ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැතුම් නිස්සංක යනු කවුද? ඔහු මෙතෙක් පිහිටුවා ඇති ක්‍රිකට් වාර්තා මොනවා ද?
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (පෙබරවාරි 16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ගොඩ නැගූ ඉනිම ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන ඉනිමක් විය.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකය වූයේ ද පැතුම් නිස්සංක ඊයේ දිනයේදී වාර්තා කළ ශතකය යි.
එමෙන් ම, විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණුලාභීන් අතර 08 වන ස්ථානයේ පසු වන පැතුම් නිස්සංක ඊයේ වාර්තා කළ ශතකය සමග ඉනිම් 03කදී රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 137කි.
පැතුම් අලුත් කළ වාර්තා
ඊයේ (පෙබරවාරි 16) තරගයේදී නොදැවී රැස් කළ ශතකයත් සමග ක්‍රිකට් වාර්තා අලුත් කිරීමට පැතුම් නිස්සංක සමත් විය. පැතුම් නිස්සංක එම ශතකය වර්තා කළේ, පන්දු 52කදී ය. විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත් ම ශතකය ද එය යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 තරගයක ශතක දෙකක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ ද පැතුම් නිස්සංක යි.
2010 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මහේල ජයවර්ධන ලකුණු 100ක් රැස් කිරීමෙන් පසු පිරිමි T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවන පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා ද පැතුම් නිස්සංක ය. 2014 වසරේදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී උමාර් අක්මාල් රැස් කළ ලකුණු 94, ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරුවෙකු එක් තරගයකදී වාර්තා කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව විය.
2022 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 104ක් වාර්තා කිරීමෙන් පසු, පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියකදී ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා, පැතුම් නිස්සංක ය.
T20 පිරිමි ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු හඹා යාමකදී ශතක වාර්තා කර ඇත්තේ, පිතිකරුවන් තිදෙනෙකු පමණක් වන අතර පැතුම් නිස්සංක ඉන් එක් පිතිකරුවෙකි.
පැතුම් මීට පෙර තැබූ වාර්තා
එක්දින තරගයක ශ්‍රී ලාංකිකයෙකු රැස් කළ පළමු ද්විත්ව ශතකය
මෙරට ක්‍රිකට් වංශකතාවට නව පරිච්ජේදයක් එක් කිරීමට 2024 වසරේ පෙබරවාරි මස 09 වන දා පැතුම් නිස්සංක සමත් විය. ඒ, එක්දින තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක එහිදී සමත් විය.
24 වසරකට පසුව බිඳ වැටුණු වාර්තාව
එතෙක් එක්දින තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ පිතිකරුවා වූයේ, සනත් ජයසූරිය යි.
සනත් ජයසූරිය 2000 වසරේ සාජාහිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් වාර්තා කළ අතර, පුරා වසර 24ක් එය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමකදී පිතිකරුවෙකු රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස නොබිඳී පැවතිණි.
පැතුම් නිස්සංක 2024 පෙබරවාරි 09 වන දා එම වාර්තාව බිඳ හෙළීමට සමත්විය.
පැතුම් නිස්සංක සිය 50 වන එක්දින තරගයට 2024 පෙබරවාරි 09 වන දා ක්‍රීඩා කළේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පල්ලේකැළේ ක්‍රීඩාංගණයේ දී ම ය.
එහිදී පැතුම් නිස්සංක පන්දු 139කදී නොදැවී ලකුණු 210ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 20ක් සහ හයේ පහරවල් 8ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා වීමට ඒ අනුව ඔහු සමත් විය.
එමෙන් ම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් වාර්තා වූ 12 වන ද්විත්ව ශතකය ලෙස මෙය වාර්තා අතරට එක් විය.
පැතුම් නිස්සංක යනු කවුද?
1998 වසරේ මැයි මස 18 වන දා ගාල්ලේදී උපන් පැතුම් නිස්සංක සිල්වා කුඩා කාලයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ, ඔහුගේ පියාගේ ආභාසය හේතුවෙනි.
කුඩා කාලයේ පැතුම් නිස්සංක කළුතර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ඇත්තේ, සුනිල් සළුවන ක්‍රිකට් පුහුණුකරු යටතේ ය.
පැතුම් නිස්සංකගේ කුඩා කාලය ඔවුන්ගේ පවුලේ පැවති ආර්ථික තත්ත්වය සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම දැඩි අභියෝගයක් වී තිබේ.
පැතුම් නිස්සංකගේ පියා වන සුනිල් සිල්වා ක්‍රිකට් ක්‍රීඩාංගණයක සේවය කළ අතර, ඔහුගේ මව කළුතර බෝධිය අසල මල් අලෙවි කිරීමේ නියැලෙමින් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතු අඛණ්ඩව කරගෙන යාමට දැඩි කැපවීමක් කළ බව ඇය වරක් මාධ්‍යයට පවසා තිබිණි.
"එයාට (පැතුම්ට) ප්‍රැක්ටිස් කරන්න හරියට සපත්තු දෙකක් තිබ්බේ නැහැ. කකුල් දෙකේ ඇඟිලි පේනවා නම් ෆාමසි එකෙන් ප්ලාස්ටර් ගහගෙන තමයි එයා සෙල්ලම් කරන්න ගියේ."
"එයා පොඩි කාලේ ඉඳලා සෙල්ලම් බඩු වලින් ආසම කරන දේ වුණේ බෝලයයි බැට් එකයි."
"එයාගේ තාත්තාගේ ලොකුම හීනේ වුණේ එයා ක්‍රිකට් ගහන එක. එයා ඒක කළා." පැතුම්ගේ මව වරක් මාධ්‍ය වෙත පවසා තිබිණි.
කළුතර විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් දැක්වීමත් සමග පැතුම් නිස්සංකට කොළඹ ඉසිපතන විදුහලට ඇතුළු වීමට අවස්ථාව හිමි විය.
ජාතික කණ්ඩායමට ලැබුණු කැඳවීම
පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමත් සමග පැතුම් නිස්සංක පළමු පෙළ ක්‍රිකට් ගමනට අත්පොත් තැබුවේ බදුරලිය ක්‍රීඩා සමාජයෙනි.
එහිදී ඉතා දක්ෂ ලෙස ලකුණු අතර සිටි පැතුම්ට කොළඹ NCC ක්‍රීඩා සමාජයට එක්වීමට අවස්ථාව හිමි විය.
දස්කම් අතර සිටියත් පැතුම් නිස්සංකට ජාතික කණ්ඩායමට එක්වීමට වසර කිහිපයක් බලා සිටීමට සිදුවිය.
කෙසේ වුවත්, 2021 වසරේදී පැතුම් නිස්සංකට ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමි විය.
පළමු තරගයේදී ම වාර්තා පොත් අලුත් කළ පැතුම්
පැතුම් නිස්සංක තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවති ටෙස්ට් තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 103ක් රැස් කළේ, විදේශ රටකදී සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමිනි.
මේ දක්වා, ටෙස්ට් තරග 18කදී ඉනිම් 31ක් තුළ පැතුම් නිස්සංක රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1305කි. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 05ක් ඇතුලත් වේ.
එක්දින තරග 77කදී ඔහු ලකුණු 2920ක් රැස් කර ඇති අතර, තරගයකදී ලැබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 210කි.
විස්සයි 20 තරග 87කට ක්‍රීඩා කර ඇති පැතුම් නිස්සංක ලකුණු 2574ක් රැස් කර ඇති අතර ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක 18ක් ඇතුළත් ය.