ජනපති අනුර මෙතෙක් දී ඇති පත්වීම් ගැන අප දන්නේ මොනවා ද?

කියවීමේ කාලය: මිනිත්තු 5

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 24 වන දා පස්වරුවේ දිවුරුම් දුන්නේ ය.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වන දා දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කරනු ලැබී ය.

ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමත්‍යංශ සඳහා නව ලෙක්ම්වරුන් පත් කෙරුණේ ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු පැය කිහිපයක් ඇතුළත ය.

ඊට පසුව, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ආණ්ඩුකාරවරුන් පත් කළේ ය.

නව ජනාධිපති ලේකම් කවුද?

නව ජනාධිපති ලේකම් ලෙස පත්වූ ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් කුමානායක ජපානයේ (GRIPS) ආයතනයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව (Public Economics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ගෙන ඇත.

ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ආචාර්ය කුමනායක රේගු දූෂණ (Customs Corruptions) පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක ප්‍රකාශයට පත් කර ඇත.

ඔහු ලෝක රේගු සංවිධානය (World Customs Organization) මගින් පිළිගත් රේගු නවීකරණ පිළිබඳ වරලත් උපදේශකවරයෙකි.

ආචාර්ය කුමානායක ලෝක රේගු සංවිධානයේ දූත මණ්ඩල නියෝජනය කරමින් වෙනත් රටවල රේගු සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් වලටද දායක වී ඇත.

1997 වසරේ රේගු නිලධාරියෙකු ලෙස සේවයට බැඳුනු කුමානායක ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන ලදී.

නව ආරක්ෂක ලේකම් කවුද?

ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව, බලයෙන් පහකළ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරය දැරූ ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙනුවට නව ලේකම්වරයෙක් පත් කරනු ලැබීය.

ඒ, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් සංජීව තුයියකොන්තා ය.

'රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සියලු ම දෑ පාලනය කරමින්, රටේ ත්‍රිවිධ හමුදාවල කාර්යක්ෂතාව වැඩි කරමින්, රටේ ආරක්ෂාව සැමවිටම තහවුරු කිරීම ආරක්ෂක ලේකම් ලෙස තම වගකීම බව' ධුරයේ වැඩ භාර ගනිමින් ඔහු ප්‍රකාශ කළේය.

එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් සංජීව තුයියකොන්තා, 1988 වසරේ මැයි මස 17 වනදා ශ්‍රී ලංකාව ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්ව උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇත.

තුයියකොන්තා චීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ලංකාවේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

ඔහු MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ මෙන්ම, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාලයේ හිටපු අණදෙන නිලධාරියා ලෙස සේවය කර ඇත. මීට අමතරව, ඔහු පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා විය. ඔහු ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ තනතුර ද හෙබවීය. ඔහුගේ අභීත සේවය වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණ සූර යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

ජාතික ජන බලවේගයට සහාය පළ කරමින් අදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තමන්ව අසාදු ලේඛණ ගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5 ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් සංජීව තුයියකොන්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය මැයි 02 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණි.

නව මහජන ආරක්ෂක ලේකම් කවුද?

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරය දැරූ වියානි ගුණතිලක වෙනුවට නව මහජන ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී සෙනවිරත්න ය.

රවී සෙනවිරත්න ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානියෙකු වශයෙන් ද කටයුතු කළේය.

රවී සෙනෙවිරත්න කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කර තිබේ.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙසත්, ඉන්ටර්පෝල්හි ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙසත් සේවය කර ඇත.

බීමත්ව රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කිරීමේ චෝදනා මත පසුගිය වසරේ ඔක්තෝම්බර් 28 වැනිදා අත්අඩංගුවට ගත්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඇප මත මුදා හැරුණි.

පෞද්ගලික ලේකම් කවුද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පෞද්ගලික ලේකම් ලෙස පත් කරනු ලැබුවේ කේ. ආනන්ද විජේපාලය.

ඔහු ජාතික ජනබලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ (NIO) ජාතික සංවිධායක ලෙසද කටයුතු කරන අතර දීර්ඝ කළත් අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබේ.

2015 වසරේ පිහිටුවන ලද දුෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වෛද්‍ය නජිත් ඉන්දික පත් කරනු ලැබී ය.

හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ අයෙකි.

පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙකු සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේ ය.

වෛද්‍ය නජිත් ඉන්දික ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන් ම දේශපාලන ක්‍රියාකාරිකයෙකි.

නව ආණ්ඩුකාරවරුන් 9 දෙනෙක්

සැප්තැම්බර් 25 වන දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම සිදුවිය.

නව ආණ්ඩුකාරවරුන්ගේ නාමලේඛනය මෙසේ ය.

01. හනීෆ් යූසුෆ් - බස්නාහිර පළාත් ආණ්ඩුකාර

02. සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් - මධ්‍යම පළාත් ආණ්ඩුකාර

03. බන්දුල හරිස්චන්ද්‍ර - දකුණු පළාත් ආණ්ඩුකාර

04. තිස්ස කුමාරසිරි වර්ණසූරිය - වයඹ පළාත් ආණ්ඩුකාර

05. වසන්ත කුමාර විමලසිරි - උතුරු මැද පළාත් ආණ්ඩුකාර

06. නාගලිංගම් චේතනායහන් - උතුරු පළාත් ආණ්ඩුකාර

07. ජයන්ත ලාල් රත්නසේකර - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

08. චම්පා ජානකී රාජරත්න - සබරගමුව පළාත් ආණ්ඩුකාර

09. කපිල ජයසේකර - ඌව පළාත් ආණ්ඩුකාර