හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ කවුද?

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් ග්‍රහණයට හසුවූබවට ඥාතීන් විසින් හඳුනාගැනුණු පුද්ගලයින් අතර ආච්චිලා, සීයලා සහ කුඩා දරුවන් ද වෙයි

හමාස් සංවිධානය ඔක්තෝබර් අටවැනි දා එහි හදිසි ප්‍රහාරය එල්ලකළ අවස්ථාවේ දී පුද්ගලයින් 150 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගෙන ඇතැ යි, ඊශ්‍රායලය පැවසීය. එම පුද්ගලයින් ගාසාහි "ආරක්‍ෂිත ස්ථාන හා උමං" තුළ සඟවා සිටිනබව පවසන හමාස් සංවිධානය, ඊශ්‍රායලය අනතුරු ඇඟවීමකින් තොරව සාමාන්‍ය වැසියන්ගේ නිවෙස්වලට බෝම්බ පතිත කළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමනබවට තර්ජනයකර තිබේ.

මේ, හමාස් විසින් ඊශ්‍රායලයෙන් ප්‍රාණ ඇපයට ගත්බවට බීබීසීය විසින් තහවුරු කෙරුණු හෝ විශ්වාසනීය ලෙස වාර්තා කෙරුණු පුද්ගලයින්ගේ කතාන්දර යි.එම පිරිසට ළමුන් 12 ක් සහ අවම වශයෙන් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් පස් දෙනෙක් ඇතුළත් වේ.

අවසන් වරට යාවත්කාලීන කෙරුණේ ඔක්තෝබර් 11 වැනි දා ය.

ශිරි, යාඩෙන්, අරියෙල් සහ කෆීර් බිබාස් දකුණුදිග ඊශ්‍රායලයේ ඔවුන් විසූ කිබුට්ස් (එනම් ජනාවාස වර්ගය) වෙතින් පැහැරගෙන ඇතැයි විශ්වාස කෙරෙයි. ශිරි එහි පෙරපාසැල් ගුරුවරියක ලෙස සේවය කළා ය. ඇය තෙහැවිරිදි අරියෙල් සහ නවමස් වයසැති කෆීර් වඩාගෙන, හමාස් සටන්කාමීන්ට වටවී සිටිනු ඡායාරූපයක දැක්විණි.

යොසි සහ මාගීට් සිල්බර්මන්, එනම් ශිරිගේ දෙමාපියන් ද අතුරුදන්ව ඇති අතර, ඔවුන් ද පැහැරගෙන ඇතැ යි විශ්වාස කෙරෙයි.

ඩොරොන්, රාස් සහ අවීව් අශේර් ගාසා දේශසීමාව ආසන්නයේ ඥාතීන්ගේ නිවෙසක නැවතී සිටියදී ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. සැමියා වන යොනී ඔහුගේ බිරිඳ ද, පස් හැවිරිදි හා තෙහැවිරිදි දියණියන් ද වෙනත් ප්‍රාණ ඇපකරුවන් සමග ට්‍රක් රථයකට පටවන වීඩියෝවක් දැක තිබුණි. ඔහු ඇගේ ජංගම දුරකථනය ඇත්තේ ගාසාහිබව ද සොයාගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, TELEGRAM

ඡායාරූප ශීර්ෂ වැකිය, ශිරි හා ඇගේ කුඩා දරුවන් දෙදෙනා හමාස් සටන්කාමීන් විසින් රැගෙන යන අයුරු

ඔෆෙර්, එරෙස් සහ සෆාර් කල්ඩෙරෝන් සමග කාර්මෙලා සහ නොයා ඩාන්, ගාසා තීරය අසල පිහිටි කිබුට්ස් ජනාවාසයක් වන නීර් ඔස් වෙතින් සිරභාරයට ගෙන තිබුණි. සමාජ මාධ්‍යයන් හරහා මතුවූ වීඩියෝවක 12 හැවිරිදි එරෙස් තුවක්කුකරුවෙකු විසින් ගාසා වෙත රැගෙන යන අයුරු දැක්වුණුබව පැවසූ ඔහුගේ ඥාතියෙකු වන ඉඩෝ ඩාන්, 80 හැවිරිදි කාර්මෙලා සතුව ඇගේ ඖෂධ නැති නිසා ඔහු ඇගේ සෞඛ්‍යය ගැන බියෙන් පසුවනබව ද බීබීසීයට පැවසීය.

ඒඩා සගී, ගාසාහි දේශසීමාවට මීටර 400ක් පමණ නුදුරින් පිහිටි නීර් ඔස්හි ඇගේ නිවසින් පැහැරගන්නට ඇතැ යි විශ්වාස කෙරෙයි. ඊශ්‍රායල භටයින්ට රුධිර පැල්ලම් හමුවුව ද ඒඩාගේ කිසිදු සලකුණක් හමු නොවූබවත්, එම කුඩා ජනාවාසයේ මියගිය හෝ තුවාල ලැබූවන් අතර ඇය නොසිටිබවත්, ඇගේ පුත් නොඅම් ප්‍රකාශ කළේ ය.

ෂැරොන් ලිෆ්ෂිට්ස්ගේ දෙමාපියන් ද නීර් ඔස් වෙතින් ප්‍රාණ ඇපයට ගන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. ලන්ඩනයේ කලාකාරියක වන ෂැරොන්, හිංසාවන් ඇතිවනු ඇතැ යි යන බිය නිසා ඔවුන්ගේ නම් සඳහන් නොකරන්නැ යි ඉල්ලා සිටියා ය. ඇගේ පියා අරාබි භාෂාව කතා කරනබවත්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පලස්තීනුවන් රෝහලට ගෙනයමින් ඔහුගේ විශ්‍රාම දිවිය ගත කළබවත් ලිෆ්ෂිට්ස් පැවසුවා ය.

ඡායාරූප මූලාශ්‍රය, IDO DAN

ඡායාරූප ශීර්ෂ වැකිය, නීර් ඔස් ජනාවාසයෙන් පැහැර ගැනුණු එක් පවුලක සාමාජිකයින් අතර එරෙස් (වමේ) සහ සහාර් (දකුණේ) ද වෙති

ශනී ලූක් සංචාරකයෙකු ලෙස ජර්මනියේ සිට පැමිණ සිටියේ ය. හමාස් සටන්කාමීන් කඩා වදින විට ඇය ගාසා තීරය අසල පැවැති උත්සවයකට සහභාගීවෙමින් සිටි අතර, උත්සවයට පැමිණ සිටියවුන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයන්ට බියෙන් කාන්තාරය දෙසට දිවගොස් තිබුණි. ශනී පැහැරගත් පසු පටිගත කළ වීඩියෝවක් ඇගේ මව වන රිකාඩා දැක තිබුණි. ශනීගේ හිසට සිදුවූ තුවාලයක් නිසා ඇය ගාසාහි අසාධ්‍ය තත්ත්වයේ පසුවනබවට තොරතුරු ලැබී ඇතැ යි ද මව පසුව පැවසුවා ය.

නොආ ආර්ගමානි ද උත්සවයේ දී පැහැරගනු ලැබුණි. ඇය චීනයේ උපන් ඊශ්‍රායල වැසියෙකි. ඇගේ පියා වූ යාකොව් ආර්ගමානි ඊශ්‍රායලයේ චැනල් 12 වෙත තහවුරු කරන ලද වීඩියෝ දර්ශනයක, මේ 25 හැවිරිදි තරුණිය "මාව මරන්නෙපා!"යි කෑගසද්දී සටන්කාමියෙකුගේ යතුරු පැදියක පිටුපස තබා ගෙනයනු දැක්විණි.

ඡායාරූප මූලාශ්‍රය, SHANI LOUK'S INSTAGRAM

ඡායාරූප ශීර්ෂ වැකිය, ශනී (මෙක්සිකෝවේ සිටින අයුරු මේ ඡායාරූපයෙන් දැක්වෙයි) අතුරුදහන්වූ විට ඊශ්‍රායලයේ උත්සවයකට සහභාගීවෙමින් සිටියා ය

අසූපස් හැවිරිදි යෆා අදාර් පැහැරගනු ලැබුණේ ගාසා දේශසීමාවට ආසන්න ජනාවාසයකිනි. ඇයගේ මිණිබිරිය වන ආදවාට, සන්නද්ධ පුරුෂයින් සිව්දෙනෙකු විසින් වටකරනු ලැබ යෆා ගාසා වෙත ගෙනයන වීඩියෝවක් හමුවී තිබුණි.

අනුචා අන්කේව් පසුගිය වසර දෙක තිස්සේ අලිගැටපේර ගොවිපොළක සේවය කරමින් සිටි අයෙකි. ඔහු, ප්‍රහාරයන්ගෙන් පසු අතුරුදන්ව සිටින තායි ජාතිකයින් 11 දෙනාගෙන් අයෙකි. හමාස් විසින් පළකෙරුණු වීඩියෝවක ඔහු සිටිනබව හඳුනාගත්තැ යි, ඔහුගේ බිරිය වන වනිදා මාර්සා බිබිස්‌ තායි සේවයට පැවසුවා ය.

පොන්ග්සතෝන්, කොම්ක්‍රිත් චොම්බුවා, කියතිසක් පටේ, මනී ජිරාචාට්, නුත්තපෝන් ඔර්න්කේව්, බූන්තොම් පන්කොන් සහ සසිවාන් පන්කොන් මෙසේ ප්‍රාණ ඇපයට ගැනුණු තායි ජාතිකයින් 11 දෙනා අතර සිටිනබව තායිලන්ත විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.