඳින්න නෙවෙයි'

ඡායාරූප මූලාශ්‍රය, Sakhi Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, අංකිතා වැනි දේවදාසීන් විසින් පළඳිනු ලබන මුතු මාල නිසා ඔවුන් පහසුවෙන් හඳුනාගත හැකි ය

සියලු ම දේවදාසීන් ගණිකා නිවාසවල සේවය නොකරන අතර ඇතැම්හු ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු නොකරති.

23 හැවිරිදි අංකිතා සහ ශිල්පා ඥාති සහෝදර සහෝදරියන් වන අතර උතුරු කර්ණාටකයේ ගමක ජීවත් වෙති. චන්ද්‍රිකා මෙන් ම ඔවුහු ද ඉන්දියාවේ දැඩි වෙනස්කම් කිරීම්වලට ලක්වන කණ්ඩායමක් වන දාලිත් කුලයෙන් පැවත එති.

ශිල්පා වසරක් පමණ පාසල් ගොස් අධ්‍යාපනය අතහැර දැමූ අතර ඇගේ කැපවීම 2022දී සිදු විය. අංකිතා වයස අවුරුදු 15 පමණ වන තෙක් ඉගෙනුම ලැබූ අතර ඇගේ දෙමාපියෝ 2023දී ඇය දෙවියන්ට සරණ පාවා දීමේ උත්සවය සඳහා කටයුතු සංවිධානය කළහ. ඇගේ සොහොයුරාගේ මරණයෙන් පසු, ඇයට දේවදාසියක් වීමට බලපෑම් එල්ල විය.

"මගේ දෙමව්පියන් මට කිව්වා මාව දෙවියන්ට කැප කරන්න ඕන කියලා. මම ඒක ප්‍රතික්ෂේප කළා. සතියකට පස්සේ එයාලා මට කෑම දෙන එක නැවැත්තුවා," අංකිතා පවසයි.

"මට ගොඩක් දුක හිතුනා, ඒත් මගේ පවුල වෙනුවෙන් මං ඒක පිළිගත්තා. මම මනාලියක් වගේ ඇඳගෙන දේවතාවියව විවාහ කර ගත්තා."

අංකිතා සුදු මුතු සහ රතු පබළුවලින් සාදන ලද මාලයක් පැළඳ සිටින අතර එය මෙම විවාහය සංකේතවත් කරයි.

ඇගේ මව හෝ මිත්තණිය දේවදාසීන් නොවිණි. මෙම පවුලට කුඩා ගොවි බිමක් තිබුණත්, එය ඔවුන්ට පෝෂණය කිරීමට ප්‍රමාණවත් නොවේ.

"දෙවියන්ට ගෑනු දරුවෙක් කැප කළේ නැත්නම්, දෙවියන් අපිට සාප කරාවි කියන බය තියෙනවා."

දේවදාසීන්ට විවාහ විය නොහැකි නමුත් වෙනත් කාන්තාවක් සමග නීත්‍යනුකූලව විවාහ වී සිටින සමීප සහකරුවන් සිටිය හැකි ය.

අංකිතා පිරිමින්ගෙන් ලැබුණු සියලු දීමනා ප්‍රතික්ෂේප කළ අතර තවමත් කෘෂිකාර්මික කම්කරුවෙකු ලෙස සේවය කරන අතරතුර දිනකට ඇ. ඩොලර් 4ක් පමණ උපයයි.

ඡායාරූප මූලාශ්‍රය, Sakhi Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවියන්ට කැප කර කෙටි කලකට පසු ශිල්පා සමීප සහකරුවෙකු සමග සබඳතාවක් පැවැත්වූ අතර පසුව ගැබ් ගත්තා ය

ශිල්පාගේ ජීවිතයේ වෙනස් ම හැරීමක් සිදු විය. දෙවියන්ට කැපවීමෙන් පසු, ඇය සංක්‍රමණික සේවකයෙකු සමග සම්බන්ධතාවක් ගොඩනගා ගත්තා ය.

"මම දේවදාසියෙක් කියලා එයා දැනගෙන හිටපු නිසා එයා මං ළඟට ආවා," ඇය සිහිපත් කරයි.

බොහෝ දේවදාසි කාන්තාවන් මෙන්, ශිල්පා ද ඇගේ සහකරු සමග ඇගේ නිවසේ ජීවත් වූවා ය.

"එයා මාත් එක්ක මාස කිහිපයක් හිටියා, ඊට පස්සේ මාව ගැබ්ගත්තා. එයා මං එක්ක හිටපු කාලය තුළ මට රුපියල් 3,000ක් (ඇ. ඩොලර් 35) දුන්නා. මම ගැබ් ගත්තා කිව්වා ම එයා ප්‍රතිචාර දැක් වූවේ නැහැ. ඊට පස්සේ දවසක, එයා නිකම් ම අතුරුදන් වෙලා ගියා.

ඒ වන විට ශිල්පා තුන්මස් ගැබිනියක වූ අතර ඇය ව්‍යාකූලත්වයට පත්ව සිටියා ය.

"මම එයාට කතා කරන්න උත්සහ කළා, නමුත් එයාගේ දුරකතනය වැඩ කළේ නැහැ. එයා කොහේ ඉඳලා ආව කෙනෙක් ද කියලවත් මම දන්නේ නැහැ."

ඇය ඔහු සොයා ගැනීමට පොලිසියට ගියේ නැත.

"අපේ ක්‍රමය තුළ පිරිමි අපි ගාවට එන්නේ කසාද බඳින්න නෙවෙයි," ඇය පවසයි.

දරිද්‍රතාව සහ සූරාකෑම

ඡායාරූප මූලාශ්‍රය, Sakhi Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, දේවදාසි ක්‍රමයෙන් මිදී සැමියෙකු සොයා ගැනීමට අංකිතා බලාපොරොත්තු වේ

ආචාර්ය එම්. භාග්‍යලක්ෂ්මි, දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් වන සඛී ට්‍රස්ට්හි (Sakhi Trust) අධ්‍යක්ෂවරියක වන අතර, දශක දෙකකට වැඩි කාලයක් දේවදාසි කාන්තාවන් සමග කටයුතු කරමින් සිටී. තහනම නොතකා දැරියන් දෙවියන්ට සරණ පාවා දීම අඛණ්ඩව සිදුවන බව ඇය පවසයි.

"හැම අවුරුද්දක ම අපි ගැහැනු දරුවන් තුන් හතර දෙනෙක් දේවදාසීන් ලෙස කැප කිරීම නවත්වනවා. නමුත් ගොඩක් උත්සව රහසිගතව සිදුවෙනවා. අපි ඒ ගැන දැනගන්නේ දැරියක් ගැබ්ගත්තා ම හරි දරුවෙක් ලැබුණාට පස්සේ."

බොහෝ කාන්තාවන්ට මූලික පහසුකම් නොමැති අතර නිසි ආහාර හෝ අධ්‍යාපනයක් නොමැති බව ත් උපකාර ඉල්ලා සිටීමට බිය වන බව ත් ආචාර්ය භාග්‍යලක්ෂ්මි පවසයි.

"අපි විජයනගර දිස්ත්‍රික්කයේ දේවදාසීන් 10,000ක් විතර සමීක්ෂණය කළා. ආබාධිත, අන්ධ සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි කාන්තාවන් බොහොමයක් මේ පද්ධතියට තල්ලු කරනවා මම දැක්කා. 70%කට ආසන්න පිරිසකට නිවසක් තිබුණේ නැහැ," ඇය බීබීසීයට පැවසුවා ය.

ඡායාරූප ශීර්ෂ වැකිය, දේවදාසි සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය බඳු බෙල්ගවුම්හි සොන්ඩට්ටි යෙල්ලම්මා කෝවිලේ උත්සවයක් සඳහා විශාල ජනකායක් පැමිණෙති

සමීපව ඇසුරු කරන සහකරුවන් බොහෝ විට උපත් පාලන කොපු භාවිත කිරීම ප්‍රතික්ෂේප කරන අතර එමගින් අනවශ්‍ය ගැබ් ගැනීම් හෝ HIV සම්ප්‍රේෂණය සිදුවිය හැකි ය.

ආචාර්ය භාග්‍යලක්ෂ්මි ඇස්තමේන්තු කරන්නේ සියලු ම දේවදාසියන්ගෙන් 95%ක් පමණ දාලිත් කුලයට අයත් අතර ඉතිරි අය ගෝත්‍රික ප්‍රජාවන්ට අයත් බවත් ය.

අතීතයේ මෙන් නොව, නූතන දේවදාසීන්ට කෝවිල්වලින් කිසිදු සහයෝගයක් හෝ ආදායමක් නොලැබේ.

"මේ දේවදාසි ක්‍රමය හුදෙක් සූරාකෑමක් පමණයි," ඇය අවධාරණය කරයි.

සිරිතට තිත

ඡායාරූප ශීර්ෂ වැකිය, වාර්ෂික උත්සවයේදී දේවදාසි කාන්තාවෝ කැපී පෙනෙන ලෙස පෙනී සිටිති

වත්මන් සහ හිටපු දේවදාසීන් සහභාගී වන වාර්ෂික උත්සවයක් සඳහා බෙල්ගාම්හි සොන්ඩට්ටි යෙල්ලම්මා කෝවිලට එක්රැස් වන නමුත්, නිලධාරීන් පවසන්නේ එහි කිසිදු කැප කිරීමක් සිදු නොවන බව ය.

"ඒක දැන් දඬුවම් ලැබිය හැකි වරදක්. උත්සව සමයේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ජනතාවට අනතුරු ඇඟවීම සඳහා අපි පෝස්ටර් සහ පත්‍රිකා ප්‍රදර්ශනය කරනවා," යැයි විශ්වාස් වසන්ත වේද්‍යා පවසයි.

වේද්‍යා කර්ණාටක ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වන අතර යෙල්ලම්මා කෝවිල් මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ. ක්‍රියාකාරී දේවදාසීන් සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති බව ඔහු බීබීසීයට පැවසීය.

"දැන් මගේ ඡන්ද කොට්ඨාශයේ ඉන්නේ දේවදාසීන් 50ක් 60ක් වගේ," ඔහු පවසයි. "කිසි කෙනෙක් කෝවිලේ දැරියන් දෙවියන්ට කැප කිරීම දිරිමත් කරන්නේ නැහැ."

"අපේ දැඩි ක්‍රියාමාර්ග දේවදාසි සම්ප්‍රදාය නැවැත්තුවා," ඔහු පවසයි.

2008 වසරේදී කර්ණාටක රජය විසින් කරන ලද සමීක්ෂණයකින් ප්‍රාන්තයේ දේවදාසියන් 46,000කට වඩා සිටින බවට හඳුනාගෙන ඇත.

ඊළඟ පරම්පරාව

ඡායාරූප මූලාශ්‍රය, Sakhi Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, ශිල්පාට තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය වන අතර ඇගේ පරම්පරාවෙන් දේවදාසි ක්‍රමය අවසන් වේ යැයි බලාපොරොත්තු වේ

ලිංගික ශ්‍රමියකයෙකු ලෙස රැකියාවේ නිරත වීමෙන් ලද මුදල් චන්ද්‍රිකාට දරිද්‍රතාවයෙන් මිදීමට උපකාරී විය. තම දරුවන් අපකීර්තියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇය ඔවුන් නේවාසික පාසල්වලට යැව්වා ය.

"මං නිතර ම මගේ දුව ගැන වද වුණා," චන්ද්‍රිකා පවසයි.

"එයාට අවුරුදු 16ක් විතර වෙනකොට, මං එයාව නෑදෑ වෙන කෙනෙකුට විවාහ කරලා දුන්නා, ඒ නිසා එයාටත් මං වගේ දේවදාසි කෙනෙක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. එයා දැන් එයාගේ සැමියා එක්ක ජීවත් වෙනවා."

චන්ද්‍රිකා දැන් රාජ්‍ය නොවන සංවිධානයක් සමග වැඩ කරන අතර නිතිපතා HIV පරීක්ෂණ සඳහා යයි.

"මම වයසට යනවා. තව අවුරුදු කිහිපයකින් මට ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රැකියාවේ යෙදෙන්න බැරි වෙයි," ඇය පවසයි. ඇය පලතුරු සහ එළවළු විකිණීම සඳහා සාප්පුවක් විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින්නී ය.

ශිල්පාට තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය ය. දේවදාසි සම්ප්‍රදාය ගැන ඇයට ඇත්තේ වෛරයකි.

"මට මේක නවත්තන්න ඕන. මම මගේ දුවව දේවදාසියෙක් කරන්නේ නැහැ. මට මේ ක්‍රමය දිගට ම කරගෙන යන්න ඕන නැහැ," ඇය පවසයි.

අංකිතා පවසන්නේ, ඇයට විවාහ වීමට අවශ්‍ය බවත් අවසානයේ මුතු මාලය ගලවා දැමීමට අවශ්‍ය බවත් ය.

(*චන්ද්‍රිකාගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඇගේ නම වෙනස් කර ඇත)