ෂරියා නීතිය යනු කුමක්ද? එය ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන්ට බලපාන්නේ කෙසේද ?

තාලිබාන් සංවිධානය පවසන්නේ ඔවුන් ෂරියා නොඑසේනම් ඉස්ලාමීය නීතියට අනුව ඇෆ්ගනිස්ථානය පාලනය කරන බවයි.

එක්සත් ජනපදය සහ මිත්‍ර හමුදා රට හැර යාමෙන් පසු සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම රටේ පාලනය සියතට ගෙන ඇත.

තාලිබාන් සංවිධානය පවසා ඇත්තේ කුමක්ද?

බලය ලබා ගැනීමෙන් පසු පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තාලිබාන් ප්‍රකාශකයෙකු කියා සිටියේ, "ඉස්ලාමීය නීතියේ රාමුව තුළ", මාධ්‍ය හා කාන්තා අයිතිවාසිකම් වැනි කරුණු වලට ගරු කරන බවය.නමුත් ප්‍රායෝගිකව එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සංවිධානය තවමත් කිසිදු තොරතුරක් ලබා දී නැත.

තාලිබාන් සංවිධානය, මිනීමරුවන් සහ සල්ලාලයන් වැනි වරදකරුවන්ට ප්‍රසිද්ධියේ මරණ දඩුවම දීම ද ඇතුළත්ව ෂරියා නීතිය තදින් අර්ථ නිරූපනය කිරීම සඳහා ප්‍රසිද්ධය.

ෂරියා යනු කුමක්ද?

ෂරියා යනු ඉස්ලාමයේ නීති පද්ධතිය ය.

එය පැවත එන්නේ (ව්‍යුත්පන්න) ඉස්ලාමයේ ශුද්ධ වූ කුරානය මෙන්ම මුහම්මද් නබිතුමාගේ ක්‍රියාවන් සහ කියමන් ඇතුළත් සුන්නා සහ හදීත් ඇසුරෙනි.

මේවායින් සෘජුවම පිළිතුරක් ලබාගත නොහැකි නම්, යම් මාතෘකාවක් හෝ ප්‍රශ්නයක් සඳහා මඟ පෙන්වීමක් වශයෙන් ආගමික විශාරදයින් තීන්දු ලබා දෙනු ඇත.

"පැහැදිලි, පාගන ලද ජලයට යන මාවත" යන්න අරාබි භාෂාවෙන් 'ෂරියා' යන වචනයේ අර්ථයයි.

යාච්ඤා කිරීම, උපවාසය සහ දුප්පතුන්ට පරිත්‍යාග කිරීම ඇතුළුව සියලුම මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු ජීවන නීති සංග්‍රහයක් ලෙස ෂරියා ක්‍රියාත්මක වේ.

එහි අරමුණ වන්නේ මුස්ලිම්වරු තම ජීවිතයේ සෑම අංශයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ගත කළ යුතු ආකාරය අවබෝධ කර ගැනීම ය.

ප්‍රායෝගිකව මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ සෑම අංශයක්ම ෂරියා නීතියෙන් දැනුම් දිය හැකිය.

උදාහරණයක් වශයෙන්, වැඩ කිරීමෙන් පසු මත්පැන්හලක් වෙතට යාමට තම සගයින් ආරාධනා කළහොත් තමන් කුමක් කළ යුතු දැයි මුස්ලිම් අයෙකු කල්පනා කරන්නේනම්, තම ආගමේ නීති රාමුව තුළ කටයුතු කරන බවට සහතික වීම සඳහා ෂරියා විශාරදයකු වෙතින් උපදෙස් ලබා ගැනීමට ඔහුට යොමු විය හැකිය.

මුස්ලිම්වරුන් තමන්ගේ එදිනෙදා ජීවිතයේදී ෂරියා නීතිය වෙතින් මඟ පෙන්වීම ලබාගන්නා අනෙකුත් අංශ අතර පවුල් නීතිය, මුල්‍යකරණය සහ ව්‍යාපාර ඇතුළත් වේ.

කොහොමද තීන්දු ගන්නේ?

ඕනෑම නීති පද්ධතියක් මෙන් ෂරියා නීතියද සංකීර්ණ වන අතර එහි භාවිතය මුළුමනින්ම රඳා පවතින්නේ ප්‍රවීණයින්ගේ ගුණාත්මකභාවය සහ පුහුණුව මත ය.

ඉස්ලාමීය නීතිවේදීහු මාර්ගෝපදේශන හා නියෝග නිකුත් කරති. විධිමත් නීත්‍යනුකුල තීන්දුවක් ලෙස සැලකෙන මඟ පෙන්වීම ෆත්වා ලෙස හැඳින්වේ.

ඉස්ලාමීය නීතිවල පාසල් පහක් ඇත. හන්බාලි, මාලිකි, ෂෆි සහ හනාෆි ලෙස සුන්නි පාසල් හතරකි. එක් ෂියා පාසලකි, ඒ ජාෆරි.

මෙම පාසල් පහ ඔවුන් ෂරියා නීතිය ව්‍යුත්පන්න වූ පාඨයන් වචනාර්ථයෙන් අර්ථ නිරූපණය කරන ආකාරය වෙනස් වේ.

දේශීය සංස්කෘතිය හා චාරිත්‍ර අනුව ඉස්ලාමීය නීතිය අර්ථ නිරූපණය කිරීම ද සියුම් ව වෙනස් වන අතර එයින් අදහස් කරන්නේ විවිධ ස්ථානවල ෂරියා නීතිය තරමක් වෙනස් විය හැකි බවය.

සමහර දැඩි දඩුවම් මොනවාද?

ඉස්ලාමීය විද්වතුන් පවසන්නේ ෂරියා යනු ප්‍රධාන වශයෙන් සදාචාරාත්මක හැසිරීම් මාලාවක් වන අතර නමස්කාරය සහ පුණ්‍ය කටයුතු අරභයා වන නමුත් එහි යම් කොටසක් අපරාධ සම්බන්ධයෙන් අදාළ වන බව ය.

ෂරියා නීතිය මඟින් අපරාධ සාමාන්‍ය කාණ්ඩ දෙකකට බෙදා ඇත:"හාද්" වැරදි, එනම් බරපතල අපරාධ වන අතර එවැනි වැරදිවලට සකස් කරන ලද දඩුවම් පවතී, සහ "ටසීර්" නම් වූ අනෙක් වර්ගයේ අපරාධ සම්බන්ධයෙන් විනිසුරුවරයාගේ අභිමතය පරිදි දඬුවම් නියම කළ හැක.

හාද් වැරදි වලට සොරකම ඇතුළත් වේ. ෂරියා හි දැඩි අර්ථ නිරූපණයන් යටතේ, වරදකරුගේ අත කපා දැමීමෙන් දඩුවම් දිය හැකිය.

හාද් දඩුවම් ක්‍රියාත්මක කිරීමේදී බොහෝ ආරක්‍ෂක ක්‍රියාවලින් සහ සාක්ෂිවලට ඉහළ බරක් ඇත. නමුත් ප්‍රවීණයන් පවසන්නේ එය බොහෝ විට ප්‍රායෝගිකව සිදු නොවන බවකි.

ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වන සමහර රටවල් හාද් වැරදි සඳහා එවැනි දඩුවම් පිළිගැනීම හෝ ක්‍රියාත්මක කරන අතර සමීක්ෂණ මගින් යෝජනා කර ඇත්තේ එවැනි වැරදි සඳහා දැඩි දඩුවම් දීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ගේ ආකල්ප පුළුල් ලෙස වෙනස් බවය.