ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සහලේ-වර්ක් සව්ඩේ: ඉතියෝපියාවේ ජනපති ධුරයට පත්වූ පළමු කාන්තාව
ඉතියෝපියාවේ පාර්ලිමේන්තු සාමාජිකයන් සිය ප්‍රථම කාන්තා ජනපතිනිය ලෙස සහලේ-වර්ක් සව්ඩේ (Sahle-Work Zewde) තෝරා පත්කර ගෙන තිබේ.
ඉතා පළපුරුදු රාජතාන්ත්‍රිකයෙකු වන සහලේ-වර්ක් සව්ඩේ, මේ වන විට අප්‍රිකානු රටවල සිටින එකම රාජ්‍ය නායිකාවයි.
එරට අග්‍රාමාත්‍ය අබියි අහ්මද් විසින් පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ හරි අඩක් තනතුරු දරන්නේ කාන්තාවන්ය. එම පත්කිරීම්වලින් සතියකට පසු සහලේ-වර්ක් සව්ඩේ ජනාධිපතිනිය ලෙස සාමාජික ඡන්දයෙන් තේරී පත් විය.
ඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බව සිය තනතුරෙහි දිව්රුම් දීමෙන් පසු සහලේ-වර්ක් සව්ඩේ පොරොන්දු වූවාය.
"සියලු මව්වරුන්ගේ නාමයෙන්, අපේ රටේ සාමය රැකගන්න කටයුතු කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. සාමය නැති වුණොත් මුලින්ම දුක් විඳින්නේ ඔබේ මව" යැයි ඇය පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
හිටපු ජනාධිපති මුලාටු ටෙෂෝම් බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිය තනතුරෙන් ඉල්ලා අස් විය.
ඒ සමගම පැවැත්වූ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ඡන්ද විමසීමකින් අනතුරුව සහලේ-වර්ක් සව්ඩේ ජනාධිපති තනතුරට තේරී පත් වූවාය.
මේ තොරතුරුද දැනගන්න:
"රාජ්‍ය නායිකාවක් ලෙස කාන්තාවක් පත් කිරීමෙන් අනාගතය සඳහා යම් සම්මතයන් නිර්මාණය වෙනවා පමණක් නොවෙයි, පොදු කටයුතුවල දී තීරණ ගන්නන් ලෙස කාන්තාවන් කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා" යැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානි ෆිට්සුම් අරෙගා පැවසුවේය.
සහලේ-වර්ක් සව්ඩේ, ජිබුටි සහ සෙනගාලයේ ඉතියෝපියානු තානාපතිවරිය ලෙස ද සේවය කර තිබේ. එමෙන්ම, ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු ගණනාවක් හොබවා ඇති අතර මධ්‍යම අප්‍රිකානු ජනරජය තුළ සාමය ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ප්‍රධානියා ද වුවාය.
ජනාධිපතිනිය ලෙස තේරී පත් වීමට පෙර ඇය අප්‍රිකානු හවුලේ එක්සත් ජාතීන්ගේ තානාපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය.
ඉතියෝපියානු ව්‍යවස්ථාවට අනුව දේශපාලන බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට වන අතර, ජනාධිපති යනු ගෞරවනීය තනතුරක් පමණි.
තවත් තොරතුරු: