'දෙලක්ෂ හැත්තෑදාහේ බෙහෙත ඕනා කියනකොට අපි ඔක්කොටම පිස්සු හැදිලා හිටියේ'
රජයේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ හිඟය සහ අනෙකුත් සීමා කිරීම් හමුවේ පිළිකා වැනි රෝග වලට ගොදුරු වූවන් වඩාත් අසරණ වී සිටිනු දක්නට ලැබේ.
මේ, පිළිකා රෝගයට ගොදුරු වූ අවුරුදු හතරක දරුවෙකුට අවශ්‍ය ඇතැම් ඖෂධ මිල දී ගැනීමට සිදුවීම එම දරුවාගේ පවුලේ සියලු සාමාජිකයින්ගේ දෛනික ජීවිතයට එම තත්ත්වයෙන් කොතරම් බලපෑමක් සිදු වන්නේදැයි කියන සංවේදී කතාවකි.
එම දරුවාට අවශ්‍ය ඖෂධ සහ ආහාර ලබා දෙන්නේ කෙසේදැයි සිතමින් මව්පියෝ ලතවෙති.
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ ලබන වසරේ දී ඖෂධ වර්ග 497ක්, ශල්‍ය අයිතම වර්ග 5301ක් සහ රසායනාගාර උපකරණ සහ අනෙකුත් අයිතම 2219ක් සැපයුම් ලේඛනයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝගයක් නිකුත්කර ඇති බවය.
එමෙන්ම දැනටමත් ග්‍රාමීය රෝහල්, බෙහෙත් ශාලා සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 20ක් වැසීගොස් ඇති අතර තවත් රෝහල් 95ක් වැසී යෑමට අසන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඖෂධ හිඟය පියවීම සඳහා 2024 දී රුපියල් බිලියන 180ක් වෙන්කර ඇති බවත්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග සැපයුම් ලැයිස්තුවෙන් ඉවත් කළේ වෛද්‍යවරුන්ගේ එකඟතාවය මත බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ BBC සිංහල සේවයට පැවසුවේය.