ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නීතිඥවරයා සහ බිරිඳ ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් මේ දක්වා අත්අඩංගුවට
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කවුද?
සඳුදා (පෙබ. 24) රාත්‍රියේ මොණරාගල, නක්කල ප්‍රදේශයේ පාළු නිවසක රැඳී සිටි මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 39ක් වන කනංකේ, කඩ වීදිය ප්‍රදේශයේ පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකු වන අතර ඔහු 2009 වර්ෂයේදී නීත්‍යනුකූලව නාවික හමුදාවෙන් ඉවත් වී ඇති බවට අනාවරණය වී ඇති බව ය.
අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරුදු 27 සහ අවුරුදු 46 වයස්වල පසුවන අම්බලන්ගොඩ සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු
බස්නාහිර පළාත දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මොණරාගල පොලිස් ස්ථානය වෙත ගොස් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම එක් සැකකරුවෙකු පෙබ. 13 වන දින නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයේ අනෙක් වෙඩික්කරු බව ය.
ඒ අනුව, අඟහරුවාදා (පෙබ. 25) උදෑසන මොණරාගල පොලිස් ස්ථානයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් තිදෙනා සිය භාරයට ගෙන තිබේ.
මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන
මෙම අපරාධය සම්බන්ධයෙන් අදාළ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
ඔවුන් අතරින් සහෝදරයින් දෙදෙනෙකු වූ සැකකරුවන් දෙදෙනෙකු පෙබ. 16 වන දින කොට්ටාව ප්‍රදේශයේදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.
"ට්‍රාන්ස්පෝට් දීලා තියෙනවා එක්කෙනෙක්. අනිත් එක්කෙනා වෙපන් එක ට්‍රාන්ස්පෝට් කරන කොට ඒ කුලී රථයේ ඉඳලා තියෙනවා," එම සැකකරුවන් පිළිබඳව පොලිසිය පැවසීය.
ඉන් අනතුරුව සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගැනිණි.
මීට පෙර අනාවරණය වූ තොරතුරු
මෙම අපරාධය සම්බන්ධයෙන් දැනුම් දීමට පෙබ. 15 වන දා පොලිසිය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී ප්‍රධාන විමර්ශන නිලධාරී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසුවේ ඝාතනයට ලක් වූ මෙම නීතිඥවරයාට මරණ තර්ජන තිබී ඇතැයි පොලිසියට වාර්තා වී නොමැති බව ය.
තුවක්කුකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් සිව් දෙනෙකු හඳුනා ගෙන ඇති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, අපරාධකරුවන් පැමිණි මෝටර් රථය ගමන් ගත් මාර්ගය පිළිබඳව ඒ වන විට තොරතුරු අනාවරණය වී තිබුණු බව ය.
තුවක්කුකරුවන් මෝටර් රථයේ නැගී පලා යන අතරතුර එය අනතුරට ලක්ව ඇති බව ත් එම අවස්ථාවේදී මෝටර් රථයේ අංක තහඩුවක් බිම වැටී ඇති බව ත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එය මෙම මෝටර් රථයට "අදාළ අංක තහඩුව නොවන" බව අනාවරණය වී තිබිණි.
මෙම අපරාධය සිදු කිරීමට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර තිබුණු බව පොලිසිය පැවසීය.
ඒ අනුව, ඝාතනය සිදුවූ පෙබරවාරි 13 වන දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරාවල සැකකරුවන් පැමිණ ඇති බවට සැක කෙරෙන EP KI 7738 දරණ කාර් රථය ගමන් කරන ආකාරය සටහන් වී ඇති දැයි පරීක්ෂා කර බලා ඒ බව 071 8598008 (නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව) හෝ 071 8592279 (අධ්‍යක්ෂ / බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය) යන දුරකතන අංක වෙත දැනුම් දෙන පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර සඳහන් කර තිබිණි.
ඝාතකයින් පැමිණි බවට සැක මෝටර් රථයක් බද්දේගමින් සොයා ගැනේ
වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කෙරෙන මෝටර් රථයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිනි ගනිමින් තිබියදී සොයා ගෙන තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මීට පෙර පැවසුවේ, මෙම මෝටර් රථය අපරාධකරුවන් භාවිත කළ මෝටර් රථය ම ද යන්න රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් තහවුරු කළ නොහැකි බව ය.
ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 12ක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 12ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා යොදවා තිබිණි.
නීතිඥවරයා සහ බිරිඳගේ අවසන් කටයුතු පිටිගලදී
ඝාතනයට ලක්වූ නීතඥ බුද්ධික මල්ලවආරච් සහ ඔහුගේ බිරිඳගේ දේහ පිළිබඳ අවසන් කටයුතු පිටිගල, ගොඩමුණදී සිදු කෙරිණි.
නීතිඥවරු නඩු විභාග සඳහා පෙනී සිටීමෙන් වැළකෙති
මෙම ඝාතන සිද්ධියට විරෝධය පළ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිඥවරු පෙබ. 16 නඩු විභාග සඳහා පෙනී සිටීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කැඳවූ අතර ඒවාට දින ලබා දීම පමණක් සිදුවිය.
උපරිමාධිකරණයේ ඇතැම් නඩු සඳහා කනිෂ්ඨ නීතිඥවරුන් පෙනී සිටිමින් ඒවාට දින ලබා ගන්නා ආකාරයක් ද දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.
මේ අතර, එදින පෙරවරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් විශාල පිරිසක් මෙම ඝාතනය හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානය වෙත පා ගමනින් ගමන් කළහ.
නීතිඥවරුන්ට සිය වෘත්තිය බියෙන් හා සැකයෙන් තොරව ඉටු කිරීමට සුදුසු පරිසරයක් තිබිය යුතු බවත් මෙම අපරාධයට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කළ යුතු බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මාධ්‍යවලට කරුණු දක්වමින් අවධාරණය කළේ ය.
නීතිඥවරුන් නඩු විභාග සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණ කටයුතු අඩාළ වී තිබූ ආකාරය දක්නට ලැබුණු අතර සියලු අධිකරණවල කටයුතු ඉතා කෙටි වේලාවකින් අවසන් වුණු බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.